ජාතිය ගොඩනැංවීම - ජාතිය යනු? 2

 

ජාතිය ගොඩනැංවීම - ජාතිය යනු? 2






ජාතිය’ යන සමාජ සංවිධානය යනු වසර දහස් ගණනක පැරණි ඉතිහාසයක් සහිත සාමූහික මිනිස් කුලකයක් නොව නූතන සමාජ සංවර්ධනය ඔස්සේ පරිණාමය වූ, ගතික මිනිස් බන්ධුතාවයක් හා මනෝභාවයක් බවට කරුණු පෙළ ගැස්වීමේ උත්සාහයක පසුගිය සතියේ නියළුනෙමි. මේ එහි ඉතිරි කොටසයි.

යුරෝපයේ කාර්මික විප්ලවයෙන් අනතුරුව ගමනාගමනය, මාර්ග පද්ධති, සන්නිවේදනය, බලශක්ති අවශ්‍යතා යන සාධක විසින් ලෝකය තුල පැවති භූගෝලීය දුෂ්කරතා අභිබවනය කිරීම සිදුවිය. එසේ භූගෝලීය දුෂ්කරතා ජයගන්නා විට මෙතෙක් වෙන් වෙන්ව ජීවත්වූ සමාජ කණ්ඩායම් අතර සම්බන්ධතා ගොඩනැගුණි. ඒවා ආර්ථික සම්බන්ධතා හෝ සංස්කෘතික සම්බන්ධතා හෝ වූ හෙයින් එකිනෙකා අතර සමානතා මතුව ඒමටත් පොදු අනන්‍යතා වර්ධනය වීමටත් අවස්ථාව නිර්මාණය විය. එතුලින් මේ සාමූහික කුලකය වැඩි වර්ධනය වුනි; සාමූහික සවිඥානිකත්වය තුල ජාතීන් ගොඩනැගෙන්නේ ඒ ආකාරයෙනි.

ජාතීන් ගොඩනැගීමේ මුල් වකවානුවේ එසේ සාමූහික පොදු අනන්‍යතා සහිත මිනිස් කුලකය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වුයේ ආර්ථික අවශ්‍යතා/විභවතා, භාෂාව හා ආගම විසිනි. එහෙත් පශ්චාත් නූතන යුගයේදී එකී කාර්යභාරය දේශපාලන ගොඩනැංවීම් හා දෘෂ්ටිවාදී මැදිහත්වීම් විසින්ද ඉටු කරමින් ඇත.

මෙම පොදු ලෝක සන්දර්භය හා සමගාමීව මෙන්ම ශ්‍රිලංකාවේ දේශපාලන සුවිශේෂතා හේතුවෙන්ද සිංහල ජාතිය මෙන්ම දෙමළ ජාතිය වෙන් වෙන්ව පරිණාමය විය.

1971 හා ඊට පෙර ශ්‍රිලංකාවේ ජනසංගණන තොරතුරු පරිශීලනය කරනවිට, ශ්‍රිලංකාවේ වාර්ගික සංයුතිය උඩරට සිංහල හා පහතරට සිංහල යනුවෙන් වෙන් වෙන්ව ජනගහන තොරතුරු ප්‍රකාශයට පත්කොට ඇති ආකාරය නිරීක්ෂණය කල හැකිය. එනම් නූතන සිංහල ජාතිය සම්පූර්ණ වුයේ, මීට වසර 40 කට පෙරාතුව පැවති අතිශය සමානකම් සහිත ජනවර්ග දෙකක එකතුවීමක් තුලිනි. ඇත්තෙන්ම ස්වභාවිකව හා නූතනත්වය විසින් එකතු කිරීමට/වීමට සිටි උඩරට හා පහතරට සිංහලයින් කඩිනමින් එක් කරනු ලැබුවේ උතුරේ පැනනැගී දෙමළ වෙන්වීම් වාදී ව්‍යාපාරය විසිනි. එසේම උතුරේ හා නැගෙනහිර වෙන් වෙන්ව ගොඩනැගුනු දෙමළ ජාතිය, දෙමළ අරගලය තුල යම් තාක් දුරට පොදු ඒකත්වයකට ගොනු වුවද සිංහල ජාතිය මෙන් තනි අනන්‍යතාවයකට තවම පරිණාමය වී නැත. දෙමළ කුල ක්‍රමයේ පසුගාමිත්වය තවම ඔවුන්ගේ සමනුයෝජනයට බාධකයක්ව ඇත.


උඩරට හා පහතරට සිංහලයින්ට අභියෝගාත්මක ‘පොදු සතුරෙකු’ උතුරේ බිහිවීම තුලින් මේ කණ්ඩායම් දෙකෙහි ඒකාබද්ධ වීම ඉක්මන් කරන ලදී.

පැරණි රජ සමයේ සිංහල භාෂාව ව්‍යවහාර කල ජන කොටස බැඳ තැබූ පොදු අනන්‍යතාවය වුයේ බුදු දහමයි. එහෙත් ඒ අතීතයේ මේ බෞද්ධයින් සිංහල ජාතිය නම් ශක්තිමත් පොදු කුලකයට අනන්‍ය වීමේ විභවය අවහිර කරනු ලැබුවේ කුල ක්‍රමය විසිනි. එය පැරණි රජ පාලනයේ නිසඟ ලක්ෂණයකි. මක්නිසාද රජු ඇතුළු ඉහල නිලමක්කාර ධූරාවලිය සහ යටත් වැසියා යන බෙදුම් රේඛාව විසින් ‘ජාතිය’ පරිණාමය වීම වලකා ලන බැවිනි. යටත්වැසියාට ස්වාධීන අනන්‍යතාවයක් නොතිබුණි. තීරණ ගනු ලැබුවේ රජු විසිනි. යුක්තිය යනුවෙන් අර්ථකතනයක් නොවුණි; සියල්ල රජුට යටත්ය. එවැනි විභේදනයක් තුල ශක්තිමත් සාමූහික අනන්‍යතා ගොඩ නොනැගේ.

එනිසා ‘ජාතිය’ ගොඩනැගීමට යටත්වැසියන් පුරවැසියන් බවට වර්ධනය විය යුතුය. ඇමෙරිකාවේ වේවා, එංගලන්තයේ වේවා, ජර්මනියේ වේවා, ඉන්දියාවේ වේවා විවිධ ජන කණ්ඩායම් ඒකාබද්ධවී ශක්තිමත් ජාතීන් වර්ධනය වුයේ ඒ සමාජ වල යටත්වැසි පුද්ගලයින් පුරවැසියන් බවට පරිනාමය වීම තුලයි. සංක්‍රමනිකයින්ද, ස්වදේශික ජන කණ්ඩායම්ද, වහල් සම්භවයක් සහිත කළු ජාතිකයින් ද ඇතුලත් කරගනිමින් ඇමෙරිකානු ජාතිය ගොඩනැගුනේ නූතනත්වය තුලයි. අයිරිෂ්, ස්කොටිෂ්, වේල්ස් ජාතිකත්වයන් ඇතුලත් කරගනිමින් ඉංග්‍රීසි ජාතිය ගොඩනැගුනේ කාර්මික විප්ලවයෙන් අනතුරුවයි. අතිශය විවිධත්වයක් හා ආගමික ඇදහිලි සංකීර්ණයක් සහිත ඉන්දියාව තුල ඉන්දියානු ජාතිය ගොඩනැගුනේ නිදහස් අරගලය තුලයි. මෙකී කලාපීය හා ලෝක සන්දර්භය තුල, පෙර රජ සමයේ ජාතීන් නොවුයේ ඒ නිසයි. ශිෂ්ඨාචාරය ගොඩනැගීමට හවුල්වීම/දායකවීම තුලින් ජාතීන් ගොඩනැගේ. රජ අණට යටත්වීම තුලින් ජාතීන් බිහි නොවේ.

එනිසා ‘ජාතිය’ යන ‘මිනිස් ප්‍රපංචය’ නූතනත්වයේ ප්‍රතිපලයකි; සියවස් කිහිපයක මිනිස් වෑයමේ නිර්මාණයකි. එමෙන්ම කිසිදු ජාතියකට පිරිසිදු හෙවත් කලවම් නොවුණු ජානමය උරුමයක් හෝ සංස්කෘතික උරුමයක්ද නැත.

තාරක වරාපිටිය


Post a Comment

Previous Post Next Post