මගේ සොහොනෙහි මා නොසොයන්න
මහැදුරු
කාලෝ ෆොන්සේකා මෑතකදී නික්ම ගියේය. ඔහුගේ නමේ විශේෂණ පදය අපට ආගන්තුකය. ඒ අනුව
නික්ම ගියේ "කාලෝ" ය. ඔහු පිළිබඳ ළෙන්ගතු මතකයන් අප ජීවත්වන තුරු අපගේ
මස්තිෂ්ක පටල තුළ නොනැසී රැඳී පවතිනු ඇත!
මීට ටික කලකට පෙර එක් පිලිසඳරකදී ඔහු මරණින් පසු විය
හැකි දේ පිළිබඳව ඉඟියක් කර තිබිණි. "විද්‍යාඥයන් විසින් පදාර්ථ සොයාගෙන ඇත.
පදාර්ථවලින් පංචස්කන්ධ සෑදී තිබේ. මා සෑදී ඇති පංචස්කන්ධය මගේ නොවෙයි. එහෙයින් මගේ
සොහොනෙහි මා නො සොයන්න."
අපේ සිරුරු සෑදී ඇත්තේ පදාර්ථවලිනි. ඒවායේ ඒකාග්‍රතාව
බිඳ වැටී අපි මිය යන්නෙමු. එම පදාර්ථ කෙමෙන් විශ්වය පුරා විසිර යයි. අප ජීවත්ව
සිටියදී ඒවායේ සාමූහික ක්‍රියාකාරිත්වය නිසා නිර්මාණය වී තිබූ පුද්ගල අනන්‍යතාව
විසිර යන හෝ සොහොනේ ඉතිරිවන පදාර්ථවලට නැත. අපට වසර කෝටියක කාලයක් විශ්වයට එක
නිමේශයක් විය හැකිය. සොහොනේ තිබෙන අප සෑදී තිබූ පදාර්ථ ක්ෂුද්‍ර ජීවීන් මගින්, ශාකවල මූල මණ්ඩල
මගින් ක්ෂය කරනු ලබයි. ඒවා අජීව පදාර්ථවලට සුවිශේෂ වූ යම් අනන්‍යතාවක් පමණක් රැගෙන
විශ්වය පුරා විසිර යයි.
කාලෝගේ ජීවිතයේ ස්වර්ණමය යුගය ගෙවී ගියේ කොවුර්
සමගය. සමාජයේ පසුගාමී ආකල්පවලට, වැරදි විශ්වාසවලට එරෙහිව දැවැන්ත අරගලයක් කිරීමට ඔවුන්ට
සිදුවිය. එකල සෑම ගමකම වාගේ යකැදුරෙක් සිටියේය. ලෙඩට දුකට, මානසික ප්‍රශ්නවලට, සතුරන් වනසා
දැමීමට, ප්‍රේම
සම්බන්ධතාවලට බාධා කිරීමට ගැමියෝ ඔහු වෙතට පැමිණියහ. එසේ යකැදුරාගේ රැකියාවට ඉතා
යෝග්‍ය වාතාවරණයක් උදාවී තිබිණි. සෑම ගමකම වාගේ යකුන්, භූතයන්, පිශාචයන් අරක්ගත්
නිවාස තිබිණි.
යකැදුරා ගැමියන්ගේ මුදල් පසුම්බි හිස් කරමින් යකුන්
පලවා හරිද්දී කොවුර් නොමිලේම ඒ කටයුත්ත කර දීමට ඉදිරිපත් විය. කොවුර් එවැනි නිවාස
සොයා යමින් විද්‍යාත්මක ගවේෂණයන් කර, මානසික ගැටලු නිරාකරණය කරමින් ඔවුන්
සුවපත් කළේය. ඔහුගේ සහයට සිටි කාලෝ අවිද්‍යාවේ තවත් පැතිකඩක් ආවරණය කරමින් දේවාල
කපුවන් ගිනි පාගමින් කරන ප්‍රෝඩාව හෙළි කිරීමේ දැවැන්ත ව්‍යාපාරයක් ගෙන ගියේය.
ගිනි පාගන්නේ දේව බලයෙන් බවට දැඩි විශ්වාසයක් ජනතාව තුළ රෝපණය කිරීමට කපුවෝ ඒ වන
විට සමත්ව සිටියහ.
ගිනි පෑගීමේ රහස පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණයක් කළ
කාලෝ ඊට අදාළ ප්‍රධානම සාධකය ලෙස ඉදිරිපත් කළේ යටිපතුල ගිනි අඟුරු මත ගැටී තිබෙන
කාලයයි. පියවර මාරුකරමින් ගිනි අඟුරු මත ඇවිදින විට එක් වරකට යටිපතුල් අඟුරු මත
ගැටෙන්නේ තත්පර කිහිපයකට පමණි. ඒ නිසා පතුල් පිලිස්සීමට අවශ්‍ය කාලය නොලැබී යයි.
යටිපතුල්වල ගොරෝසුකම අනුව කෙනෙකුට සෙමෙන් ද තව කෙනෙකුට ඉක්මනින් ද ගිනි පෑගිය
හැකිය. එය වෛද්‍ය විද්‍යාලවල සිසුන් සමග මුලදී අත්හදා බැලිණි. කොවුර් සිය අභියෝග
මාලාවේ විනාඩියක් ගිනි මත නොපිළිස්සී සිටිය හැකි අයකුට රුපියල් ලක්ෂයක ත්‍යාගයක්
දෙන බවද සඳහන් කර තිබිණි.
දේවාල කරා එන බැතිමතුන්ගේ ඇස් පෑදී සිය ආදායම අඩු
වනු ඇතැයි බිය වූ කපුවෝ කාලෝට එරෙහි ව අවි අමෝරා ගත්හ. ඒ පිළිබඳව ජාතික පුවත්පත්
හරහා සිදු වූ සංග්‍රාමයේ උච්ඡතම අවස්ථාව වූයේ කතරගම ගිනි පෑගීමේ මහා තරඟයක්
සංවිධානය වීමයි.
තරඟයේ කොන්දේසිය වූයේ කපුවන් නො පිළිස්සී පාගන ඕනෑම
ගිනිගොඩක් දේව බලයක් නොමැති ව හේතුවාදීන් විසින් පෑගිය යුතු බවයි. එහෙත් එම
කොන්දේසිය කඩ කළ කපුවන් ගිනි පෑගීමෙන් පසු පරීක්ෂක මණ්ඩලයට දෙපතුල් පරික්ෂා කිරීමට
ඉඩ නොදී දෙවොල තුළට වැදී දොර වසා ගත්හ. ඒ අනුව කාලෝගේ හේතුවාදී පාර්ශ්වයට ගිනි
පෑගීමේ අවශ්‍යතාවක් නොවීය. එසේ වුවද ගිනි අඟුරුවල පැවති අධික උෂ්ණත්වයට ගැළපෙන
පරිදි කාලෝගේ නියෝජිතයෙක් ඉක්මන් ගමනින් ගිනිමැලය හරහා ඇවිද යද්දී යම් යම් පිරිස්
ඔහු ගිනි මැලය තුළ වට්ටනු පිණිස දෝ මුගුරුවලින් දමා ගැසූහ. එහෙත් ඔවුන්ගේ එම උත්සාහය
සාර්ථක නොවීය. බිහිසුණු යුද්ධයකට සමාන ව පැවැති එම තරඟයෙන් පසු රට පුරා තරුණ
තරුණියෝ දේව විරෝධය සංකේතවත් කරමින් මත්පැන් බී හරක් මස් කා ගිනි පෑගූහ. කොවුර්
හඳුන්වා දුන් විද්‍යාත්මක චින්තනයේ බීජ සරසවි තුළත් ඈත ගම් දනවු තුළත් පැළ කළේ
කාලෝ විසින් යැයි කීම යුක්ති සහගතය.
දැනුම සහ මතක තබා ගැනීමේ ශක්තිය අතින් ඔහු ඇවිදින
පුස්තකාලයක් බඳු විය. ලෙඩ ඇඳේ සිටියදී පවා පොත් දහයක් පහළොවක් ඔහුගේ ඇඳ මත විය.
එසේ සිටිමින් ඔහු මිතුරන්ගේ ශාස්ත්‍රීය වැඩවලට උදවු විය. වරක් එක් දේශනයකදී ඔහු
නූතන ලෝකයේ දැනුම් සම්භාරය ගොඩනැගීමට දායක වූ විද්‍යාඥයන් හය දෙනෙකු ගැන අපූර්වතම
විස්තරයක් ඉදිරිපත් කළේය.
අයිසැක් නිව්ටන් ගුරුත්වාකර්ෂණය සොයා ගනිමින් අහසත්
පොළොවත් අතර (විශ්වයත් පොළවත් අතර) පරතරය නැති කළේය. එනම් අප වසන මහ පොළොවත්
විශ්වයත් අතර පවතින සම්බන්ධතාවය ඔහුගේ ගුරුත්වාකර්ෂණ නියමවලින් පැහැදිලි කළේය.
ඊළඟට චාල්ස් ඩාවින් ජීව පරිණාමයේ ස්වභාවික වරණවාදය
සොයාගැනීමෙන් ශාක සහ සත්වයන් අතර තිබූ පරතරය නැති කළේය. තවත් ලෙසකින් කිවහොත් ඔහු
සත්වයන් සහ ශාක අතර ජීවවිද්‍යාත්මක බන්ධුතාවයක් හෙවත් නෑදෑකමක් පවතින බවට වූ
අවබෝධය ලෝකයට ලබා දුන්නේය.
තුන් වෙනුව ජර්මන් ජාතික විද්‍යාඥයකු වූ ෆ්‍රෙඩ්රික්
වෝලර් ජීව ද්‍රව්‍ය සහ අජීව ද්‍රව්‍ය අතර පරතරය නැති කරමින් මුත්‍රා සාම්පලයක්
කෘත්‍රිමව නිපද වූයේය. අජීව ද්‍රව්‍යවලින් ජීව ද්‍රව්‍ය නිපදවිය හැකි බව ඔහු
පෙන්වා දුන්නේය.
එවැනි තීරණාත්මක සේවාවන් කළ තවත් විද්‍යාඥයන්
තිදෙනෙකු ගැන ඔහු සඳහන් කළත් ඔවුන් ගැන මගේ මතකය නිරවුල් නැත.
කාලෝ කොවුර්ගේ කාලයේ සිටම බැනුම් ඇසීමට පුරුදු වූ
චරිතයකි. ඇණුම් බැණුම් ගැරහීම් ඉදිරියේ ඔහු කවදත් සන්සුන් මිනිසෙකි. අවසාන කාලයේ
ඔහු අතින් සිදු වූවා යැයි සැලකෙන ඇතැම් අඩුපාඩුකම් පිළිබඳව ඔහු සිය කණ්ඩායම තුළ ම
නිර්දය විවේචනයට ලක් විය. ඒවාට ඔහු කෝප නොවුණා පමණක් නොව අල්ප මාත්‍ර අමනාපයක් වත්
පෙරලා නො දැක්වීය. මෙහිදී මට මතක් වන්නේ බුදුදහමේ එන කකචූපම සූත්‍රයයි.
"මහණෙනි, මංකොල්ලකන සොරු
යමෙකු අල්ලාගෙන කියතකින් ඔහුගේ අතපය කපමින් වෙන් කරත් ද ඒ මොහොතේදී පවා ඔහුගේ
සිතෙහි කිපීම් මාත්‍රයක්වත් ඇතිවෙයි නම් ඒ තැනැත්තා මගේ ඉගැන්වීම අනුව ක්‍රියා
කරන්නෙක් නොවන්නේය."
කාලෝ ඉහත බුදුන්ගේ ඉගැන්වීමට කෙතරම් සමීපද යන්න ඔහු
සහභාගි වූ රූපවාහිනී සංවාද තුළින් ම ඕනෑම කෙනෙකුට පෙනී යනු ඇත. කුපිතව සිටින
විරුද්ධවාදියකුට වුව ද දයාවෙන් පිළිතුරු දීම කළ හැක්කේ සොබාදහමට සැබෑ ලෙසම ආදරය
කරන මිනිසෙකුට පමණි. අපි ඔහුගෙන් ඉගෙන ගත යුතු වෙමු. එම ගුණාංගය අප සියලු දෙනා
තුළම අල්ප මාත්‍රව හෝ තිබුනානම් අප රට ගැටුම් පිරි රටක් නොවන්නට ඉඩ තිබිණි.
කාලෝ ප්‍රවීණ ගීත රචකයෙක් නොවීය. එහෙත් ඔහු ලියූ
‘රත්තරන් දුවේ…‘ ගීතය කොයිතරම් ජනතා ආකර්ශනයට ලක් වී ද? එසේ වූයේ ඔහු තුළ
තිබූ භාෂා කුසලතාවයට වඩා පවුල තුළ පවත්වාගෙන ගිය සැබෑ ආදරය නිසා යැයි මට හැඟේ.
එවිට හැගීම් වචන බවට පත් වන්නේ නිරායාසයෙනි.
ඔහු නික්ම ගියේ කෙනෙකු මියගිය පසු කෙරෙන අවසන්
කටයුතු පිළිබඳව වටිනා ආදර්ශයක් අප හමුවේ ඉතිරි කරමිනි. ඔහුගේ මළගම වෙනුවෙන්
අවමඟුල් උත්සවයක් නොවීය. තමාගේ සිරුරට අන්‍යයන්ගෙන් අවසන් ගෞරවය ලැබීම පවා ඔහු
විසින් වළක්වා තිබිණි. ඒබ්‍රහම් ටී කොවුර්, අක්කා කොවුර්, ආතර් සී ක්ලාක්, සුචරිත ගම්ලත්, ධර්මසේන පතිරාජ, වැන්නන් අනුව
යමින් කාලෝගේ අවසන් කටයුතු ද නිරාගමික ව සිදු විය. දේහය පැය ගණනක් ඇතුළත රාගම වෛද්‍ය
විද්‍යාලයට භාර දෙන ලද්දේය. දේහයට නිල වශයෙන් ආගමික වතාවත් නොපැවැත්විණි. සමහර
ජනමාධ්‍යවල කාලෝගේ දේහයට ආගමික වතාවත් කළ බවට වූ ප්‍රචාරය සත්‍යයක් නොවේ.
සැම්සන් ගුණතිලක

Post a Comment