ශිෂ්‍යත්ව විභාගයට ස්වභාවික මරණයක්

 ශිෂ්‍යත්ව විභාගයට

 ස්වභාවික මරණයක්



අම්මලාගේ විභාගය හෙවත් පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය නවතා දැමීම හෝ එහි වෙනස්කම් ඇති කිරීම පිළිබඳව ඉතා ඉක්මනින් තීරණයක් ගන්නා බව අධ්‍යාපන ඇමතිතුමා මෑතදී කිහිප අවස්ථාවකම ප්‍රකාශ කර තිබේ.

ළමා මනස විනාශ කරන මෙම විභාගය ගැන ඇමතිතුමාගේ අවධානය යොමුවීම පැසසුම් කටයුතුය. එය ලෙහෙසි පහසු අභියෝගයක් නොවේ. චන්ද්‍රිකා මැතිනිය ද බලයට පැමිණි විගසම වාගේ මෙම විභාගය නවතා දැමීමට උත්සාහ කළ ද ඊට එරෙහිව පැවති අභියෝග හමුවේ එය කළ නොහැකි විය.

මෙහිදී ප්‍රශ්නය වනුයේ ශිෂ්‍යාධාර ලබා දීම නොව පහසුකම් වැඩි පාසලක් ලබා දීමයි. ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළද අඩු ආදායම් ලාභී දක්ෂ දරුවන්ට ශිෂ්‍යාධාර ලබාදීම පාසලේදී පෙන්වන දක්ෂතා උපයෝගී කර ගැනීමෙන් ක්‍රියාත්මක කළ හැකිය.

කන්නන්ගර මැතිතුමා විසින් 1944 දී මෙම ශිෂ්‍යත්ව විභාගය ආරම්භ කළේ අඩු ආදායම් ලබන සිසුන්ට සම අධ්‍යාපන අවස්ථාවක් සැලසීම අරමුණු කරගෙනය. රටපුරා ආරම්භ කරන්නට යෙදුණු මධ්‍ය මහා විද්‍යාල, ශිෂ්‍යත්වය සමත් දරුවන්ට තෝතැන්නක් විය. වැදගත්ම කාරණයක් වූයේ මධ්‍ය මහා විද්‍යාලවල අධ්‍යාපනය හයවන ශ්‍රේණියෙන් ඉහළට සීමා වීමය. මේ නිසා ශිෂ්‍යත්වය සමත් දරුවන්ට ඒවායේ ඉඩකඩ ඕනෑතරම් තිබිණි. ශිෂ්‍යත්වය අසමත් වන දරුවන්ටද මධ්‍ය මහා විද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ විභාග වෙනම පැවැත්විණි. මේ අවස්ථාවලින් ප්‍රයෝජන ගත් බොහෝ ගම්බද දරුවෝ විවිධ පහසුකම් භුක්ති විඳිමින් උසස් අධ්‍යාපනයක් ලබා ගැනීමට වරම් ලැබූවෝය.

මුල් අරමුණ එසේම පැවතියද අද මෙම විභාගය ජාතික මට්ටමින් පැවැත්වෙන පීඩාකාරී තරඟ විභාගයක් බවට පත්ව තිබේ. බොහෝ ජනප්‍රිය පාසල්වල ප්‍රාථමික අංශයක්ද පවත්වාගෙන යන නිසා ගම්බද දක්ෂ දරුවන්ට ලබාදෙන ඉඩකඩ සීමාවී පවතී. හයවන ශ්‍රේණිය සඳහා ශිෂ්‍යත්වය සමතුන් දෙතුන් සියයක් ඇතුළත් කරගත හැකි ජනප්‍රිය පාසලකට මේ නිසා ඉඩකඩ පවතිනුයේ ළමුන් අසූවක් පමණ සඳහාය. ඒ කාරණය පමණක් වුවද තරඟය වඩාත් තීව්‍ර කිරීමට හේතුවේ.

විභාගය නවතා දැමුවද, එය පවත්වන ක්‍රමවේදය වෙනස් කළද ඒ ඕනෑම දෙයක් සිදුවිය යුත්තේ විභාගයේ මුල් අරමුණට කිසිදු හානියක් නොවන අන්දමටය. එනම් ගම්බද දරුවන්ට ජනප්‍රිය පාසල්වලට ඇතුළත් වීමේ ඉඩකඩට බාධාවක් නොකරමිනි.

මුල් අරමුණට හානි නොවන අන්දමින් විභාගය නැවැත්වීම අතිශයින්ම දුෂ්කර කටයුත්තකි. හොඳම විසඳුම 'ළඟම පාසල හොඳම පාසල' කිරීමයි. එහෙත් අප රටේ පවතින ආර්ථික අගහිගකම් මධ්‍යයේ ඒ සිහිනය කවදා සැබෑ වේදැයි කිව නොහැකිය.

ශිෂ්‍යත්ව විභාගයට ස්වභාවික මරණයක් අත්කරදීම වඩාත් සුදුසු විසඳුම විය හැකිය. එය ඵලදායක වන්නේ ස්වභාවික මරණය ඉක්මන් කරවන වටපිටාවක් නිර්මාණය කළහොත් පමණි.

මේ සඳහා එක් පියවරක් හැටියට ජනප්‍රිය පාසැල්වල ප්‍රාථමික අංශය ඉවත්කර ශිෂ්‍යත්වය සමතුන් සඳහා ඉතා වැඩි ඉඩක් ලබාදිය හැකිය. මැති ඇමැතිවරුන්ගෙන් සහ ප්‍රභූන්ගෙන් අතිබහුතරය එයට සහයෝගයක් ලබා දෙනු ඇතැයි සිතිය නොහැකි නමුත් එය ජනතාව වෙනුවෙන් කළ යුත්තකි. එය කළ යුතුව තිබුණේද මෙයට බොහෝ කලකට පෙරය. ඒ සමගම තම දරුවා ප්‍රාථමික අධ්‍යාපනය සඳහා ළඟම පාසැලට ඇතුළත් කරවීමට දෙමව්පියන්ව දිරිගැන්විය යුතුය. ප්‍රධාන පාසල්වල ප්‍රාථමික පන්ති නැත්නම් සහ ගම්බද පාසල්වල ප්‍රාථමික අංශවල පහසුකම් දියුණු කර ඇත්නම් දෙමව්පියන් තම දරුවන් ඒවාට ඇතුළත් කිරීමට පසුබට නොවනු ඇත.

ප්‍රාථමික අංශ රහිත, පහසුකම් වැඩි පාසල් ප්‍රමාණය රටපුරා වැඩිකිරීමද හොඳ පිළියමකි. රජය මගින් දැනටමත් ආරම්භ කර ඇති එම වැඩපිළිවෙළ වේගවත් විය යුතුය.

මෙම වැඩපිළිවෙලට ජාත්‍යන්තර පාසල්ද උදව් කරගත හැකිය. ඒවායේ ප්‍රමිතිය ඉහළ නැංවීමත්, රජය මගින් නොකඩවා අධීක්ෂණය කිරීමත් මගින් රජයේ ජනප්‍රිය පාසල්වලට පවතින අධික ඉල්ලුම අඩුකරගත හැකිය. මේ සමග අධ්‍යාපන කටයුතු සඳහා විද්‍යුත් මාධ්‍ය සහ අන්තර්ජාල පහසුකම් දරුවන්ට ලබාදීමෙන් අමතර පන්ති බර යම් තරමක් අඩුකරගත හැකිය.

දරුවන්ට සුන්දර ළමා කාලයක් ලබාදීම සඳහා ශිෂ්‍යත්ව විභාගයේ බර අඩුකරන අතරම ඔවුන්ට සතුටින් සෙල්ලම් කරමින් කාලය ගත කිරීමට සෙනසුරාදා හෝ ඉරිදා මුළු දිනයම ටියුෂන් රහිත දිනයක් කරන්නේ නම් ඔවුන්ට එය විශාල සහනයක් වනු ඇත.

විභාගය පිළිබඳ සුදුසු තීරණයක් ගැනීම සඳහා ඇමතිතුමා පත් කිරීමට බලාපොරොත්තු වන, අදාළ සියලු ක්ෂේත්‍රයන් නියෝජනය වන විද්වත් කමිටුවේ ක්‍රියාකාරීත්වය දෙස අපි විමසිල්ලෙන් බලා සිටිමු.


සැම්සන් ගුණතිලක

    

Post a Comment

Previous Post Next Post