බුදු දහම සහ අපහාස

 බුදු දහම සහ අපහාස



බුදු දහමට අපහාස කිරීමට ලියැවී ඇතැයි කියන පොතක් පිළිබඳවත් ගුවන්විදුලි නාට්‍ය කීපයක් පිළිබඳවත් මේ දිනවල විශාල ආන්දෝලනයක් රට තුළ ඇතිව තිබේ. එපමණක් නොව නොයෙක් නොයෙක් සංවිධානද පොතට විරුද්ධව විවිධ නීතිමය පියවර ගැනීමට ද කටයුතු කරමින් සිටී.

ඉහත පොතවත් නාට්‍යවත් මා කියවා නැත. ඒවා කියවීමට විශේෂ උනන්දුවක් ද මට නැත. එහෙත් අපහාසය පිළිබඳව සටහනක් තැබීම මේ අවස්ථාවේ කළ යුතු දෙයකැයි මට සිතේ.

අපහාසය, උපහාසය සහ විවේචනය සීමා ඉරකින් වෙන් කළ නොහැකිය. එකම දෙය කෙනෙකුට අපහාසයක් ලෙසත්, කෙනෙකුට උපහාසයක් ලෙසත් තවත් කෙනෙකුට විවේචනයක් ලෙසත් පෙනී යා හැකිය. සුදුසු අවස්ථාවලදී සුදුසු ලෙස යොදාගන්නේ නම් ඒවා භාෂාවක ඉතා හොඳ මෙවලම්ය. අයිරිෂ් ජාතික ඩේව් ඇලන් (1936- 2005) සිය ආගමික උපහාස මගින් ලෝකය කුල්මත් කළේය. ඔහු වඩාත්ම උපහාසයට ලක් කළේ කතෝලික ආගමයි.

'මම හිතනවා දෙවියොත් හාස්‍යයට කැමැතියි කියල. එහෙම නොවුණා නම් මං ඉවරයි.' ඔහු කීවේ ආගමික ඇනුම්පද මෘදු කරමිනි.


ආගම උපහාසයට හෝ අපහාසයට ලක් කිරීමේ සම්ප්‍රදායක් අප රටේ ද පැවතිණි. වීදාගම හිමියෝ සිය 'බුදුගුණ අලංකාරය' කෘතියෙන් හින්දු ආගමේ ප්‍රධාන දෙවියකු වූ විෂ්ණු ඇතුළු දෙවියන් ගැන මෙසේ කීහ.

'සුරනැයි යනු කුමට-දුගී යාචකයනට එනිවට'


'වඳුරෙකු පිනු මුහුද

එතරව යා නොහී ඉඳ
ගියෙල රම් හේ බැඳ
මෙසේ වෙද මෙලොව දෙවියන් තෙද'

වඳුරෙකුට පැන යා හැකි මුහුදෙන් එතෙර වීමට විෂ්ණුට (රාම, විෂ්ණුගේ අවතාරයකි) පාලමක් අවශ්‍ය වූ බව එහි කියා ඇත්තේ විෂ්ණු, වඳුරෙකුටත් වඩා පහත් තත්වයකට හෙළමින් නින්දා කරමිනි.

හින්දු ආගමේ හැටියට බුදුන්, විෂ්ණුගේ අවතාරයකි. බුදුන්ට කෙරෙන අපහාසයක් හැටියට එය බෞද්ධයකුට පෙනී යා හැකිය.

සිය 'සත්‍යෝදය' කෘතියට පෙරවදන ලියමින් වල්පොල රාහුල හිමියෝ මෙසේ පැවසූහ. 'එදා බුද්ධ ශාසන අමාත්‍යංශයක් තිබුණෙ නෑ. මිනිස්සු නිදහස්ව ආගම ඇදහුව.'

උන්වහන්සේ ඉහත කෘතිය මගින් සියම් නිකායට ද මෙසේ චෝදනා කරති.

'මේ සිරිත (එක කුලයක අයට පමණක් මහණ උපසම්පදාව ලබා දීම) බුද්ධ ශාසනයට කරන බලවත් අපහාසයකි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පයින් ගැසීමකි. සියම් නිකායේ මහ තෙරුන් වහන්සේලා ශාසන ශ්‍රී භාරධාරින් හැටියට අහංකාර ව කථා කරති. නමුත් ඇත්ත වශයෙන් උන්වහන්සේලා මේ අශාසනික, අවාසනාවන්ත චාරිත්‍රය පැවැත්වීම නිසා බුද්ධ ශාසනය නැමැති ගොඩනැගිල්ලේ විශාල කොටසක් සහමුලින්ම බිඳ හෙළන බැව් මම යටහත් ව අවංකව කියමි. උන්වහන්සේලා බුද්ධ ශාසනය නැති කරමින් එය රකින්නන් හැටියට පෙනී සිටින බැව් ප්‍රසිද්ධියේ කියන්නට වීම මාගේ සිතට ලොකු වේදනාවකි. ( සත්‍යෝදය- 32, 33 පිටු. 2012 මුද්‍රණය)


දැන් මගේ සිතට නැගෙන ප්‍රශ්නය නම් වැඩියෙන්ම අපහාසයක් සිදු වන්නේ බුදුදහමට කුලභේදය ඇතුළු කිරීමෙන් එය වැනසීමෙන්ද එසේත් නැත්නම් බුදුදහමට අපහාස කරමින් පොතක් ලිවීමෙන්ද (එසේ ලියා ඇත්නම්) යන ගැටලුවයි. බුදු දහම රැකීමට පොලිසි යන අය ඉහත කාරණයද සැලකිල්ලට ගන්නේ නම් මැනවි. අපේ රටේ හැටියට නම් පොල් ගෙඩියක් සොරාගන්නා තැනැත්තා හිරේ විලංගුවේ වැටෙන අතර බිලියනයක් සොරා ගන්නා තැනැත්තා යෙහෙන් වැජඹෙයි.

මුරකරුවකු පොල් වත්තක් රකින ආකාරයෙන් කිසිවකුට බුදු දහම රැකිය නොහැකිය. එය රැකිය හැක්කේ තමන් තුළ ගුණධර්ම ඇති කර ගැනීමෙනි. බුදුදහම රැකීම හෝ වැනසීම තමාගේ සිත තුළින් කළ යුතු කාර්යයකි. පිටස්තර කෙනෙකුට හෝ පොලීසියට එය කළ නොහැකිය.

සැබෑ බෞද්ධයා තමාට හෝ තමා අදහන ආගමට කෙනෙකු බැන වදින විට, අපහාස කරන විට කිපෙන්නේ නැත; පොලිසි යන්නේ නැත. තමාගේ අනුගාමිකයන් විය හැක්කේ කාටදැයි බුදුන් වහන්සේ කකචූපම සූත්‍රයෙන් මෙසේ පවසා තිබේ.

'මහණෙනි, මංකොල්ල කන සොරු යමෙකු අල්ලාගෙන කියතකින් ඔහුගේ අත පය කපමින් වෙන් කරත් ද ඒ මොහොතේ දී පවා ඔහුගේ සිතෙහි කිපීම් මාත්‍රයක්වත් ඇතිවෙයි නම් ඒ තැනැත්තා මගේ ඉගැන්වීම අනුව ක්‍රියා කරන්නෙක් නොවන්නේය.


සැම්සන් ගුණතිලක
(29. 08. 2018
දින 'රැස' පුවත්පතෙහි පළවූ ලිපිය)

Post a Comment

Previous Post Next Post