ස්තුති වේවා !

ස්තුති වේවා !



කලෙක මාධ්‍ය ඔස්සේ මහත් අනුග්‍රහයක් ලැබ, හුදී ජනයා රවටා ලමින් විශාල කට්ටඩි ජාවාරමක් පවත්වාගෙන ගිය ස්ථානයක්වූ මහනුවර පළාතේ ගාල්තැන්න දේවාලයේ සුරක්ෂිතව තැන්පත්කොට තිබු රත්‍රන් හා මුදල් මංකොල්ල කෑ පුවත පසුගියදා වාර්ථා වුණි. මේ දේවාලයේ ‘දේවගැති’ හා තවත් සේවකයින් බැඳ දමා රුපියල් කෝටි ගණනක් වටිනා දේවල් (“පූජා භාණ්ඩ”) මංකොල්ල කන අවස්ථාවේ ‘බලසම්පන්න දේවගැතියාගේ’ සියලු බල සිඳී ගොස් තිබී ඇත. එපමණක් නොව ඔහු ගැතිකම් කල (ඔහුගේ ස්වාමීවූ) කිසිම දෙවියෙකුගේ බලපරාක්‍රමයක් මේ මංකොල්ලය වලක්වාලන්නට සමත්වී නැත; අවම තරමින් දෙවියන්ගේ දිව්‍යඥානයේ බලමහිමයෙන්, දෙවිවරුන්ගෙන් පූර්ව අනතුරු ඇඟවීමක්වත් ඔහුට ලැබී නැත.

දෙවියන්ගේ ප්‍රාදේශීය අම්බලමකට කිසිදු ගරුසරුවක් නැතුව මෙසේ බලහත්කාරයෙන් ඇතුළුවී බැතිමතුන් මහත් භක්තියෙන් තමන්ට පූජා කරන ලද වටිනා දේවල් මෙසේ පැහැරගෙන යාම දෙවියන් කෙසේනම් ඉවසා වදාරයිද ? තමන්ගේ විශ්වාසවන්ත දේවගැතියා මෙවන් නිග්‍රහයකට පාත්‍ර කරවමින්, දෙවියන්ගේ බලපරාක්‍රමය හෑල්ලුවට ලක්කරමින්, තම සුවච කීකරු දේවගැතියාගේ භක්තියවත් තුට්ටුවකට මායිම් නොකිරීම සුළුපටු කාරණයක්ද ?

මේ දේවගැතිවරයා තම බලපරාක්‍රමය රටට ඒත්තු ගන්වන්නට වරක් මාධ්‍ය වෙත ප්‍රකාශ කොට සිටියේ “තමන් විසින් මේවනවිට දෙවියන්ගේ අනුහසින් හා තමන්ගේ මැදිහත්වීමෙන් පුද්ගලයින් එකසිය මෙච්චරක් මරාදමා ඇතිබවයි”. තම සේවාලාභීන්ගේ ඉල්ලීම් ඉටුකොට දීමට එතරම්වූ බලයක් ඔහුට තිබී ඇත. [එවන් ලොකු වැඩ දෙවියන් ලවා කරගැනීමට සමත්වීම නිසා කෘතගුණ සැලකීමක් ලෙස දෙවියන් වෙනුවෙන් දේවාලයට පූජාකළ ධනය සම්බන්ධව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සියලු බදු කොන්දේසි වලින් (දේවාලය හා දේවගැති) නිදහස් කොට තිබුණි.] තමන් සතු බලය එතරම්ම වේයැයි ඔහු එලෙස අනතුරු අඟවා තිබුණි. දෙවියන්ගේ උදහසට ලක්වේය යන බිය නිසා මෙන්ම දේවාලයට පොලිස් ආරක්ෂාව පවා සපයන නිසා පොලිසිය ඒ පිළිබඳව එවකට මුනිවත රැකිය. සමහර අපරාධ වලට සාක්ෂි ලබා ගන්නට (පාපොච්චාරණය කරවා ගන්නට) සැක කරුවන්ගේ ඉල ඇට වලට භග්න සාත්තුව පවා කරන්නට සිදුවන පොලිසියට එවර නම් ස්වෙච්ජාවෙන් ලැබුණු මේ පාපොච්චාරණය ඔස්සේ පරීක්ෂණ පවත්වන්නට ඉහලින් උපදෙසක් ලැබුණු වගක් පෙනෙන්නට නොතිබිණි.

, දෙවියන් කෙරෙහි විශ්වාසයක් නැති මිසදිටුවන් කල්පනා කරන ආකාරයයි.

මේ සම්බන්ධයෙන් දෙවියන් කෙරෙහි මහත් භක්ත්‍යාදරයක් දක්වන නරපනුවන් තම දෙවියන්ගේ දැඩි ප්‍රතිචාරයක් අපේක්ෂා කරයි. මේ අසමජ්ජාති කොල්ලකරුවන්ගේ අකටයුත්තට අත්වන පල විපාක ඇස්පනාපිට බලාගන්නට වැඩි කාලයක් ගත නොවනු ඇත. (මීට පෙරාතුව කතරගම දේවාලයේ තිබී අතුරුදහන්වූ එවැනිම වටිනා ‘පූජා භාණ්ඩ’ පසුව කපුවෙකුගේ පුත්‍රයාගේ නිවසේ තිබී පොලිසිය විසින් සොයා ගන්නා තෙක් දෙවියන් එය ඉවසා වදාරා තිබුණි. ඒ නරක පූර්වාදර්ශය මෙවර මෙම මංකොල්ලකරුවන්ගේ සැක බිය දුරු කිරීමට හේතුවී ඇතිබව අපගේ අදහසයි.) දෙවියන්ගේ අනුකම්පාව දේවගැතියන්ට භූමි කම්පාවක් වී ඇත්තේ එසේය. රටටත් ඒකාධිපතියෙකු අවශ්‍ය යැයි දේශනා කරන සමයක, දේවාල වලට අනුකම්පා විරහිත දැඩි දෙවිවරුන් අවශ්‍ය වන බව දේවාල වල කපුවන්, දේවගැති වරුන් හා කට්ටඩි වරුන් ඉල්ලා සිටීම වැඩි ඈතකදී නොවනු ඇත. එසේ නොමැති වුවහොත් මේ කිසි අංගපුලාවකට නැති නොසන්ඩාල මංකොල්ලකාරයින් ඉදිරියේ දෙවියන්ට මේ ආකාරයෙන් පාච්චල් වන්නට සිදුවනු ඇත.

කේශාන්තයේ සිට පාදාන්තය තෙක් රත්තරන් පොරවාගෙන ජීවත්වන මේ දේවගැතියා නිසා පෘතග්ජන ඉරිසියාකාර මංල්ලකාරයින් පිරිසකට යම් ලෝභ සිතක් පහලවුවා විය හැකිය. එහෙත් පෘතග්ජනයින්ගේ ඒ දුර්වල හැගීම් වලට අනුකම්පාව පාන්නට තවදුරටත් ඉඩ දුනහොත් ඉන් සුවහසක් බැතිමතුන්ගේ විශ්වාසවන්ත යටහත් පහත් සිත් බිඳ වැටෙනු ඇත.

කෙසේමුත් පොලිසිය මේ මංකොල්ල කරුවන් අල්ලා ගන්නට දේවාලයේ CCTV කැමරා දර්ශන ආදිය පරික්ෂා කරන්නට තීරණය කිරීම, දෙවියන්ට හා දේවගැති වරයාට කරන ලද තවත් නිග්‍රහයක් බැව් බැතිමත් හුදී ජනයාගේ කල්පනාවයි. දෙවියන් විසින් මේ කොල්ල කරුවන් ජීවග්‍රහයෙන් ගෙන කුදලාගෙන විත් මෙවන් මිත්‍යාදෘෂ්ටික මංකොල්ල කරුවන්ටත්, රටටමත් අමතක නොවන පාඩමක් උගැන්වීමට අවස්ථාව ලබාදී පසෙකට වුවොත් යහපත් යැයි යන්න තිස්තුන් කෝටියක් වන දේව සභාවේ ඒකමතික තීරණයයි. දෙවියන්ගේ සර්වඥ නිරීක්ෂණ කදම්භයට අලගු තැබීමටවත් නොහැකි, සෙල්ලම් බඩු වැනි මේ CCTV බිබික්කමක් මේ දේව අඩවියේ මෑනුවේ කවරෙක් විය හැකිද යන්න මේ දිනවල (මේ අල්ල පනල්ලේ) දේවගැති වරයාගේ හිතට වදදෙන අනෙක් ප්‍රධානම කාරණයයි.

කෙසේමුත් දෙවියන්ගේ බලපරාක්‍රමයත්, දේවගැතිගේ තරමත් බලාගන්නට අවස්ථාව සලසාදීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වියයුතු යැයි සමහර මිත්‍යදෘෂ්ටිකයින් කියන නොහොබිනා කතාවට මානම් එකඟ නැත.

තාරක වරාපිටිය

ප. ලි.

(මෙම සටහන ලියා අවසන් කලේ මේ ප්‍රවෘත්තිය පුවත්පත් වල පළවූ සැප්තැම්බර් 26 වෙනි දින සවසය. පසුදින වනවිට පොලිසිය විසින් CCTV කැමරා දර්ශන වල මහෝපකාරයෙන්, මීට සම්බන්ධවූ හමුදා සෙබළුන්ද ඇතුළු කොල්ල කරුවන් සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත.)




Post a Comment

Previous Post Next Post