හාමුදුරුවනේ, හොරුන්ට ආශිර්වාද ලබාදීම බුද්ධ දර්ශනය
ද?
ශ්‍රී ලංකාවේ දේශපාලන වාතාවරණය මුහුණපා ඇති අභාග්‍ය සම්පන්න
තත්වය නිසා ලොව පුරා රටවලට අපගේ ද්වීපය විහිලුවක්වී ඇති බව නොදන්නා කෙනෙක් නොමැත.
ඒ මදිවාට මුළු ලෝකයේම භේදයකින් තොරව, ඉතා අගනා දර්ශනයක් ලෙස පිළිගැනීමට ලක්වී
ඇති බුද්ධ දර්ශනයටත් නින්දාවන අයුරින් සංඝයා වහන්සේලාගේ ආශිර්වාද කිරීමේ රගපෑමත්
උත්සන්නවී ඇත.
මල්වතු, අස්ගිරි, ගැටඹ, කැළණි, කළුතර, මාතර, මිහින්තලය
සහ මහියංගන ආදී ප්‍රමුඛ පෙළේ විහාරස්ථානවල පමණක් නොව, පුරාණ
රජමහ විහාර ලෙස ලේබල් ගසාගෙන බැබලෙන විහාරස්ථානවල පණ්ඩිත, අතිපණ්ඩිත, කවීශ්වර, මහාචාර්ය
සහ ආචාර්ය යනාදී සුදුසුකම්ලත් චීවරධාරීන්, දහසින් බැඳි පියලි සහිත මල්වට්ටි රැගෙන
තමාවෙත එන ඕනෑම චරිතවලට ආශිර්වාද කිරීම නම් වූ ආවැඩීම සිදු කිරීම අදවන විට
විකාරයක් බවට පත්වී ඇත.
විවිධ දූෂණ රැසකට දායකවූ බවට ජනමාධ්‍ය හරහා ලෝකප්‍රසිද්ධිය
දරණ දේශපාලකයින්ගේ දෑත්වල පිරිත් නූල් ගැටගසමින් ආගමානුකූල ආශිර්වාද ලබාදෙමින්
ඔවුන් හා අල්ලාප සල්ලාපයේ යෙදෙන මහනායක වරුන්ගේ දිදුලන රූපරාමු රූපවාහිනී ප්‍රවෘත්ති
ප්‍රකාශන තුලින් නිරතුරුවම විකාශනය වේ. ජනතාවගේ අයිතීන් සහ ජනතාවට හිමි මුල්‍යමය
සම්පත් විවිධ අයුරින් විනාශ කරමින් මෙම දේශපාලකයින් වැජඹෙන බව මෙම මහනායක හිමිවරු
නොදන්නාසේ කටයුතු කිරීම බුද්ධ දර්ශනයටත් එකග නොවන බාල ක්‍රියාවක්මය.
බෞද්ධාගමික ලේබල් සහිත පොතපතේ පාලි බසින් ලියැවී ඇති
සූත්‍ර සහ ගාථා කිහිපයක් කට පාඩම්කර ඒවා ගයමින් අත්වල නූල් ගැටගසනවාට වඩා එම
ගාථාවල භාව අර්ථයවත් ඒ දූෂිත හොර දේශපාලකයින්ට තේරුම්කර දෙනවානම් යම්කිසි සෙතක්
සිදුවෙතැයි බලාපොරොත්තු විය හැකිය.
ජනතාවගේ ධනය විනාශ කරමින් ගොඩින්, දියෙන් සහ
අහසෙන් සැරිසරා, ප්‍රසිද්ධියටපත් විහාරස්ථාන කරා ළගාවී ආශිර්වාද ලබාගන්නා කපටි, තක්කඩි
දේශපාලකයින් සමග අඩුම වශයෙන් ඔවුන් සිදුකර ඇති දූෂණ පිළිබඳව සාකච්ඡා කොට එවන් දූෂණ, ජනතා
විරෝධී කටයුතුවලින් බැහැරවන ලෙසට අවවාදවත් ලබාදෙනවානම් ආශිර්වාද පූජා රටට ප්‍රයෝජනවත්වනු
ඇත. හාන්සි පුටුවට බරදී තක්කඩි දේශපාලකයින්වෙත සිනහමුසු මුහුණින් ආශිර්වාද ලබාදී
‘‘හොඳයි, ඒක රටට
යහපත්, ඔබ ගත්
පියවර අගෙයි” යන ලෙස ඔවුන් මෙතෙක් ගෙන ඇති සියලු පියවර අනුමත කිරීම ආශිර්වාද කිරීම
දැයි හිමිවරුන්ගෙන් ඇසිය යුතුව ඇත.
මහ බැංකුව කොල්ලකෑ, ජනතාව සතු ධනයෙන්
සිය පරම්පරාවල සොහොන් කොත් ඉදිකළ, උප්පැන්න සහතික සහ විදේශ ගමන් බලපත්‍ර යුගල බැගින් සතුකරගත්, තාත්තා
බලයේ සිටිද්දී මෙන්ම දැනටත් නිධන් හාරන, ජාතික ධනය හොරපාරෙන් තමා සතුකරගෙන විවිධ
පෞද්ගලික පරිහරණයට ගත් සහ තවත් විවිධ දූෂණවල යෙදී සිටි බවට මුළු රටම දැනුවත්වී ඇති
දූෂිත දේශපාලකයින්ගේ එම සාධක නොදන්නා මෝඩ රැලක්සේ සංඝයා වහන්සේලා එකම දූෂිතයාට
විසි තිස් වාරයක් ආශිර්වාද කිරීම විහිලුවක් බව මොලය කළදක් හෝ තිබෙන අයටත් වැටහෙන
සත්‍යයකි.
සංඝයාවහන්ස, ඔබ වහන්සේලා බුද්ධ දර්ශනය වෙනුවෙන්
පෙනීසිටීමට චීවරධාරීන් වූයේනම්, එම දර්ශනය අනුව අදාල ප්‍රතිපත්ති රකිමින් ජීවත් විය යුතුය.
බුද්ධ දර්ශනය ව්‍යාපාරයක් නොවේ. අපරට පමණක් නොව, ලෝකයම හිනස්සවන
ජරාජීර්ණ රාජකාරිවලින් ඔබ වහන්සේලා ඉවත් විය යුතුය. ඔබ වහන්සේලාට ප්‍රථමස්ථානය
ලබාදෙන කපටි, දූෂිත දේශපාලකයින්ට අවවාද අනුශාසනා ලබා දේනම්, ඊට ප්‍රථම
දේශපාලනය සහ රටේ දැවෙන ප්‍රශ්න රාශිය පිළිබඳ අවබෝධයක් ලබාගෙන ඉන්පසුව ආශිර්වාද, අවවාද
ලබාදීම සිදු කරන්න. විවිධ අයුරින් ධනය රැස්කරමින් සියලු සැපසම්පත් විඳිමින්, කටපාඩමින්
ගාථා ගයමින් දූෂිතයින්ට ආශිර්වාද කිරීම බුද්ධ දර්ශනය නොවේ.
පාලි බසින් ග්‍රන්ථාරූඩවූ සියලු වගන්ති බුදුන් වදාළා
යයි සිතන තරමට ඔබ වහන්සේලා අවිචාරශීලී නොවිය යුතුය. යටත් පිරිසෙයින්, කවුරුන්
හෝ දේශනා කළ, කාලාම සූත්‍රයෙන් ලොවටදී ඇති අවවාදය අවබෝධ කරගෙන ප්‍රතිපත්ති
ගරුකව කටයුතු කොට, බුද්ධ දර්ශනය මේවනවිට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩගන්නට උත්සාහ
කරන්න.
සමහර සංඝයා වහන්සේලාගේ නොමනා ක්‍රියාකලාප නිසා අද
බුද්ධ දර්ශනය වැලලී ගොස්ය. බුද්ධාගම යන නාම පුවරුවට මුවාවී ඔබවහන්සේලාගේ
මූලිකත්වයෙන් සිදුවන සහ කෙරෙන නාඩගම් නවතා දැමීමට දායකවන්න. එම පුණ්‍ය කර්මයට දායක
වන්නට නොහැකි නම් චීවර ගලවා දමා ගිහි ඇඳුම් පැළඳුම්වලින්ම සැරසී විහාරස්ථාන හැරදා
යන්න. චීවර ඇඟ දවටාගෙන ගිහියන් ලෙස දිවිගෙවන බහුතර සංඝයා වහන්සේලාට මෙය ඉතා පහසු
කාර්යයක් වෙනු නොඅනුමානයි.
ගෞතම බුදුන්ගේ දර්ශනයට අනුව ප්‍රතිපත්ති ගරුකව
වැඩවසන අතලොස්සක් වන ස්වාමීන් වහන්සේලා විසින් මෙම ලිපියේ අන්තර්ගතය නොසලකා හරින
ලෙස ද ඉල්ලා සිටිමි.
කේ.ආර්. අභයසිංහ
(21.11.2018)
(අංක : 94, කොටලිගොඩ, මැණික්දිවෙල.)

Post a Comment