මිනිසා පරිණාමය උනේ වඳුරන්ගෙන් නම් වඳුරො තාම ඉන්නෙ ඇයි

මිනිසා පරිණාමය උනේ වඳුරන්ගෙන් නම් වඳුරො තාම ඉන්නෙ ඇයි?



මේ ප්‍රශ්නෙට බොහෝ දෙනා දෙන උත්තරේ "මිනිසා පරිණාමය උනේ වඳුරන්ගෙන් නෙමෙයි!" කියන එක. නමුත් ඇත්තටම ඒක ඒ ප්‍රශ්නෙට සුදුසුම උත්තරය නෙමෙයි. මිනිසා පරිණාමය උනේ වර්තමානයෙත් ජීවත් වන වඳුරු වර්ගයකින් නෙමෙයි උනාට, බැරිවෙලා එහෙම උනා නම් ඒක අමුතු අරුමෙකුත් නෙමෙයි. ඒ කිව්වෙ මිනිසාගේ පූර්වජයා වූ මොකක් හරි ඒ වානර වර්ගයෙ සතෙක් තාමත් වර්තමාන් ලෝකයේ ඉන්න බැරිකමක් නෑ. එහෙම බැරිවෙන්න ඔනෑ නෑ.

1. මිනිසා පරිණාමය උනේ නූතන වඳුරන්ගෙන් නෙමෙයි. මිනිසාගෙ පූර්වජයන් වන සත්ව විශේෂ එකක්වත් නූතන ලෝකයේ නෑ. මිනිසාට ජානමය ලෙස සමීපතම වර්තමාන සත්ව කාන්ඩ වෙන්නෙ සාමාන්‍ය චිම්පන්සියා හා බොනෝබෝ. මේ සත්ව වර්ග හා මිනිසාගේ පූර්වජ පොදු සත්ව විශේෂයක් මීට අවුරුදු මිලියන ගානකට කලින් ඉඳල තියෙනවා.


2. හරි අපි හිතමු බැරිවෙලා හරි මිනිසාගෙ පූර්වජ සත්ව විශේෂය චිම්පන්සියා උනා කියල. එහෙම වෙන්න මොකක් හරි බැරි කමක් තියෙනවද? කිසිසේත් ම නෑ. එහෙම නෙමෙයි උනේ උනාට එහෙම වෙන්නත් තිබුන. දැනට ජීවත්වන සත්ව විශේෂයක යම් සත්ව පිරිසක් සෑහෙන කාලෙකට කලින් වෙනස් පරිසර නිකේතයකට බෙදිල ගිහින්, ඒ වෙනස් පරිසර තත්ව යටතේ පරිණාමය උනා නම් මුල් සත්ව කාන්ඩය කිසිම වෙනසක් නොවී තියෙද්දි දෙවන කාන්ඩය අලුත් පරිසරයට වඩාත් සුදුසු වෙන ආකාරයකට පරිණාමය වෙන්න ඉඩ තිබුන. මිනිසා පරිණාමය උනේ වඳුරන්ගෙන් නොවේ උනාට, මිනිසා වඳුරන්ගෙන් පරිණාමය උනා නම් වඳුරෝ දැන් ඉන්න බෑ කියල නීතියක් නෑ. උදාහරණයක් කියනවා නම් වෙනම සත්ව විශේෂයක් ලෙස ගැනෙන බල්ලන් පරිණාමය උනේ යුරේසියානු අලු වෘක විශේෂයකින් බව දැන් තහවුරුයි. මේ යුරේසියානු අලු වෘකයන් තාමත් යුරෝපයේ ඉන්නවා. බල්ලොත් ඉතින් ඉන්නව. පොදු පූර්වජයා හා පසුවට කැඩී වෙන් උනු සත්ව කාන්ඩයක් එකම කාලයේ ලෝකයේ ජීවත් වෙන්න බැරිකමක් නෑ.


3. පරිණාමය කියන්නෙ රේඛීය ප්‍රගමණයක් වගේ එකක් නෙමෙයි. කාලය ගතවෙද්දි සත්තු පරිණාමය වෙන්න ඔනෑම කියල නීතියක් නෑ. යම්කිසි සත්ව විශේෂයක් ඒ සත්තු ඉන්නා පරිසරයට හරියට ගැලපෙන විදිහට දැනටමත් පරිණාමය වෙලා ඉන්නවානම්, අවුරුදු මිලියන ගානක් ගියත් ඒ සත්ව ගහණය එහෙමම වෙනස් නොවී ඉඳී. උදාහරණ ලෙස කැරපොත්තා හා මෝරා.


4. එන්න එන්නම සංකීර්ණ සත්තු හැදෙන්න ඔනෑ කියල නීතියකුත් නෑ. කිසියම් සංකීර්ණ සතෙක්ගෙ පරිසර තත්වයන් වෙනස් උනොත් හා දැනට තියෙන මොකක් හරි සංකීර්ණ අවයවයකින් ඒ පරිසරයට සර්වයිවල් ඇඩ්වාන්ටේජ් එකක් නැත්නම්, හා ඒ අවයවය තිබීම නිසා පොඩි හරි සර්වයිවල් ඩිස්-ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා නම් කාලයාගෙ අවෑමෙන් ඒ සංකීර්ණ අවයවය නෂ්ථ වෙලා යන්නත් පුලුවන්. උදාහරණයක් ලෙස ඇස් සහිත ඇතැම් සැලමැන්ඩර් වර්ග අඳුරු ගුහා තුල ජීවත් වීමට හැඩ ගැසීමේදී ඔවුන්ගේ ඇස් නැති වෙලා ගිහිල්ල තියෙනවා.


මිනිසාගෙ පූර්වජයින් ගැන වැඩි විස්තර කියනවානම්. චිම්පන්සියාටත් සේපියන්ස්ලාටත් හිටපු පොදු පූර්වජයා කියල දැනට ගන්න මොකා හරි සතා ගෙන් ගොඩ කාලෙකට පස්සෙ ජීවත් උන "හෝමෝ" කියන සත්ව කාන්ඩය ගත්තොත්. "හෝමෝ" කාන්ඩයට අයත් සේපියන්ස්, ඉරෙක්ටස්, හැබිලිස්, නියෙන්ඩර්තාල්, ෆ්ලොරෙන්සිස්, ඩෙනිසෝවා වගේ සත්ව විශේෂ ගොඩක් එකම කාලයෙපෘථිවියේ නොයෙක් තැන්වල වාසය කරල තියෙනවා (සමහර අවස්ථාවලදි එකම ප්‍රදේශයේ එකම සම්පත් වලට තරඟ කරමින්). මොවුන් අතර තරඟය හා අන්තර් අභිජනනය වගේ දේවල් හරහා අන්තිමට සේපියන්ස් කියල කියන අපේ ගෝත්‍රය මේ ඔක්කොම අතුරින් මතු උනා. සේපියන් ජාන තටාකෙ නියෙඩර්තාල් හා ඩෙනිසෝවා ජාන තියෙනවා. ඒකෙන් පේනවා මෙ ගොල්ල අතරෙ අන්තර් අභිජනනය උනා කියල. ඒ හින්දා මිනිසාගෙ පූර්වජයා මේ සතාය කියල හරියට එක සතෙක් නම් කරන්න අමාරුයි. පරිනාමික පඳුරේ සේපියන්ස් අත්තෙ මුල හිටපු අය තමයි අපෙ ප්‍රධානතම පූර්වජයින්. නමුත් අන්තිමේ මෙ සමහහරු අතු අන්තර් අභිජනනය හරහා එකිනෙක හා වෙලත් තියෙනවා. මොකද හෝමෝ කාන්ඩයෙ සත්තු එකිනෙකා හා ලිංගිකව එකතුවෙලා සරු ජනිතයන් බිහි කරන්න බැරි තරම් ජානමය ලෙස ඈත් වෙලා හිටියේ නෑ. කොටින්ම අර බොහොම ජනප්‍රිය මිනිසාගෙ පරිණාමය දැක්වෙන චිම්ප් කෙනෙක්ට ආසන්න සතෙක්ගෙන් පටන් අරන් ක්‍රමිකව එකා පස්සෙ එකා පරිණාමය උනා කියල පෙන්වන චිත්‍රය වැරදියි. ඒ චිත්‍රය මීඩියා වලින් හදපු වැරදි සරල කිරීමක්. ඒක තමයි පරිණාමවාදය ගැන ලෝකෙ පුරාම ජනප්‍රියම රූප සටහන. අවාසනාවට ඒක වැරදියි!

රිටිගල ජයසේන
ෆේස්බුක් සටහනක උපුටාගැනීමක්

Post a Comment

Previous Post Next Post