ජාත්‍යාලය සහ ජාතිවාදය

 ජාත්‍යාලය සහ ජාතිවාදය




ඒ එක්දහස් නවසිය පනස් ගණන්වල කාල වකවානුවයි.

අනාථ මඩමක සිටි දරුවන්, දෙදෙනා බැගින් දිගු පෙළක් සෑදී පල්ලියේ පූජාවට යන ආකාරය කාටත් සුපුරුදු දර්ශනයක් විය. දෙමාපියන් නැති මෙතරම් පිරිසක් සිටීම කෙනෙකුගේ මවිතයට හේතු වූවා නිසැකය. ඔවුන් අවජාතකයන් බවට සමාජය විසින් කොන් කරන ලද දරුවන්ය.

උතුරේ එවැනි දරුවන් දකුණට ගෙනැවිත් සිංහල විදිහට සාදා ගත් අතර දකුණේ එවැනි දරුවන් උතුරට ගෙනගොස් දෙමළ විදිහට ඇති දැඩි කෙරිණි. එම දරුවන් වැඩුණු පසු තමන් අයත් මුල් ජාතිය පිළිබඳ දැනගැනීමට ක්‍රමයක් ඉතිරි නොවීය. ඒ නිසා දකුණෙන් උතුරට ගිය සිංහල ළමුන් දෙමළ වී පසු කලෙක ප්‍රභාකරන් යටතේ සිංහලයන්ට එරෙහිව යුද වදින්නට ද ඇත. එසේම උතුරෙන් දකුණට පැමිණි දෙමළ ළමුන් සිංහල වී හමුදාවට බැඳී ප්‍රභාකරන්ට එරෙහිව යුද වදින්නට ඇත.

එය ජාතිවාදයේ සැබෑ ස්වරූපයයි. කිසිදු ජාතියකට අයත් නොවී මිනිස් දරුවකු ලෙසින් උපත ලබන පුද්ගලයා පසුව සමාජයේ විෂම බෙදීම්වලට ගොදුරු වී ජාතිය වෙනුවෙන් ඇණ කොටා ගන්නා තත්ත්වයට පත්වෙයි. ඉහත තොරතුරු මට විස්තර කළේ මගේ හිතවතෙකු වන රන්ජන් ප්‍රනාන්දු මහතාය.

මිනිසා ජාතීන් වශයෙන් බෙදීම විද්‍යාත්මකද? ඒ පිළිබඳව බුදුදහමේ එන වාසෙට්ඨ සූත්‍රය ඇසුරින් විස්තරයක් ගෙන එන්නේ ආචාර්ය ඊ ඩබ්ලිව් අදිකාරම් මහතායි. එතුමා සිය සිතිවිලි පත්‍රිකාවල 'ජාතිවාදය සහ බුදුදහම' යන මාතෘකාව යටතේ එය මෙසේ විස්තර කරයි.

මනුෂ්‍යයා ඇතුළු සත්ත්වයින්ගේ ජාතිභේදය ගැන විස්තර කිරිමේදී “ලිංගං ජාතිමයං” යන වචන නැවත නැවත සඳහන් වෙයි. වර්තමාන ව්‍යවහාරයෙහි දී “ලිංග” යන වචනය සාමාන්‍ය වශයෙන් පාවිච්චි වන්නේ ස්ත්‍රී පුරුෂ භේදය දැක්වීම සඳහා ය. එහෙත් පාලි සහ සංස්කෘත භාෂාවන්හි මෙම වචනය මූලික වශයෙන් ව්‍යවහාර වන්නේ ඊට වඩා පළල් අර්ථයකින් ය. යම්කිසි දෙයක් අනික් දේවලින් වෙන් කර හඳුනා ගැනීමට ආධාර වන විශේෂ ලක්ෂණය දැක්වීමට ය. එවිට “ලිංගං ජාතිමයං” යන්නෙහි අර්ථය වන්නේ “ජාතියෙන් සැදුණු හෙවන් උත්පත්තියෙන්ම හටහත් විශේෂ ලක්ෂණය” යන්න ය. තෘණ පැළෑටිය සහ කොස් ගස යන ගස් ජාති දෙක වෙන් කර දැක්වෙන්නේ උත්පත්තියෙන්ම ඒ දෙවර්ගයෙහි පිහිටි ලිංගයෙන් ය හෙවත් ලක්ෂණයෙන් ය. එමෙන්ම කුඩා සතුන් අතරෙහි නයා සහ පොළඟා ද මත්ස්‍යයන් අතරෙහි තෝරා සහ මෝරා ද පක්ෂීන් අතරෙහි කපුටා සහ මොණරා ද එකිනෙකින් වෙන් කර දැක්වෙන්නේ උත්පත්තියෙන්ම පිහිටි ලිංගයෙන් ය හෙවත් විශේෂ ලක්ෂණයෙන් ය. එහෙත් ලෝකයෙහි වාසය කරන මනුෂ්‍ය කොට්ඨාසයන් අතරෙහි උත්පත්තිය නිසා ඇති වුණු ලිංගයක් හෙවත් විශේෂ ලක්ෂණයක් නැත්තේ ය.


යථා එතාසු ජාතීසූ - ලිංගං ජාතිමයං පුථූ

එවං නත්ථි මනුසෙසසු - ලිංගං ජාතිමයං පුථූ”

(යම් සේ මේ ජාතීන් අතරෙහි ඒ ඒ ජාතිය නිසා ඇති වූ ස්වාභාවික ලක්ෂණ ඇත්තාහු වෙත් ද එලෙසම මනුෂ්‍යයන් අතරෙහි ජාතිය නිසා ඇති වූ විවිධ ස්වාභාවික ලක්ෂණ නැත.)

ලෝකයේ කොතැන සිටියත් මනුෂ්‍යයා එකම ජාතියක් වන්නේ එහෙයින් ය."

මනුෂ්‍යයා එකම ජාතියක්ය යන්න පුළුල් අරුතින් ගත යුත්තකි. එය අපේ ජාතිවාදී අදහස් අඩු කර ගැනීමට උදවු වේ. එහෙත් සාමාන්‍ය භාවිතාව සලකන විට විවිධ භාෂා සහ සංස්කෘතීන් ජාතීන් ලෙස හැඳින් වේ. ඒ අනුව සිංහල සහ දෙමළ ජාතීන් දෙකකි. ලොව කිසිම ජාතියක් තවත් ජාතියකට වඩා උසස් හෝ පහත් හෝ නොවේ.

තමන්ගේ ජාතියට ආදරය කිරීම ජාත්‍යාලයයි. වෙනත් ජාතීන්ට ගරු කිරීම ඒ හා බැඳී ඇත. වෙනත් ජාතියක් හෝ ජාතීන් පහත් සේ සලකන විට එය ජාතිවාදය බවට පත්වේ.

අපට ජාතිය පිළිබඳව යහපත් ආකල්ප තිබුණා නම් තිස් අවුරුදු යුද්ධයක් ඇති වන්නේ නැත. ලේ ගංගා ගලා යන්නේ ද නැත. එයින් පාඩම් ඉගෙන නොගෙන අපි තවත් යුද්ධයකට පසුබිම සකස් කරමින් සිටිමු ද?


සැම්සන් ගුණතිලක

Post a Comment

Previous Post Next Post