විද්‍යාව හා විද්‍යාඥයෝ
කලෙක සිට ‘සිටි FM’ සේවය සන්ධ්‍යාවේ විකාශය කරන ‘අනන්තය’ නම් සාකච්ජා වැඩසටහන එහි ආරම්භයේදී
රේඩියෝ මාධ්‍ය තුල ඉතා ඉදිරිගාමී සංවාද අවකාශයක් ගොඩනගමින් සිටියේය. සමාජයට වැදගත්
දැනුමක් ලබා දීමටත්, අලුත් දැනුම ප්‍රචලිත
කිරීමටත් එවන් වැඩසටහන් විරල ලංකාවට එය අලුත් ප්‍රයත්නයක් හා ප්‍රවණතාවයක් විය.
අපේ රටේ විද්‍යුත් මාධ්‍ය තුල ජනප්‍රිය වී ඇත්තේ සමාජයට දැනුම ලබාදෙන හෝ බුද්ධිමය
පර්යාය පුළුල් කරන සන්නිවේදකයින් නොව, යම් යම් හිස්ටෙරියා අබාධ වලින් පෙලෙන කටමැත දොඩවන අයයි; මේ අයගේ සමහර ප්‍රකාශ සමාජයට හා මනුෂ්‍ය
වර්ගයාට අගතිය ගෙනදෙන ඒවාද වෙයි. අපේ ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුල ගුණාත්මක මට්ටමේ
වෘත්තීය මාධ්‍යවේදීන් දුර්ලභ වීමත් ඒ ස්වල්ප දෙනාද රැඳී සිටින්නේ ජනප්‍රිය ජනමාධ්‍ය
තුල නොව විකල්ප ධාරාවේ මාධ්‍ය තුල වීමත් අපේ ‘අභාග්‍යයකි’. එනිසා ජනප්‍රිය මාධ්‍ය
ආයතන තුල ජය කෙහෙළි නංවා සිටින්නේ එසේ නොවන ‘සේල්ස් රෙප්ලා’ මට්ටමේ මාධ්‍ය
කරුවන්ය. ඔවුන්ගෙන් සමාජ ප්‍රගමනයට වැදගත් වන මාධ්‍ය මෙහෙවරක් අපේක්ෂා කල නොහැකිය.
එවන් සන්දර්භයක මෙවන් සංවාදශීලී වැඩසටහනක් කෙරෙහි අපගේ අවධානය නිසැකයෙන් යොමුවේ.
එහෙත් එහි සීමාවන් සමහර විටෙක අප අධෛර්යමත් කරයි; මන්දෝත්සාහී කරවයි.
සමාජය වෙත විද්‍යා දැනුම හෝ විද්‍යාවේ දර්ශනය
පිළිබඳව කරන අදහස් දැක්වීම් වලදී එය ග්‍රහණය කරන ශ්‍රාවක සමාජය පිළිබඳ
සමාජ-මනෝවිද්‍යාත්මක විග්‍රහයක් තිබිය යුතුය. එසේ නොවන විටදී විද්‍යා දැනුම පිලිබඳ
සාක්ෂරතාවය ප්‍රමාණවත් නොවන ශ්‍රාවකයින් එය ‘කියවා ගන්නේ’ විද්‍යාව නම් ප්‍රපංචය
පිළිබඳව පොදු සමාජය තුල ප්‍රචලිතව ඇති ප්‍රවාදය පදනම් කරගනිමිනි. එක් අතකින් විද්‍යාත්මක
දැනුම් පද්ධතිය පිළිබඳව තිබිය යුතු සමස්තතාවාදී අදහස, වඩා ප්‍රශස්ත ලෙස සන්නිවේදනය කිරීමේ
කුසලතාවය අඩු විටෙක සමාජය විසින් එකී අදහස ගැටගසා ගන්නේ යටකී ප්‍රචලිත එහෙත් වැරදි
විශ්වාසයේ පදනමිනි.
මේ පූර්විකාව ඇතිව මා ඉදිරිපත් කරන කාරණය වන්නේ, වෙනත් ඕනෑම කාරණයකදී මෙන්ම විද්‍යාව
අරබයා අපගේ ඉදිරිපත් කිරීමේදීද ප්‍රවේශම් වියයුතු බවයි. මක්නිසාද ප්‍රේක්ෂකයා හෝ
ශ්‍රාවකයා අපගේ අදහස් ග්‍රහණය කරගන්නේ, තේරුම් ගන්නේ කිනම් සන්දර්භයක තබා විය හැකිද යන අවබෝධය අප සතු විය යුතු
බැවිනි.
සමහර විද්‍යාව උගත් අපේ උගතුන් හා ප්‍රවාද තනන්නන්
රට තුල වගා කොට ඇති කාරණයක් නම්, විද්‍යාව
‘බටහිරින් ආ එකක්’ වැනි අදහසකි. ඊට අපගේ ඓන්ද්‍රීය සම්බන්ධයක් නැති එකක් වැනි
අදහසක් ඒ සමගම අපගේ ‘යටි හිතේ’ පැලපදියම්ව පවතී. එවිට, විද්‍යාව හෙවත් (ලෝකය මතුද නොව)
විශ්වයම විග්‍රහ කර ගැනීමේ මේ දැනුම් පද්ධතිය යනු සමස්ථ මානව වර්ගයාගේම වෑයමක ප්‍රතිඵලයක්ය
යන නිවැරදි අදහස විතැන් වෙයි. ඉහතකී උගතුන්, අපට අතීතයේ ලොකු දැනුමක් හා තාක්ෂණයක් තිබු බවට අතිශයෝක්ති කතාවක් මෙන්ම
එක්තරා අන්තවාදී අදහසක්ද ප්‍රචලිත කොට ඇති නිසා බොහෝදෙනාට මේ ‘විජාතික’ විද්‍යාව
යන මිත්‍යාව තොරොම්බල් කිරීම ජනප්‍රියවාදී ‘කටගැස්මකි’.
අපේ අතීත මුතුන් මිත්තන්ද වාරි කර්මාන්තය තුල මෙන්ම
යම් ඉදිකිරීම් තුලින් ලෝකයට දායාද කල දැනුමක් හා තාක්ෂණයක් ඇත; ව්‍යවහාරික අත්දැකීම් ප්‍රමාණයක් ඇත.
ඒ දේවල්ද මේ ලෝක දැනුම තුල තබා විග්‍රහ කරනු වෙනුවට ඉන් බැහැර වියුක්ත යමක් ලෙස
අතිශයෝක්තියට නැගීමේ විපාකය දැන් විෂම චක්‍රයක් වන්නේ ඒ අනුවයි. ලෝකයේ විවිධ ප්‍රජාවන්
අතර භාෂාවක් ගොඩනැගුනේ එකිනෙක ස්වායත්තව වුවත් භාෂාවන්ගේ පරිණාමය සිදුවන්නේ භාෂාවේ
විද්‍යාව තුලයි. භාෂාවේ විද්‍යාව විජාතික එකක් නොවන්නේ යම්සේද ඊටත් වඩා පොදු ව්‍යවහාරයක්
හා පොදු හවුල් වීමක් තුල වර්ධනය වන විද්‍යාව යනු මානව සංහතියේම විශිෂ්ඨ නිර්මාණය
වෙයි.
සමහර විද්‍යා උගතුන් හට විද්‍යාව නම් දැනුම්
පද්ධතියේ සමස්ථතාවාදී විග්‍රහය නොමැති නිසාදෝ එසේත් නැත්නම් තම පාණ්ඩිත්‍යය විදහා
පෑමේ මෙවලමක් ලෙසින් භාවිත කළහැකි නිසාදෝ, තම අදහස් දැක්වීම් තුලදී විද්‍යාවේ ‘සීමාවන්’ සලකුණු කිරීමට හදිසි වෙයි.
ඔවුන් ශ්‍රාවකයාට හෝ ප්‍රේක්ෂකයාට පෙන්වන්නට සලස්වනුයේ තමන්ට විද්‍යාවේ සීමාවටද
එහාගිය දැනුම් සිතිජය දකින්නට තරම් බුද්ධිමය පර්යාවලෝකයක් තිබෙන බව විය හැකිය.
විද්‍යාව සමාජයේ ප්‍රගතිය උදෙසා යොදා ගන්නා අය එසේ වගකීම්
විරහිතව පණ්ඩිතමානී කයිවාරු ඇද බාන්නේ නැත; මේ විද්‍යාත්මක දැනුම, අපේ රටේ/සමාජයේ ප්‍රගතියට හරස්ව මේ මොහොතේ තිබෙන මිත්‍යාටව හා
අවිචාරයට මෙන්ම හුදු අතීතකාමී පසුගාමිත්වයට එරෙහිව භාවිතා කිරීමට උත්සාහ කරන අයෙකු
වේනම් ඊට ඉවහල් වන උපායමාර්ගය අවබෝධ කරගත යුතුය. එසේ නොවුවහොත් ඒ අය ඉටු කරන්නේ
‘විද්‍යාව පට්ටපල් බොරුවකි’ යැයි ප්‍රකාශකරන එක්තරා වර්ගයක උන්මත්තක ‘බොකෝ හරාම්’
(හෙවත් බටහිර දැනුම එපා!) වර්ගයේ අන්තවාදී මානසිකත්වයට අනුබල දෙන කරුණු සම්පාදනය
කිරීමයි.
තාරක වරාපිටිය

Post a Comment