ලංකාව - ඇමෙරිකාවේ පිළිකන්නක් කරන ශ්‍රී ලංකා - ඇමෙරිකා ආරක්ෂක ගිවිසුම

 

ලංකාව

ඇමෙරිකාවේ පිළිකන්නක් කරන ශ්‍රී ලංකා - ඇමෙරිකා ආරක්ෂක ගිවිසුම





ලෝකයේ රටවල ඉතිහාසය දෙස බලද්දී දකින්නට ලැඛෙන්නේ කුමන පාලනයක් යටතේ වුවද ඒ පාලකයන් තම රටේ ස්වෛරීත්වය ආරක්ෂා කර ගැනීමට මැදිහත් වූ බවයි. ඊට හේතුව රටේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම පාලකයන්ගේ ස්වාධීනත්වයට සහ අභිමානයටද හේතුවක් වීමයි. එහෙත් දොන් ජුවන් ධර්මපාලගේ සිට ඉතිහාසය පුරාම ලංකාවේ පාලකයන්ගෙන් අපිට දකින්නට ලැඛෙන්නේ රටේ ස්වෛරීත්වය පාවා දීම්ය. ජේ. ආර්. ජයවර්ධනගේ ඉන්දු-ලංකා ගිවිසුමත්, චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ඇමෙරිකානු සහයෝගිතා ගිවිසුමත්, මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ගෝඨාභය රාජපක්ෂගේ මැදිහත්වීමෙන් සිදු කළ ඇමෙරිකානු ආරක්ෂක ගිවිසුමත්, වර්තමාන ආණ්ඩුව විසින් ගෙන ආ සීපා, එක්ටා සහ සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම් මේ ආකාරයේ රටේ ස්වෛරීත්වය අභියෝගයට ලක් කරන ගිවිසුම්වලින් කිහිපයකි. අතුරින් මේ වන විට ඇමෙරිකානු ආරක්ෂක ගිවිසුම ගැන කතාබහ නැවතත් කරළියට පැමිණ ඇත්තේ වර්තමාන ආණ්ඩුව නැවතත් එම ගිවිසුම අලූත් එකඟතා සහිතව අත්සන් කිරීමට කටයුතු කිරීම නිසාය.

2007 මාර්තු මාසයේ එවකට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ඇමෙරිකානු තානාපතිවරයා විසින් ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරනු ලැබීය. ඒ ඇමෙරිකන් හමුදා කටයුතුවලට ශ්‍රී ලංකා රජය විසින් සේවාවන් ලබාදීම සඳහාය. එම ගිවිසුමට අනුව ආසියානු කලාපයේ ඇමෙරිකන් හමුදාව විසින් යුද්ධයක් කරන්නේ නම් ඇමෙරිකන් හමුදාවට අවශ්‍ය සියලූම සේවා ශ්‍රී ලංකා රජය විසින් ලබාදිය යුතුය. එවකට පැවති ආණ්ඩුව මෙම සියල්ලන්ටම හොර රහසේ අත්සන් කරනු ලැබූ මෙම ගිවිසුම මගින් ශ්‍රී ලංකා ඒ වන විටත් අත්සන් කොට තිඛෙන නොබැඳි විදේශ ප්‍රතිපත්තිය උල්ලංඝනය කරනු ලැබීය.
 එවකට සිටි රාජපක්ෂ ආණ්ඩුව අඩුම තරමේ නීත්‍යනුකූලභාවය වෙනුවෙන්වත් මෙය කැබිනට් මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට හෙළි කළේ නැත. මේ පිළිබඳ අනාවරණය වූ අවස්ථාවේ ද ඒ මොහොතේ පැවැති යුද වාතාවරණය පෙන්වමින් ආණ්ඩුව කියා සිටියේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සඳහා ඇමෙරිකන් හමුදාවේ සහය වැදගත් බවයි. එහෙත් එම ගිවිසුමට අනුව ලංකාව එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග පැවැති යුද්ධයේදී ඇමෙරිකාව විසින් ඒ සඳහා කිසිදු සහයෝගයක් ලබා දුන්නේ නැත. එපමණක් නොව ඇමෙරිකාවෙන් මිල දී ගත් ඇතැම් අවි ආයුධවලට අවශ්‍ය උණ්ඩ ලබා දීම පවා ඔවුහු ප්‍රතික්ෂේප කළහ. මේ ගිවිසුම අත්සන් කළේ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ එවකට ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති රොබට් ඕ බ්ලේක් විසිනි. මෙහි තවත් විශේෂත්වයක් වූයේ දෙදෙනාම ඇමෙරිකානු පුරවැසියන් වීමයි.

2007 අත්සන් කළ එම ගිවිසුම වසර 10ක් පිරුණු පසු 2017 මාර්තු 06වැනිදා කල් ඉකුත් විය. ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් 2017 පෙබරවාරි 23 දින ලිපියක් මගින් කියා සිටින්නේ මෙම ආරක්ෂක ගිවිසුම කල් ඉකුත්වන බවයි. ඒ මොහොතේ ජනතා විමුක්ති පෙරමුණ විසින් විශේෂ ප්‍රකාශයක් කරමින් මෙම ආරක්ෂක ගිවිසුම දීර්ඝ නොකරන ලෙස ආණ්ඩුවට අවධාරණය කළ අතර ඒ මොහොතේ අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පොරොන්දුවක් දෙමින් ප්‍රකාශ කළේ ගිවිසුම නැවත දීර්ඝ කරන්නේ නම්, ඒ බව පාර්ලිමේන්තුවට දැනුම් දෙන බවයි. 
අගමැතිවරයා එවැනි පොරොන්දුවක් ලබා දුන්න, ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් එවන ලද ලිපියට එදිනම පිළිතුරු යවමින් විදේශ අමාත්‍යාංශය විසින් එම ආරක‍ෂක ගිවිසුම දීර්ඝ කිරීමට එකඟතාව පළ කරනු ලබයි. ගිවිසුම දීර්ඝ කරන්නේනම්, පාර්ලිමේන්තුවට දැනුම් දීමට කටයුතු කරන බව අගමැතිවරයා පවසන්නේ ගිවිසුම දීර්ඝ කිරීමට එකඟ බව පවසා තිබියදීය. කෙසේ වුව, මේ වන විට ඉහත කී ඇමෙරිකානු ආරක්ෂක ගිවිසුම නැවත වරක් හොර රහසේම දීර්ඝ කොට තිඛෙන්නේ අගමැතිවරයා පාර්ලිමේන්තුවට දුන් පොරොන්දුව පිළිබඳව කිසිදු තැකීමක් නොකරමිනි. එසේම මෙම ආරක්ෂක ගිවිසුම දීර්ඝ කිරීම සඳහා 2017 ජූනි 30 කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්නේ අගමැතිවරයාමය. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් මෙම ගිවිසුම දීර්ඝ කිරීමේදී ගෝඨා තැබූ පියවර තවත් ඉදිරියට තබා ඇති අතර, ගෝඨා අත්සන් කළ ගිවිසුමේ කාලසීමාව වසර දහයක් වුව, අලූත් ගිවිසුමේ කාලසීමාවක් සඳහන් කර නොමැත. ඒ අනුව මොවුන් සිදු කර තිඛෙන්නේ සදාකාලිකවම ඇමෙරිකාවට යුද්ධවලට සේවා සැපයීම සඳහා ගිවිසුමක් අත්සන් කිරීමයි. 2017දී මෙම ආරක්ෂක ගිවිසුම කාලසීමාවක් නොමැතිව දීර්ඝ කිරීම පිළිබඳ සාකච්ඡා අතරතුරදී ලංකාවේ ආරක්ෂක විශේෂඥයෙක් එහි අහිතකර බව ඕනෑවටත් වඩා පෙන්වාදී ඇත. දැන් රනිල් ආණඩුවට සියල්ල බැර කරමින් ඇඟ බේරා ගැනීමට උත්සාහ දරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එදා සිදු කළේ එම ආරක්ෂක විශේෂඥයා සාකච්ඡාවලින් ඉවත් කිරීමයි. ගිවිසුම අත්සන් කරන්නේ ඉන් අනතුරුවය. අනුව ජනාධිපතිවරයා ඇමෙරිකාවට සම්පූර්ණයෙන්ම යටත් වෙමින් මෙම ගිවිසුම අත්සන් කර ඇති අතර, අගමැතිවරයා රටට සහ පාර්ලිමේන්තුවට බොරු කියමින් සිටියි.

 
පසුගිය සතියේ ඇමෙරිකානු භාණ්ඩ රැසක්, කිසිදු රේගු පරීක්ෂණයකින් තොරව, රේගු බදු ගෙවීමකින් තොරව රට තුළට ගෙන ආ බැව් පුවත්පත් රැසක් පළකර තිබිණි. එයින් සනාථ වන්නේ රනිල් වික්‍රමසිංහ දැනටමත් මෙම ගිවිසුම බලාත්මක කර ඇති බවයි. මෙම ගිවිසුම පරිදි ඇමෙරිකානු කඳවුරු සැපයුම් මධ්‍යස්ථාන මෙහි ස්ථාපිතවී ඇමෙරිකානු සෙබළු අපේ රටේ නීතියට යටත් නොවී නිදහසේ සැරිසරන තත්ත්වයකට පත්වුවහොත්, ඇති වන තත්ත්වය කුමක්? ඔකිනාවා නගරය පත්ව ඇති තත්ත්වයට අප පත් නොවන්නේ?

2018 අගෝස්තු 28වැනිදා නැවත ඇමෙරිකානු තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත අත්සන් කරන ලද මෙම නව ගිවිසුමට අනුව ඇමෙරිකාවේ හමුදා සොල්දාදුවන්ට, ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් සිවිල් පුද්ගලයන්ට, යුද්ධයට සේවා සපයන සියලූම දෙනාට 1961 වියානා සම්මුතියට අනුව තානාපති පහසුකම් ලබා දීමට යෝජනා කරයි. එසේම එම සියලූම පුද්ගලයන්ට පාස්පෝට් නොමැතිව හැඳුනුම්පත පමණක් භාවිත කොට ලංකාවට ඒම සඳහා අවස්ථාව ලබාදිය යුතුය. මෙය ශ්‍රී ලංකාව ඇමෙරිකාවේ පිළිකන්නක් බවට පත්කරන යෝජනාවකි. ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයාට පමණක් නොව රටේ රාජ්‍ය නායකයාට හෝ හැඳුනුම්පත පෙන්වා ඇමෙරිකාවට යා නොහැකි වුව, ඇමරිකාවේ අද හමුදාවට බැඳෙන සොල්දාදුවාට ඔහුගේ හැඳුනුම්පත පෙන්වා ලංකාවට පැමිණීමට හැකියාව තිබේ. එසේම ඇමෙරිකානු සොල්දාදුවන්ට ඔවුන්ගේ නිල ඇඳුමින් ඕනෑම ආයුධයක් සහිතව ලංකාවට පැමිණීමට දැන් අවස්ථාව ලැබී තිබේ. ඔවුන් ලංකාව ඇතුළත කුමන වරදක් කළ, බල පවත්වන්නේ ඇමෙරිකානු නීතියයි. ඇමෙරිකානු සෙබළුන් යුද දෙපාර්තමේන්තුවේ පුද්ගලයන්, සහ ඇමෙරිකානු යුද සේවා සපයන ඕනෑම කෙනෙකු ලංකාවේදී ලබා ගන්නා සේවාවලට, මිලදී ගන්නා භාණ්ඩවලට බදු නිදහස් කොට තිබේ. අනුව ලංකාවේ ආගමන විගමන නීති කිසිවක් බල නොපා ඔවුන්ට ඕනෑම දෙයක් ආනයනය, අපනයනය කිරීමට හැකියාව ඇත. ඇමෙරිකානු හමුදාව ලංකාවට ගෙන්වන නැව්, ගුවන් යානා, කිසිවක් ලංකාව තුළ පරීක්ෂාවට භාජනය කළ නොහැකිය.


මේ ගිවිසුම් හඳුන්වන්නේ ACSA ගිවිසුම් ලෙසයි. මේ ගිවිසුම් එන්නේ කොහෙන්? වැදගත් ප්‍රශ්නය වන්නේ එයයි. මෙවැනි ගිවිසුම් අත්සන් කර තිඛෙන්නේ නේටෝ සංවිධානයේ මැදිහත් වීමෙන් සීතල යුද සමයේ ඇමෙරිකාවට විවිධ රටවල් යටත් කරගැනීම සඳහාය. නේටෝ යනු යුද සංවිධානයකි. අද ඇමෙරිකාව ලංකාව සමඟ මේ විදියට අත්සන් කරන්නේ ඔවුන් 1970 ගණන්වල භාවිත කරන ලද ගිවිසුම්ය.

මිලිටරි අධිරාජ්‍යය ලෙස ගොඩනඟා ගත් ලෝකයේ තියෙන එකම රාජ්‍යය වන්නේ ඇමෙරිකාවයි. මේ වන විට ලෝකය පුරා රටවල් ගණනාවක ඇමෙරිකානු යුද කඳවුරු 1,200ක් පමණ ස්ථාපිත කර ඇත.

ලෝකයේ රටවල් 20ක මධ්‍යම අණදෙන කඳවුරු පිහටුවා තිබේ. ලෝකයේ රටවල් 130ක පමණ ප්‍රමාණයක් සමඟ කුමන හෝ ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරන්නට ඇමෙරිකාව කටයුතු කර ඇත.

ඇමෙරිකාව ලංකාව සමඟ මෙවැනි ආරක්ෂක ගිවිසුම් අත්සන් කරන්නේ, හමුදාවට තෙල්, වතුර ලබාගැනීම සඳහා යැයි කියා ඇඟ බේරා ගන්නට ආණ්ඩුව සූදානම් විය හැකිය. එහෙත්, සත්‍ය තත්ත්වය එය නොවේ. තෙල් හෝ වතුර ලබා ගැනීම සඳහා පමණක්නම් සඳහා ඇමෙරිකාවට දකුණු ආසියානු කලාපයේ ඉන්දියාව, මාලදිවයින, පකිස්ථානය, බංගලාදේශය වැනි රටවල් සමග මෙවැනි ගිවිසුම් අත්සන් කළ හැකිය. වෙනුවට මෙම ගිවිසුම් මඟින් ඇමෙරිකාව සිදු කරන්නේ කුමන හෝ ගිවිසුමක් මගින් රටවල් තමන්ගේ ආධිපත්‍යයට යට කරගැනීමයි. මීට පෙර ලංකාව අත්සන් කර තිබුණේ ACSA ගිවිසුමකි. නමුත් SOFA වර්ගයේ ගිවිසුම් යනු ඊටත් වඩා රටවල් ඇමෙරිකන් ආධිපත්‍යයට යටකරන ගිවිසුම් වර්ගයකි. මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිඛෙන්නේ ACSA ගිවිසුමක් වෙනුවට SOFA වර්ගයේ ගිවිසුමක් බවට එය පරිවර්තනය කර ගැනීම සඳහාය. කනගාටුවට කරුණ වන්නේ ලංකාවේ රූකඩ කැබිනට් එක මේ ගිවිසුම්වලට එකඟ වෙමින් සිටීමයි.

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් සිදු කරන ලද මෙවැනි බලහත්කාරී අත්පත් කර ගැනීම් සඳහා උදාහරණ ඕනෑ තරම්ය. දෙවන ලෝක යුද්ධයෙන් පසු ස්ටේටස් ඔෆ් ෆෝසස් යන ගිවිසුමට අනුව ඔවුන් එදා සිට ජපානයේ ඔකිනාවා නගරයේත්, ජර්මනියේත් සිය කඳවුරු පිහිටුවා තිබේ. ඔකිනාවාහි කුඩා ජපන් දැරියන් පවා ඇමෙරිකානු සොල්දාදුවන් අතින් දූෂණයවී ඇති අතර, මිනීමැරුම් පවා සිදුවී ඇත. නමුත්, ඔවුන් ජපානයේ නීතියට යටත් නොවේ. ඔවුන් යටත් වන්නේ ඇමෙරිකන් රජයේ නීතියටය. ඔවුන්ට නීතිප්‍රකාර ක්‍රියාමාර්ග ගන්නේ නම් ගනු ලබන්නේ ඔවුන්ම මිස ජපන් රට නොවේ. මේ සම්බන්ධයෙන් ජපන් ජනතාව කුමන ආකාරයේ විරෝධය පෑවත් අද වනතුරු කිසිදු පලක්වී නොමැත. ඇමෙරිකාව ආසියානු කලාපයේ පමණක් ආරක්ෂක ගිවිසුම් 38ක් අත්සන් කොට තිබේ. දියාගෝ ගාර්ෂියාව, ඇමෙරිකාවේ යටත්විජිතයක් ලෙස පවත්වාගෙන යන්නේ එහි ජීවත්වූ ජනතාව පවා ඉවත් කරමිනි. එහෙත්, මේ වන විට ජනතාවට දියාගෝ ගාර්ෂියාව ලබාදෙන ලෙස බ්‍රිතාන්‍ය අධිකරණය විසින් තීන්දුවක්දී තිබේ. නමුත්, බ්‍රිතාන්‍ය ආණ්ඩුව සහ ඇමෙරිකාව එම නඩු තීන්දුව නොසලකා කටයුතු කරමින් සිටියි.

කෙසේ වෙතත්, ආසියාවේ ඇති දියාගෝ ගාර්ෂියා දූපතේ පිහිටි ඇමෙරිකානු කඳවුර සම්බන්ධ දීර්ඝකාලීන බදු ගිවිසුම දැන් අවසන් වී ඇත. ඔවුන් දැන් බලන්නේ තමන්ට පය තැබීමට විකල්ප ස්ථානයන්ය. අපේ රට වසර දහස් ගණනක් තිස්සේ ලෝකයාට වැදගත් වී ඇත්තේ අපේ රටේ පිහිටීම නිසාය. කලාපයේ, භූ දේශපාලනික වශයෙන් අතිශය වැදගත් ස්ථානයක පිහිටා ඇති නිසාය. උපායමාර්ගික වශයෙන් රට ඉතා වැදගත් නිසාය. එවන් රටක හම්බන්තොට වරාය චීනයටත්, මත්තල ඉන්දියාවටත්, ත්‍රිකුණාමලය වරාය සහ රට පුරාම තම යුද කටයුතු කිරීමේ බලය ඇමෙරිකාවටත් ලබා දුනහොත් රටේ කිිසිදු වටිනාකමක් ඉතිරිවේද? එවිට අපි අපේ සම්පත් පිළිබඳව තීරණය ගත නොහැකි වක්‍රාකාරයෙන් යටත් විජිතයක ජීවත් වන පිරිසක් බවට පත් නොවන්නේ?

චතුර දිසානායක
(10. 03. 2019
දින 'ලංකා' පුවත්පතෙහි පළවූ ලිපියකි)

Post a Comment

Previous Post Next Post