මාටින් වික්‍රමසිංහ සහ පරිණාමවාදය
මහගත්කරු
මාටින් වික්‍රමසිංහ මහතාගේ 128 වන ජන්ම දිනය පසුගිය මැයි 29 වන දාට යෙදී තිබිණි. සිංහල නවකතාව ජාත්‍යන්තරයට
ගෙන ගියේ ඔහුය. සාහිත්‍යයේදී ඔහු අපට ගුරු තරුවකි. එපමණක් නොව ඔහු වෙනත් බොහෝ
ක්ෂේත්‍රවල ද ප්‍රාඥයකු වූයේ කිසිදු විශ්වවිද්‍යාලයක හෝ උසස් පාසලක පහස නොලබා
අවිධිමත් අධ්‍යාපනය තුළිනි; ස්වෝත්සාහයෙනි. කෙසේවෙතත් අප මෙහිදී සලකා බලන්නේ ඔහු පරිණාමවාදය
හෙවත් ස්වභාවික වරණවාදය මෙරට ප්‍රචලිත කිරීමට ගත් වෑයම පිළිබඳව පමණි.
වර්තමාන මිනිස් දැනුම පරිණාමවාදය හා කොයිතරම් බැඳී
ඇද්ද යන්න ජීව විද්‍යාඥ රිචඩ් ඩෝකින්ස්ගේ The Selfish Gene කෘතියෙහි ආරම්භක
ඡේදයෙන්ම පැහැදිලි වෙයි.
''පිටසක්වලින්
දියුණු ජීවීන් විශේෂයක් පෘථිවියට පැමිණ පෘථිවි වාසීන් ගේ දැනුම මැන බැලීමට අවශ්‍ය
වුවහොත් ඔවුන් අපෙන් අසන පළමු ප්‍රශ්නය වනුයේ 'ඔබ පරිණාමවාදය ගැන දැනුවත්ද?' යන්නයි.''
එයින් අදහස් කරන්නේ මිනිසාගේ දැනුම පරිණාමවාදය ගැන
දැනුවත් වීමත් සමග විශාල පිම්මකින් ඉදිරියට ආ බවයි. මිනිසා තමා කවුදැයි හෝ තමා
මෙලොව මෙසේ සිටින්නේ කෙසේද කියා හෝ දැනගන්නේ පරිණාමවාදය ගැන දැනුවත් වූවාට පසුවයි.
එය තවදුරටත් පැහැදිලි කරන්නේ නම් පරිණාමවාදය පිළිබඳ
අවබෝධයක් ලැබූ කෙනෙකු සතු තමා පිළිබඳ දැනුම එබඳු අවබෝධයක් නොලැබූ කෙනෙකුගේ දැනුමට
වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටින බව කිව හැකිය. පරිණාමවාදය මිනිස් දැනුමේ තීරණාත්මක
සන්ධිස්ථානයකි.
පරිණාමවාදය ගැන දැනුවත් වීමෙන් තම දැනුම මුවහත්
කරගත් අප රටේ මුල් අවධියේ උගතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතා පෙරමුණේම සිටියේය.
ඩාවින්ගේ පරිණාමවාදය පිළිබඳව සිංහල පාඨකයා දැනුවත්
කිරීමට මාර්ටින් වික්‍රමසිංහයන් තරම් වෙහෙසුණ වෙනත් කෙනෙකු නැති තරම් ය.
ලිපිකරුවකු හැටියට වෘත්තීය ජීවිතය ඇරඹු මුල් කාලයේ
දී පවා ඔහුට ඩාවින්ගේ පරිණාමවාදය ගැන අවබෝධයක් තිබිණි. ඒ අවධියේ ඔහු 'වෘක්ෂලතා සහ
සත්වයෝ' මැයෙන් දිනමිණ
පුවත්පතේ ලිපියක් පළ කළේය. ඔහු එය පළ කළේ 'හේතුවාදී' යන නමිනි.
එම ඓතිහාසික ලිපිය පිළිබඳව අවුරුදු පනහකට පසුව ඔහුගේ
පොතක ප්‍රස්තාවනාවෙහි ඔහු මෙසේ සඳහන් කර තිබේ.
''පහත් සතුන් හා
වෘක්ෂලතා ජීවය විසින් සමානය යන හැඟීම මගේ සිතට වැදුනේ මා කුඩා කල ය. ඒ හැඟීම නිසා
කර්මවාදය හා පුනරුත්පත්තිය පිළිබඳ ප්‍රශ්නය මගේ සිතට නැංගේය. පහත් සතුන්ට
පුනරුත්පත්තියක් ඇත්නම් වෘක්ෂලතාවන්ටද පුනරුත්පත්තිය සාධාරණය. ජීවවිද්‍යාව හා
පරිණාමවාදය පිළිබඳ පොත් කියවන්නට වූ මගේ කුකුස වැඩිවිය. මීට අවුරුදු පණහකට පමණ පෙර
මම දිනමිණට 'වෘක්ෂලතා
සහ සත්වයෝ' මැයෙන්
ලිපියක් ලියූවෙමි. වෘක්ෂලතා හා පහත් සත්ත්වයන් අතර ඇති සමානත්වය හෙළි කරනු පිණිස
ජීව විද්‍යාඥයන් සොයා හෙළිකරන ලද කරුණු රාශියක් මම ඒ ලිපියෙහි ලා විස්තර කළෙමි.
අවසානයෙහි ඒ සමානත්වය නිසා කර්මය සහ පුනරුත්පත්තිය පිළිබඳ උභතෝකෝටික ප්‍රශ්නයක්
මතුවන බව ද මම කීවෙමි.''
වයස 23 දී ඔහුගේ ප්‍රථම නවකතාව මුද්‍රණය විය.
එය විවේචනය කළ පියදාස සිරිසේන මහතාගේ සිංහල ජාතිය පුවත්පත පරිණාමවාදය නමැති ප්‍රලාපය
පතුරුවන අදහසින් එය ලියන ලද්දක් බවට චෝදනා කළේය.
තෝමස් හක්ස්ලි එංගලන්තයේදී ඩාවින්වාදයට පක්ෂව ගෙනගිය
අරගලයට සමාන අරගලයක් මෙරටදී කිරීමට මාර්ටින් වික්‍රමසිංහයන්ට සිදුවිය.
පරිණාමවාදය සිංහල පාඨකයන් අතරට ගෙන ඒම සඳහා ඔහු 1934 දී සත්ව සන්තතිය
ලීවේය. එය පරිණාමවාදය පිළිබඳ ව මුල්ම සිංහල පොත විය. ඔහුගේ උනන්දුව කෙතෙක් වීද යත්
ඩාවින් කෞතුකාගාරය නැරඹීම සඳහාම 1967දී එංගලන්තයටද ගියේය.
ඔහුගේ අවධානය දර්ශනය කෙරෙහි ද තදින්ම යොමුවී තිබිණි.
ඔහු 'මානව වාදය හා
සිංහල සංස්කෘතිය' ලිපියේ මෙසේ සඳහන් කරයි. 'මාක්ස්වාදයත් මාක්ස්ගේ දර්ශනයත් පහළ කරන
ලද්දේ චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදය ගුරුකොටගෙන ය. එහෙයින් වර්තමාන සමාජවාදයේද මූලය
ඩාවින්ගේ පරිණාමවාදයයි.
කෙසේවෙතත් වික්‍රමසිංහයන්ට බෞද්ධ සංස්කෘතියේ
ආකල්පවලින් ගැලවීමට නොහැකි විය. මාක්ස්වාදයේ එක් පාදයකුත් ඊට ප්‍රතිවිරුද්ධ වූ
බෞද්ධ දර්ශනයේ අනෙක් පාදයත් තබාගෙන ඒවායේ විරෝධයන් සමනය කිරීමේ දුෂ්කර කටයුත්ත
නිසා පසුව ඔහුගේ දර්ශනය ව්‍යාකූල ස්වභාවයක් ඉසිලීය.
එහෙත් විද්‍යාත්මක කරුණුවලදී ඔහු නොබියව
දෙගිඩියාවකින් තොරව ලීවේය.
'තලතුනා මිනිසෙකුගේ
මනස කුඩා ළමයෙකුගේ මනසට වෙනස්ය. ළමයාගේ මනස උපන් හැටියේ දරුවකුගේ මනසට වෙනස්ය. ඒ
දරුවා උපන්නේ කළලය විකාශය වීමෙනි. කළලයෙහි බිංදු මාත්‍ර මනසකුදු දැක්ක නොහැකිය.' - භවකර්ම විකාශය.
මියගිය මිනිසෙකුගේ මනස ගැරඬියකුගේ හෝ වෙනත් සතෙකුගේ
මනසක් බවට පත්වීමෙන් මිනිසා වෙනත් සතෙකු ලෙස පුනරුත්පත්තියක් ලබන්නේ කෙසේදැයි ඔහු
ප්‍රශ්න කළේය.
එවැනි නව අදහස් නිසා ඔහු මෙලොවින් සමු ගත්තාට පසුවත්
කර්කශ විවේචනයේ ගොදුරක් විය.
වික්‍රමසිංහ මහතා පරිණාමවාදය පිළිබඳව අප දැනුවත්
කිරීමට ගත් වෙහෙස පිළිබඳවත් පරිණාමවාදය පිළිබඳ දැනුමේ වැදගත්කම ගැනවත් අපේ අධ්‍යාපන
දෙපාර්තමේන්තුවට එතරම් වැටහීමක් නැති බව පෙනේ. විෂයමාලා සංවර්ධන මධ්‍යස්ථානයේ කලක්
කටයුතු කළ මා හිතවත් ඒ ඩී ගුණසේකර මහතා මා සමඟ පැවසුවේ සාමාන්‍ය පෙළ විද්‍යා පොත්
පෙළේ පරිණාමවාදය පිළිබදව ලියා ඇති කොටස කිසිසේත් ප්‍රමාණවත් නැති බවයි. පැරණි විෂය
නිර්දේශවල තිබුණු වැදගත් කොටස් කපා හැර තිබේ. මූලික දේ පිළිබඳව අවබෝධයක් ලබා නොදී
ජෛව විවිධත්වය වැනි ද්වීතීයික කාරණාවලට යාම සුදුසු නොවේ.
සැම්සන්
ගුණතිලක

Post a Comment