ස්ටීවන් හෝකින්- විශ්වය විමසයි.
(කීර්තිධර භෞතික විද්‍යාඥ ස්ටීවන් විලියම් හෝකින් (1942-2018) විශ්වයේ කුතුහලය දනවන රහස් ද මිනිස් වගෙහි අනාගතය ද පිළිබඳ සිය පළල් දැක්ම විශද කරමින් කළ දෙසුම.
(මෙම ලිපිය නද්යා භාෂිණී අමරනායක විසින් පරිවර්තනය කරන
ලදුව boondi.lk හි පලවූ ලිපියකි)
"විශ්වය තරම් විශාල හෝ පැරණි අන් කිසිවක් නොමැත. මා
සාකච්ඡා කිරීමට කැමති ප්‍රශ්ණ කිහිපයකි; අප පැමිණියේ කොහෙන්ද? විශ්වයේ පැවැත්ම ඇතිවූයේ කෙසේද? විශ්වය තුළ අප වෙසෙන්නේ හුදකලාවද? පිටසක්වල ජීවයක් තිබේද? මිනිස් වගෙහි අනාගතය කෙබඳු වේද?
1920 වන තුරුත්, විශ්වය යනු ඉඳුරාම ස්ථීතික සහ කාලයත් සමග නොවෙනස්වන සුළු
දෙයකැයි සියල්ලෝ සිතූහ. පසුව සොයාගැනුනේ, විශ්වය ප්‍රසාරණය වෙමින් පවතින බවයි. ඈත එපිට මන්දාකිණි
අප වෙතින් ඉවතට චලනය වෙමින් පවතියි. ඉන් අදහස් වන්නේ, එකී මන්දාකිණි අතීතයේදී අපට වඩා සමීපව පවතින්නට ඇති බවයි.
නැවත මුලටම යතොත්, වසර බිලියන පහළොවකට පමණ පෙර, සියළු මන්දාකිණි එක මත එක තිබූ යුගයක් තිබෙන්නට ඇත.
විශ්වයේ ඇරඹුම, මහා
පිපිරුම (Big Bang) නම් එයයි!
එහෙත්, ඉනුත් එපිට, මහා පිපිරුමෙනුත් පෙර කිසිවක් තිබිණිද? එසේ නොවිණි නම්, විශ්වය මැවුනේ කවර නම් දෙයකින්ද? මහා පිපිරුමෙන්, විශ්වය බිහි වූයේ කිනම් හේතුවකින්ද? විශ්වය පිළිබඳ න්‍යාය කොටස් දෙකකින් යුතු වේ යැයි සිතන්නට
අප හුරුව සිටිමු. පළමුවැන්න නම්, මැක්ස්වෙල්ගේ සමීකරණ සහ සාමාන්‍ය සාපේක්ෂතාවාදය බඳු
විශ්වයේ පරිණාමය නිර්ණය කෙරෙන නියමයන් ය. දෙවැන්න නම්, විශ්වයේ මුල් ස්වරූපය ගැන ප්‍රශ්ණ නොනැගීම ය.
මින් පළමුවැන්නෙහි ලා අප මනා ප්‍රගතියක්
ලබා ඇත්තෙමු; බොහෝ
ආන්තික තත්ත්වයන් හැර පරිණාමය පිළිබඳ නියමයන් විෂයයෙහි අවැසි දැනුම අප ලබා
ඇත්තෙමු. එහෙත් මෑතක් වන තුරුම, විශ්වයේ මුල් ස්වරූපය පිළිබඳ අපට තිබුණේ ඉතා කුඩා අදහසක්
පමණි. කෙසේ නමුත්, පරිණාමයේ නියමයන් සහ විශ්වයේ මුල් ස්වරූපය තේරුම් ගැනීම
සම්බන්ධ මෙකී විභේදනය, වියුක්ත සහ ස්වායත්ත ලෙස, කාලය සහ අවකාශය මත යැපෙයි. ආන්තික තත්ත්වයන් යටතේ, සාමාන්‍ය සාපේක්ෂතාවාදය සහ ක්වොන්ටම් න්‍යාය මගින් 'අවකාශයේ'ම වෙනත් මානයක් ලෙස 'කාලය' හඳුනාගැනෙයි. එමගින් කාලය සහ අවකාශය අතර වෙනස ඉවත් කෙරෙන
අතර පරිණාමයේ නියමයන් මගින්ම විශ්වයේ මුල් ස්වරූපය නිර්ණය කිරීමේ හැකියාව ඇති කරනු
ලබයි. විශ්වයට, ස්වයං
සිද්ධවම, කිසිදු දෙයකින් තොරව තමන්වම බිහි කර ගැනීමට හැකිය!
එපමණක් නොව, අපට විශ්වය ඒ ඒ අවස්ථාවන්ගේ දී බිහි වූ අන්දම පිළිබඳ
සම්භාවිතාව ගණනය කිරීමට හැකිය. මෙකී නිරීක්ෂණ, මුල් කාලීන විශ්වය පිළිබඳ මුද්‍රාවක් බඳු වූ, WMAP චන්ද්‍රිකාවේ(1) අන්තරීක්ෂ සූක්ෂ්ම තරංග නිරීක්ෂණ සමග කදිමට පෑහෙයි.
මැවිල්ලේ අභිරහස අප විසඳා ඇතැයි සිතමු. ඉදින් අප විශ්වයේ 'පේටන්ට්' බලපත්‍රය ලබා ගෙන සියල්ලන්ගෙන් ඒවායේ පැවැත්ම උදෙසා 'කර්තෘභාගය' ලබා ගත යුතුය!
දැන් මා යොමුවන්නේ දෙවැනි මහා ප්‍රශ්ණය
දෙසට. විශ්වයේ අන් තැනෙක ජීවය පවතිනවාද? අප හුදකලා වී සිටින්නෙමු ද? පෘථිවිය මත ජීවය ස්වයංසිද්ධව පැන නැගිණි යැයි අප විශ්වාස
කරන්නෙමු. එපරිද්දෙන්, විශ්වයේ වෙනත් සුදුසු ග්‍රහලෝකයක ජීවය බිහි වීම පිණිස
විශාල ‘විය හැකියාවක්’ තිබේ.
එහෙත්, ජීවය මුලින් පහළ වූයේ කෙසේදැයි අප නොදන්නෙමු. ජීවය පහළ වීමට සාක්ෂි පිණිස නිරීක්ෂණමය සාක්ෂි ද්විත්වයක්
අප සතුය. එනම්, පළමුවැන්න, වසර බිලියන 3.5ක් පැරණි ඇල්ගී පොසිලයකි. පෘථිවිය වසර බිලියන 4.6කට ප්‍රථම බිහි වන්නට ඇති අතර, එන් පළමු වසර බිලියන අඩක්ම අධික උෂ්ණත්වයකින් යුක්ත වන්නට
ඇත. ඉන් කියැවෙන්නේ, මිහිමත ජීවය පහළ ව ඇත්තේ, එසේ විය හැකිව තිබූ වසර බිලියන අඩක කාල පරිච්ඡේදයක් තුළ
බවයි. පෘථිවිය වර්ගයේ ග්‍රහලෝකයක සම්පූර්ණ ආයු කාලය සේ සැලකෙන වසර බිලියන 10ක කාලය හා සැසඳීමේදී, ජීවය බිහි වීම පිණිස ගත කරන ලද වසර බිලියන අර්ධය යනු
සාපෙක්ෂව අඩු කාලයකි. මෙමගින් ඒත්තු ගැන්වෙන්නේ, ජීවය පහළ වීමේ සම්භාවිතාවය සෑහෙන තරම් ඉහළ බවය. එය ඉතා
පහළ වූයේ නම්, ඉතිරිව
ඇති වසර බිලියන දහයෙන් ඊට වඩා වැඩි ප්‍රමාණයක් ගත වීමට ඉඩ තිබිණි.
අනෙක් අතට, පිටසක්වල ජීවීන් පෘථිවියට පැමිණි බවක් පෙනෙන්නට ඇත්තේ ද
නැහැ. හඳුනා නොගත් පියාසර වස්තු (UFO) පිළිබඳ වාර්තා මා තකන්නේ නැහැ. පිටසක්වල ජීවීන්, මනස්ගාතකාරයන්ට සහ විකාරකාරයන්ට පමණක් පෙනෙන්නට එන්නේ
මන්ද? පිටසක්වල ජීවීන් රැගෙන එන විද්‍යාත්මක දැනුම තමන් සන්තක
කරගෙන, එබඳු පැමිණීම් පිළිබඳ වාර්තා යටපත් කොට ගෙන සිටීම සඳහා
ආණ්ඩු විසින් කරනු ලබන කුමන්ත්‍රණයක් තිබේ නම්, එය පුදුමාකාර විකාර ප්‍රතිපත්තියක් විය යුතුය. එපමණක් නොව, SETI ව්‍යාපෘතියෙන්(2) කෙරෙන පෘථුල ගවේෂණ තිබියදීත්, පිටසක්වල රූපවාහිනී ප්‍රශ්ණ විචාරාත්මක තරග වැඩසටහන් අපට
නම් ඇසී නැත! මේ සියල්ලේ හැඟවුම නම්, අපෙන් ආලෝක වර්ෂ සිය ගණනක පරිධියැති වෘත්තාකාර සීමාවක්
තුළ නම්, අපේ දියුණුවේ මට්ටමට ළඟා වූ කිසිදු පිටසක්වල ශිෂ්ටාචාරයක්
නොමැති බවයි. ඉදින්, පිටසක්වල ජීවීන් විසින් පැහැර ගැනීම ආවරණය කිරීම පිණිස
රක්ෂණ ඔප්පුවක් පිරිනැමීම ඕනෑම කෙනෙකුට නොබියව කළ හැක්කක්!
දැන් මා එළඹෙන්නේ, මහ ප්‍රශ්ණවලින් අවසන් ප්‍රශ්ණයටයි; මිනිස් වගෙහි අනාගතය! චක්‍රාවාටයටම සිටින එකම බුද්ධිමත්
ජීවීන් අප නම්, අප එකී
ජීවය දිගටම පවත්වාගනිමින් නොනැසී සිටිය යුතුයි. එහෙත්, අප ඉතිහාසයේ අතිමහත් බියකරු යුගයකට පිය මනිමින්
සිටින්නෙමු. හොඳට හෝ නරකට පරිසරය වෙනස් කිරීමට අප සතු තාක්ෂණික හැකියාවන් සමගින්ම
අපගේ ජනගහණයත්, මිහිමතැති
සීමිත සම්පත් පාරිභෝජනයත් අධි වේගයකින් වැඩෙමින් පවතියි. එහෙත්, අපගේ ජාන රටාවන් තවමත් (ආදිතම යුගයන්ගේදී අපට නොනැසී
පවතීම සඳහා වාසිදායකව බලපෑ) ආත්මාර්ථකාමී සහ කලහකාරී ආශයන් දරයි. එළඹෙන ඉදිරි වසර
දහසක් හෝ මිලියනයක් තිබියේවා, වසර සියයක්වත් නිරුපද්‍රිතව පැවතිය නොහැකි බවකි
දිස්වනුයේ.
අපට දීර්ඝ කාලීන පැවැත්මක් සඳහා ඇති එකම
අවස්ථාව නම්, පෘථිවියේ
සැඟවී සිටීම නොව, අභ්‍යවකාශය දක්වා පැතිර යාමයි. මේ මහා ප්‍රශ්ණයන්ට ලද
පිළිතුරු මගින් පෙනෙන්නේ ගෙවුණු වසර සිය ගණනක් තුළ අප විශිෂ්ට ප්‍රගතියක් ලබා ඇති
බවයි. එහෙත්, එළඹෙන
වසර සියයෙන් එහාට, අපගේ අනාගතය ඇත්තේ අභ්‍යවකාශයේයි. මේ මහා ප්‍රශ්ණයන්ට ලද
පිළිතුරු මගින් පෙනෙන්නේ ගෙවුණු වසර සිය ගණනක් තුළ අප විශිෂ්ට ප්‍රගතියක් ලබා ඇති
බවයි. එහෙත්, එළඹෙන
වසර සියයෙන් එහාට, අපගේ අනාගතය ඇත්තේ අභ්‍යවකාශයේයි. මා මිනිසුන් රැගත්
අජටාකාශ පියසැරියක් වෙනුවෙන් පෙනී සිටින්නේ එබැවින්.
මගේ මුලු දිවිය පුරා මා බලාපොරොත්තු
වූයේ මෙකී ප්‍රශ්ණ වලට පිළිතුරු සෙවීමටයි. විශ්වය වටහා ගැනීමටයි. මගේ අබලතාව ඒ
සඳහා බරපතල බාධකයක් නොවීම මා ලද මහත්ම වාසනාවක්. ඇත්ත වශයෙන්ම, ඇතැම්විට එකී අබලතාව නිසා වෙනත් අයට වඩා වැඩි කාලයක්
දැනුම ලුහුබැඳ යාම පිණිස මට ලැබී තිබේ. අවසන් අරමුණ වන්නේ, විශ්වය පිළිබඳ පරිසමාප්ත න්‍යායක්; එහි ලා අප ඉතා හොඳ ප්‍රගතියක් පෙන්වමින් සිටින්නෙමු.
නද්යා භාෂිණී අමරනායක
2021 ජුනි මස පළවූ යථාර්තය සඟරාවේ උපුටා ගැනුමකි

Post a Comment