පුනරුත්පත්තිය පිළිබඳ තීරණාත්මක පරීක්ෂණයක්

 පුනරුත්පත්තිය පිළිබඳ තීරණාත්මක

 පරීක්ෂණයක්



පුනරුත්පත්තිය විශ්වාස කරන ආසියාතික රටවල ජනතාවගේ මහත් ගෞරවයට පාත්‍ර වූ පුනරුත්පත්ති පර්යේෂකයෙක් සිටියේය. ඔහු වර්ජීනියා විශ්ව විද්‍යාලයේ මනෝවෛද්‍ය විද්‍යා අංශයේ ප්‍රධානියාව සිටි මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් (1918-2007) ය. ඔහුගේ පුනරුත්පත්ති පර්යේෂණ පෙර භවය ගැන විස්තර කියන ළමුන් පිළිබඳ සෙවීමට සීමා විය. ඒ වාර්තා එක්තරා පිළිවෙලකට සංයමයෙන් ඉදිරිපත්කර ඇති බව පෙනීයාම සමහර විද්‍යාඥයින්ගේ ප්‍රශංසාවට පවා හේතු විය. පෙර ආත්මය කියන සිද්ධි 3000 ක පමණ විස්තර ගොනු ඔහු සතුව තිබිණි. ඒවා ඔහුගේ ජීවිත කාලයෙන් වසර හතලිහකටත් වඩා කැප කිරීමේ ප්‍රතිඵලයන්ය.

ඔහුට බරපතල වැරදීමක් සිදුවී නැත්නම් ඔහු විසිවන සියවසේ ගැලීලියෝ බවට පත්වනු ඇතැයි ආචාර්ය හැරල්ඩ් ලීෆ් පවසා සිටියේය. එහෙත් මහාචාර්ය ස්ටීවන්සන් විසිවන සියවසේ ගැලීලියෝ බවට පත්වූයේ නැත. එපමණක් නොව ඔහු ගැන පහැදීමෙන් සිටි විද්‍යාඥයන් හා වෛද්‍යවරුන් අතලොස්සකගේ උනන්දුවද කෙමෙන් වියැකී ගියේය. දාර්ශනිකයන්, විද්‍යාඥයින් සහ වෛද්‍යවරුන් විසින් පුනරුත්පත්ති පර්යේෂණවල පැවති වැරදි සහ අඩුපාඩු හෙළිදරවු කිරීම එයට හේතු විය. ළමුන් සහ දෙමාපියන් විසින් ස්ටීවන්සන්ව රවටන ලද බව, ළමුන්ට ඔවුන්ගේ කතාව ගෙතීමට රුකුළක් වන පරිදි ප්‍රශ්න ඇසීම, පුනරුත්පත්ති කතා විශ්වාස කළ භාෂා පරිවර්තකයන් මගින් කටයුතු කිරීමට සිදුවීම ආදිය ඔවුන්පෙන්වා දුන් සමහර දුර්වලතාවයන්ය.

ස්ටීවන්සන් බොහෝ පර්යේෂණ සිදු කළේ පුනරුත්පත්ති විශ්වාස මුල් බැස ගත් ඉන්දියාව, ලංකාව, තායිලන්තය වැනි ආසියාතික රටවලය. ඔහු ලංකාවේදී පුනරුත්පත්ති කතා දහසයක් පරීක්ෂාවට ලක් කළේය. ලංකාවේ සහ ලෝකයේ මහත් සේ ප්‍රසිද්ධියට පත් වූ කොත්මලේ ඥානතිලකා සිද්ධිය ඔහුද පිළිගෙන තිබුණේ එය ප්‍රෝඩාවක් බව හෙළිකරමින් හේතුවාදීන් කළ පරීක්ෂණවල වාර්තා නොතකා හරිමිනි.

පුනරුත්පත්ති කතා රාශියකින් කතා විස්සක් තෝරාගත් මහාචාර්ය ස්ටීවන්සන් ඒවා “Twenty Cases Suggestive of Reincarnation” නමින් 1966 දී සිය සම්භාව්‍ය කෘතිය එළිදැක්වූයේය. එහි කතා ගැන බොහෝ විවේචන ගලා ආවේය. එක් කතාවක එන ඇලස්කාවේ කෝලිස් චොට්කින් සිද්ධිය එකම එක ස්ත්‍රියකගේ වචන මත පමණක් විශ්වාසය තබා වාර්තා කරන ලද්දකි. වික්ටර් සිය ලේලිය අමතමින් තමාගේ මරණින් පසු ඇගේ දරුවකුව ඉපදෙන බව පවසා තමාගේ නාසයේත් පිටේත් වූ ශල්‍ය කර්මයක කැළැල් ඇයට පෙන්වීය. ඔහුගේ මරණින් මාස 18කට පසු ඇයට කෝලිස් චොට්කින් නමැති දරුවා ලැබිණි. වික්ටර්ට තිබූ ශල්‍යකර්ම කැළැල් දරුවා තුළද විය. වික්ටර්ගේ කැළැල් දැක ඇත්තේ ඇය පමණි. ඇයට අනුව දරුවාගේ පෙර මතකයද ඉතා හොඳින් තිබිණි. මේ සිද්ධිය ස්ටීවන්සන්ට අසන්නට ලැබුණේ අවුරුදු 14 කට පසුවය. පෝල් එඩ්වඩ්ස් චෝදනා කරන අන්දමට ස්ටීවන්සන් තමා විද්‍යාඥයකු බව කියා ගන්නා නමුත් පරීක්ෂණ කරන්නේ විද්‍යාඥයකු ලෙස නොවේ.

ඔහු වැඩිපුරම පර්යේෂණ කළේ ආසියාතික රටවල වුවද ඒවායේ භාෂා ගැන අවබෝධයක් ඔහු සතු නොවීය. ඔහුගේ භාෂා පරිවර්තකයන් පුනරුත්පත්තිය දැඩි ලෙස විශ්වාස කළ අය වූහ.

කෙසේ වෙතත් පුනරුත්පත්ති කතා පර්යේෂකයන් අතුරින් ස්ටීවන්සන් මහතා විශිෂ්ටයකු බව කිව යුතුය. ඔහු වචන භාවිතයේදීද පරෙස්සම් විය. “පුනරුත්පත්ති කතා”වෙනුවට “පුනරුත්පත්තිය ඇඟවෙන කතා” වැනි වචන යොදා ගත්තේය. ප්‍රසිද්ධියේ නොකීවත් ඔහු සිය හදවතින්ම පුනරුත්පත්තිය විශ්වාස කළේය. ඒ නිසාම ඔහු නොදැනුවත්වම ඔහු කළ පර්යේෂණ අපක්ෂපාත නොවුණා විය හැකිය.

තම මරණයෙන් පසු තමාගේ මතකයන් හා සිතිවිලි නොනැසී පවතින බවට දැඩි විශ්වාසයක් ඔහු තුළ විය. ඒ නිසාම ඔහු එතෙක් කිසිවකු නොකළ ආකාරයේ පුනරුත්පත්තිය පිළිබඳ අපූරු තීරණාත්මක පරීක්ෂණයක් කළේය. ඒ අනුව ඔහු කාර්යාලයේ තම ලිපි ගොනු කැබිනට්ටුවක් රහස් අංකයක් යොදාගෙන අගුල් දැමීය.

අනතුරුව සිය සමීපතමයින් ඒ ගැන දැනුවත් කරමින් ඔවුන්ට පැවසුවේ කැබිනට්ටුවේ අගුල විවෘත කිරීම සඳහා අවශ්‍ය රහස් අංකය තම මරණින් පසු ඔවුන්ට ලබා දීමට උත්සාහ ගන්නා බවයි. ඔහුගේ සමීපතම එමිලි විලියම්ස් කෙලී නිව්යෝක් ටයිම්ස් පුවත්පතට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ස්ටීවන්සන් සිය මරණින් පසු සිහිනයක ආකාරයෙන් රහස් අංකය ඔවුන්ට ලබා දීමට උත්සාහ ගන්නා බව කී බවයි. 2007 පෙබරවාරියේ ඔහුගේ මරණයෙන් පසු අද වන තෙක් එම රහස් අංකය කිසිවකුට ලැබී නැත; අගුල ද වැසී පවතී.

තම මතයට පාරා වළල්ලක් විය හැකි පරීක්ෂණයක් අවංකවම කිරීම ගැන අප නැසීගිය මහාචාර්යවරයාට ස්තුතිවන්ත විය යුතුය.



(‘
රැස‘ පුවත්පතේ පළ වූ ලිපියකි.)

සැම්සන් ගුණතිලක

Post a Comment

Previous Post Next Post