පෘථිවි නිවස ගිනි ඇවිළෙයි! - පුංචි
දැරිය ලොව කලඹයි!
"අපේ ගේ ගිනි ගන්නවා," 2019 ජනවාරිවල පැවැති ලෝක ආර්ථික සමුළුව අමතා දහසය වියැති
ස්වීඩන් දැරිය ආවේගයෙන් කියාගෙන ගියාය. "මම මෙතැනට පැමිණියේ ඔබලාට කියන්න අපේ
ගේ ගිනි ගන්නවා කියලා. IPCC හෙවත් දේශගුණ විපර්යාස
පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය කියනවා අපේ වැරදි නිවැරදි කරගන්නට තව ඇත්තේ අවුරුදු 12 කටත් වඩා අඩු කාලයක්
කියලා. ව්‍යාපාර, බැංකු ආදිය එකිනෙකා පරයා
තමන් ලැබූ ලාබ ගැන දොඩවනවා. නමුත් ඒ ලාබ ගැනීමේදී පරිසරයට සිදු වූ හානිය ගැන
නිහඬයි."
"සියල්ල රැඳී ඇත්තේ අපේ අතේ. ඒ නිසා පැහැදිලිව කතා කළ යුතුයි. අප මුහුණදෙන
අභියෝගයට උත්තරය සරලයි. මං වාගේ ළමයෙකුට වුණත් තේරෙනවා. හරිතාගාර වායු මුදා හැරීම
අපි සම්පූර්ණයෙන් නවතා දැමිය යුතුයි. අපි ඒක කරනවා; නැත්නම් නෑ. වැඩිමහලු අය කියනවා ජීවිතයේ දේවල්
සම්පූර්ණයෙන් සුදු හෝ කළු නොවන බව. ඒක බොරුවක්. එක්කෝ අපි ගෝලයේ රත් වීම සෙල්සියස්
අංශක 1.5 ට සීමා කරනවා; නැත්නම් එහෙම නොකර
ඉන්නව."
"එක්කෝ අපි අර ආපසු හැරවිය නොහැකි ක්‍රියාදාමය නවත්වනව; නැතිනම් එහෙම නොකර
ඉන්නවා. එක්කෝ අපි අපේ ශිෂ්ටාචාරය ආරක්ෂා කරනවා; නැත්නම් නෑ. ඒවා ඔක්කොම සුදුයි; එහෙම නැත්නම් කළුයි
තමා."
"මිනිස් සමාජයේ සියලු දේ වෙනස් විය යුතුයි. බලය වැඩි අයට වගකීම වැඩියි. ඔබගේ
වේදිකාව විශාල වන තරමට ඔබගේ යුතුකම් ද විශාලයි."
"වැඩිමහලු අය කියනවා අපි වාගේ පොඩි අයගේ බලාපොරොත්තු ආරක්ෂා කරන්න ඕන කියලා.
නමුත් මට ඔබේ බලාපොරොත්තු ඕන නැහැ. ඔබ බලාපොරොත්තු තබා ගත යුත්තෙත් නැහැ. මට ඕනෑ
ඔබ කලබල වෙනවා දකින්න. මට ඕනෑ හැමදාම මට දැනෙන බය ඔබටත් බෝකරන්න. ඊට පස්සේ මට ඕනෑ
ඔයාලා ක්‍රියාත්මක වෙනවා බලන්න. හදිසි තත්වයකදී වගේ ක්‍රියාකරනවා බලන්න. ගේ ගිනි
ගන්න කොට වගේ ක්‍රියාත්මක වෙනවා බලන්න. හේතුව අපේ ගේ ගිනි අරන්."
ගෝලීය උණුසුම ඉහළයාමත් දේශගුණ විපර්යාසත් හේතුවෙන් අප සිටින්නේ විනාශයේ මුව
විටෙහිය. මේ විනාශය කරා යන්නේ අප දැනුවත් ව අප විසින්මය. එතෙකුදු වුවත් අප මේ
මිහිතලයෙන් වඳවී යාමේ ගමන යන්නේ සෙසු ජීවීන් ද සමගය. ගමන කෙළවර වීමට තව කොතරම්
කලක් තිබේද?
ඕස්ට්‍රේලියානු ජාතික මහාචාර්ය ෆ්‍රෑන්ක් ෆෙනර් එක් දහස් නවසිය හැත්තෑ
ගණන්වලදී තමා කළ සමීක්ෂණයක ප්‍රතිඵල අනුව ප්‍රකාශ කළේ තව වසර සියයකින් මනුෂ්‍ය
වර්ගයා විනාශ වී මිහිතලයෙන් අතුගා දැමෙන බවයි. එම කාලයෙන් අඩක් දැනටමත් ගෙවී
ගොසිනි. එහෙත් මිනිසා තමාම කරන විනාශය නැවැත්වීමට දැනෙන යමක් කිරීමට ඔහු මෙතෙක්
අසමත්ව සිටී.
සාමාන්‍ය තක්සේරුව අනුව මිනිසාට තව වසර ලක්ෂයක පමණ ආයු කාලයක් තිබිණි. නමුත්
ඔහුගේ බුද්ධියත් තාක්ෂණයක් දියුණු වීම තුළම ඔහුගේ වේගවත් විනාශයේ බීජ ඔහු තුළම
අන්තර්ගත විය. ඔවුහු කෑදර ලෙස සොබාදහමේ අඩංගු දෑ සිය කෙටි කාලීන ප්‍රයෝජන තකා
විනාශ කරන්නට පටන් ගත්තෝය. මෙතෙක් ඇතිවූ හිම යුගවල හා උල්කාපාත ප්‍රහාරවල එකතුවටත්
වඩා වැඩි හානියක් ඉන් ලෝකයේ පැවැත්මට සිදු වූ බව ෆෙනර් කියා සිටියේය. දේශගුණ විද්‍යා
වාර්තා අනුව ලොව උණුසුම්ම වර්ෂයන් ඇති වීම ආරම්භ වී ඇත්තේ 2001 සිටය. පසුගිය 2019 ජූලි මාසය මෙතෙක් වාර්තා
ගත වූ උණුසුම්ම ජූලි මාසය විය.
මෑතකදී කළ සමීක්ෂණ අනුව හරිතාගාර වායු 50%ක් අඩු කළත් ඉදිරි වසර 12 තුළ මිනිසුන් මිලියන තිස් අටක් වතුර නැතිව මිය යනු ඇත.
අපේ වැරදි හදාගන්නට තවත් කාලයක් ඉතිරි වී නැති තරම් ය. මේ ගෙවී යන්නේ
නිවැරදි වීමට ඇති අවසාන මොහොතයි. විද්‍යාඥයන් මොනතරම් අනතුරු ඇඟ වුවත් පාලකයන් අත්‍යවශ්‍ය
මැදිහත්වීම කර නැත.
මේ තත්ත්වය තුළ සංවේදී වූයේ ස්වීඩනයේ දහසය වියැති දැරියක් වන ග්‍රීටා
තන්බර්ග් ය. ලෝකයට වඩාත්ම බලපෑම් කරන්නියක් ලෙස මෑතකදී ටයිම් සඟරාව ඇය නම් කර
තිබේ.
එවකට පහළොස් හැවිරිදි ව සිටි ඇය 2018 අගෝස්තු මාසයේ සිට පාසල තුළ පන්ති වර්ජනයක් ආරම්භ කළාය.
සතියේ සෑම සිකුරාදාවකම ඇය පන්තියෙන් නැගිට ගියාය. මුල දී ගුරුවරුත් දෙමාපියනුත්
එයට විරුද්ධ වූහ. පසුව ඔවුහු ඇගේ අදහස් නිවැරදි බව පිළිගත්තෝය. එම පන්ති වර්ජන
රැල්ල ලොව පුරා වේගයෙන් පැතිර ගිය අතර අද වන විට ලොව පුරා ලක්ෂයකට වැඩි සිසුන්
පිරිසක් පන්ති වර්ජනයට එක්ව සිටිති. එම ව්‍යාපාරය 'අනාගතය වෙනුවෙන් සිකුරාදා' යනුවෙන් හැඳින්වේ.
ස්ටොක්හෝම්, හෙල්සින්කි, බ්‍රසල්ස් සහ ලන්ඩන් වැනි
නගරවල පැවති දේශගුණ විපර්යාස පිළිබඳ මහජන රැස්වීම්වල ග්‍රීටා කතා කළාය. පෝලන්තයේ
පැවැති එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ 24 වෙනි සමුළුව ද ඇය ඇමතුවාය. එහිදී ඇයට එක්සත් ජාතින්ගේ මහ
ලේකම් වරයා අමතා කතා කිරීමට ද හැකි විය. ඇමරිකාවේ දී ධවල මන්දිරය ඉදිරිපිටදී
ඇමරිකානු සිසුන් සමඟ විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට ද ඇයට හැකිවිය.
දිනෙන් දින රැල්ලක් සේ ලොව පුරා පැතිරයන පාසල් සිසුන්ගේ සිකුරාදා පන්ති
වර්ජනවල ප්‍රධාන ඉල්ලීම් හතරකි.
1.
අනාගතය සුරක්ෂිත කරන්න.
දේශගුණය පිළිබඳ හදිසි තත්ත්වයක් ප්‍රකාශකරන්න. ඒ වෙනුවෙන් හදිසි වැඩසටහනක්
ක්‍රියාත්මක කරන්න.
2.
අනාගතය ගැන උගන්වන්න.
ජාතික අධ්‍යාපන ක්ෂේත්‍රයට මෙම ඉගැන්වීම් ඇතුළත් කරන්න.
3.
අනාගතය පැහැදිලි කරන්න.
රජයන් විසින් මහජනතාවට දේශගුණ විපර්යාසයේ භයානකකම පිළිබඳව කළයුතු දේ දැනුවත්
කරන්න.
4.
අනාගතය බලාත්මක කරන්න.
සුබවාදී අනාගතයක් පිළිබඳව වැඩිම උවමනාවක් කැක්කුමක් ඇත්තේ තරුණ අපට බව
පිළිගන්න. තරුණ අදහස් රජයේ ප්‍රතිපත්ති මාලාවට ඇතුළත් කරන්න. ඡන්දය දීමේ අඩුම වයස
අවුරුදු දහසය කරන්න.
ලෝකය
අවදි වේගෙන යතත් ශ්‍රී ලංකාව තවම නින්දේය. ගේ ගිනි ගෙන ඇති බවක් ඔවුන්ට තවම දැනී
නැත. සිසුහු පන්තිකාමරයේ ඉගෙනීම මදිවී ටියුෂන් යති; ඉලක්ක ප්‍රශ්නවලට පිළිතුරු පාඩම් කරති; ඉහළ රැකියා පිළිබඳ සිහින දකිති. කම්කරුවෝ විවිධාකාර
ඉල්ලීම් ඉදිරිපත් කරමින් ජීවන අරගලයක යෙදී සිටිති. ගොවියෝ පොහොර ගැන අස්වැන්න ගැන
වෙහෙසෙති. ලේඛකයෝ පොත් සල්පිල් ඉලක්ක කරමින් පොත් ලියති. පාලකයෝද විරුද්ධ පක්ෂ ද
ජනපතිවරණය ඉලක්ක කරමින් බල අරගලයක යෙදී සිටිති. එහෙත් ගේ ගිනිගෙනය. නිවැසියන්
බියපත් කරවමින් ඔවුන් ක්‍රියාත්මක කරවීම මේ තත්ත්වය යටතේ ජනමාධ්‍යවල ද සමාජ ජාලාවල
ද පැහැර හැරිය නොහැකි වගකීමකි.
රන්ජන් ප්‍රනාන්දු සමග සැම්සන් ගුණතිලක
(20. 09. 2019 දින 'ලංකා' පුවත්පතෙහි
පළවූ ලිපිය)

Post a Comment