මුස්ලිම් සමාජය වෙත සහෝදරත්වයෙන් !
පසුගිය
පාස්කු ඉරිදා එල්ල කල අමානුෂික ත්‍රස්ත ප්‍රහාරය විසින් කුඩා දරුවන් ඇතුළු නිරායුධ
මිනිසුන් කැබලිකොට අපේ රට ක්ෂණයකින් අඩපන කරන ලදී. රට තුල එතෙක් පැවති ආගමික හා
ජනවාර්ගික සන්දර්භය සලකා බලන කල අඩුම වාර්ගික හෝ ආගමික ආතතියක් (Tension එකක්)
පැවතියේ මුස්ලිම්වරු හා කතෝලිකයින් අතරය. එවන් කතෝලික සමාජයට ජිහාඩ් මිනීමරුවන්
නිහීන ප්‍රහාරයක් එල්ල කළේය.
යුද්ධයෙන් අනතුරුව ව්‍යාජ පුවත් මවමින්, අන්තවාදී කණ්ඩායම්
පාලනය නොකරමින් බෞද්ධ හා මුස්ලිම්වරු අතර ආතතියක් නිර්මාණය වීමට ඉඩ හරින ලදි. එවන්
ආතතියක් සමාජය තුල යම් මට්ටමකින් පවතින්නට ඉඩ හැරීම, දේශපාලනිකව වාසි උපයාගත හැකි තත්ත්වයකි; දේශපාලන අරමුණක්
වෙනුවෙන් සමාජයක ජන මනස පහසුවෙන් මෙහෙයවා ගත හැකි පසුබිමකි. යුද්ධය අතරතුර
එල්.ටී.ටී.ඊ. ය විසින් උතුරින් මුස්ලිම්වරු පලවා හැරීම මෙන්ම කාතන්කුඩි පල්ලියේදී
මුස්ලිම්වරු ඝාතනය කිරීම හා පෙරලා මුස්ලිම්වරු යුද්ධයේදී එල්.ටී.ටී.ඊ. යට විරුද්ධව
හමුදාවට සහය වීම වැනි හේතු උඩ දෙමළ මුස්ලිම් වාර්ගික ආතතිය එවකට බලවත් ලෙසින්
පැවතියේය. එහෙත් ආගමික අර්ථයෙන් අපේ රට තුල මුස්ලිම්-කතෝලික ඝර්ෂණයක් නොපැවතුනි.
මේ ජිහාඩ් උන්මත්තකයින් පිලිබඳ ප්‍රමාණවත් අනතුරු
හැඟවීම් තිබියදී, පුහුණු කඳවුරු, පුපුරන ද්‍රව්‍ය පිලිබඳ තොරතුරු හෙළිදරව් වී තිබියදී මෙතරම්
ජීවිත විනාශයක්, මෙතරම්
ආර්ථික විනාශයක්, මෙතරම් සමාජ දේහය ඔත්පල වීමක්, මානව ශිෂ්ටත්වය දෙදරීමක් වන තෙක් එය
වලක්වා ගන්නට නොහැකිවීම සම්බන්ධයෙන් බලධාරීන් මෙන්ම ආරක්ෂක ආයතන පද්ධතියද ලජ්ජා
විය යුතුය.
අද මේ මොහොතේ අපේ රටේ මුස්ලිම් ප්‍රජාවට සැකයෙන්, බියෙන් දවස
ගෙවන්නට සිදුව ඇත. කෙසේමුත් මේ මොහොත වනතෙක් මේ ඛේදවාචකය නිසා උපන් වේදනාවෙන් හා
කෝපයෙන් යුතුව වාර්ගික කෝලාහලයක් පුපුරා නොයාම පිළිබඳව අපට සිත් පහන් කරගත හැකිය.
එවන් කෝලාහලයකින් සිදුවනු ඇත්තේ තවත් මෙවැනි ලේ පිපාසිත උන්මත්තක කල්ලියක්, ඒ වෛරය පදනම්
කොටගෙන බිහිවීම පමණි. එවන් විනාශයක ප්‍රතිවිපාකය උරුම වනුයේ පහරකන කණ්ඩායමට පමණක්
නොව ප්‍රහාරකයින්ද ඇතුළු සමස්ත ලාංකිකයින්ට මය.
මෙවන් උන්මත්තකයින්ගේ ප්‍රමාණය රටේ සමස්ත මුස්ලිම්
ගහනයෙන් ඉතා සුළු පිරිසක් මුත් ඒ ප්‍රවනතාවය වලකා ගන්නට මුස්ලිම් සමාජය අසමත් වී
ඇති වග අපි ඔවුන්ට සහෝදරත්වයෙන් පෙන්වා දීමට කැමැත්තෙමු. මුස්ලිම් සමාජයේ
සැලකියයුතු ප්‍රමාණයක්, පොදු මිනිස් කුලකයෙන් වෙන්ව, සමාජයෙන් වසන්ව තම ‘අනන්‍යතාවය’
පවත්වාගෙන යාමට ඇති සුදානම පෙන්නුම් කරමින් සිටියි. අප මීට දශක දෙක තුනකට පෙරාතුව
අත්නොදැකපු බුර්කාව හා කළු ලෝගුව අද බහුල වශයෙන් මගතොට හා පොදු මහජන අවකාශය තුල ප්‍රදර්ශනය
වෙමින් ඇත. ඉන් සමාජයේ අනෙකා වෙත හඟවනුයේ ‘අපට ඔබ සමග මුහු වීමට නොහැකිය’ වැනි
හැඟවුමකි; එහි තේරුම පොදු
සමාජයෙන් වසන් වීමකි; අනෙකෙකු සමග සිනාසීම පවා වලකන මෙවන් ඇඟලුමක් සමාජයේ සහජීවනය
වලකාලන බැව් තේරුම් කර දීමට ඔබේ මැදිහත්වීම අපි කඩිනමින් අපේක්ෂා කරමු.
මේ වහන්තරාව, පොදු සමාජයෙන් වෙන්වීමේ ලකුණු දරාගත්
සංකේතයක් මිස හුදු ආගමික/සංස්කෘතික අනන්‍යතාවයක් නොවේ. මනුෂ්‍ය වර්ගයාගේ
සමානුයෝජනය වලක්වන්නාවූ ‘අනන්‍යතාවයක්’ හෝ මෙවලමක් පොදු මහජන අවකාශයේ පැවතීම සමාජ
සහජීවනයට අකුල් හෙලීමකි. මේ තත්ත්වය තේරුම් ගෙන එවැනි ප්‍රවණතා හකුලා දැමීමට
මුස්ලිම් සමාජය හා මුස්ලිම් වියතුන් ඉදිරිපත් නොවන්නේ නම් මේ මොහොතේ සමාජයේ පවතින
වේදනාව හා කෝපය විසින් කුළුගන්වා ඇති ආගමික/වාර්ගික ඝර්ෂණය වඩා ඇවිලෙන සුළු
අන්තරායකට හෙලනු ඇත.
මෙවන් සමානුයෝජනයක් වෙනුවෙන්, ඔබේ සමාජයේ
වෙනස්වීමට ඇති උවමනාව පොදු සමාජයට දැනෙන අයුරින් පෙනෙන්නට සැලැස්විය යුතුවෙයි. තම
ජනවර්ගයට/ආගමට වෙනස් අනෙකා අරබයා හුදු ආගමික හා වාර්ගික නොරුස්නාකම් හා විරසක
භාවයන්ගෙන් පෙලෙන දුර්වලයින් සෑම ජනවර්ගයකම සිටියි. ඔවුන් මෙවන් අවස්ථා වලදී තම ව්‍යාධිය
අනෙක් සුළුතර ජනවර්ගයන්, නිරායුධ අහිංසකයින් වෙත මුදා හැරීමට කැමැත්තෙන් සිටින අය වෙත්.
එබැවින් එවන් තත්ත්වයක් ඇතිවීම පාලනය කරගැනීමට තමන්ගේ පාර්ශවයෙන් නොපමාව වියයුතු
දේවල් තීරණය කිරීමට ඔබ ඥානාන්විත වනු ඇතැයි අපි අපේක්ෂා කරමු. එසේ නොවන්නේ නම්
කලින් කලට සිදුවන අවාසනාවන්ත සිදුවීම් නිසා අවිනිශ්චිතව, අනාරක්ෂිතව හා
සැකයෙන් බියෙන් යුතුව කල් ගෙවීමට අප සැමට සිදුවනු ඇත.
තාරක
වරාපිටිය

Post a Comment