ළඟ එන ස්වභාවික ආපදා අවම කරගනිමු.

ළඟ එන ස්වභාවික ආපදා අවම කරගනිමු.




අපි ජීවත් වන පෘථිවිය සහ සූර්යයා අතර සිදුවන, සරලව පෙනුනත් සංකීර්ණ, සාපේක්ෂ චලිතයේ ප්‍රතිඵලයක් ලෙස වසරකට දෙවතාවක් සූර්යයා ශ්‍රී ලංකා භූමි ප්‍රදේශයට මුදුන් වී පායන බව පෙර විදුසර ලිපි වලින් ඔබ දැනුවත් වී ඇත. මේ වර්ෂයේ (2021)අප දිවයිනේ විවිධ ප්‍රදේශ වලට හිරු මුදුන් වූ දෙවන කාල සීමාව අගෝස්තු මස 29 වන දින සිට සැප්තැම්බර් මස 7 වන දා දක්වා වූ කාලය බව ජනමාධ්‍ය පුවත්වලින් ඔබ දැනුවත් වන්නට ඇත. එම සංසිද්ධිය පසුකර සති තුනකට පමණ පසු ශ්‍රී ලංකා භූමි භාගයේ දෙවන අන්තර් මෝසම් (SECOND INTER MONSOON SEASON) ඍතුව ස්ථාපිත වන අතර සාමාන්‍යයෙන් ඔක්තෝබර් - නොවැම්බර් වකවානුව අප දිවයිනේ දෙවන අන්තර් මෝසම් වකවානුවයි.




ඔක්තෝබර් - නොවැම්බර් වකවානුවේ දිවයිනේ දෙවන අන්තර් මෝසම් කාලගුණ තත්ත්වයන් පවතින අතර ඉතා ආපදාකාරී කාලගුණ සාධක වල බලපෑමට අපට මුහුණ දීමට සිදුවේ. මෙම වකවානුවේ වැඩි දින ගණනාවක් තුළ දවසේ පෙර භාගයේ ප්‍රදේශ රැසකම තරමක් යහපත් (වැසි රහිත) කාලගුණ තත්ත්වයන් පවතී. මධ්‍යාහ්නයට පසුව තැන තැන වර්ධනය වන වලාකුළු පස්වරු 2 පමණ පසුවූ විට කැටි වැසි වලාකුළු (Cumulonimbus clouds) බවට වර්ධනය වේ. පාරිසරික සහ භූගෝලීය සාධක වල බලපෑම නිසා කඳුකර පෙදෙස්වල මෙම වලාකුළු අධික ලෙස වර්ධනය වීම සාමාන්‍ය තත්ත්වයකි. කැටි වැහි වලාකුළු වලින් ආපදාකාරී කාලගුණ සාධක කිහිපයක්ම පරිසරයේ වර්ධනය වන්නේය. අකුණු සහ ටෝනේඩෝ ඉන් ප්‍රධාන වන්නේය.

කැටි වැහි (Cumulonimbus) නමින් හඳුන්වනු ලබන වලාකුලුවල වැඩෙන ස්ථිති විද්‍යුත් ආරෝපණවල බලපෑම යටතේ වලාකුළක විභවය වෝල්ට් මිලියන සියයක් තරම් ඉහළ මට්ටම් වලට ශක්තිමත් වන අතර එවන් වලාකුළක සිට පෘථිවි තලය වෙත ලඟා වන අකුණු ධාරා ඇම්පියර් දෙදාහේ (2000A) සිට ඇම්පියර් දෙලක්ෂය (200000A) දක්වා අගයන් ගන්නා අතර සාමාන්‍ය අගයක් ලෙස එම ධාරාව ඇම්පියර් විසිපන් දහසක් (25000A) පමණ වේ. අකුණු යනු විද්‍යුත් ධාරාවක් (Electric Current) නිසා එය පහසුවෙන්ම ලඟාවන්නේ, නැතිනම් අකුණු ඇදගනු ලබන්නේ, ලෝහමය වස්තු වෙතය. එහෙත්, අකුණු පහරක් සතු විශාල විදයුත් ශක්තියට ගහකොල පවා සන්නායක බවට පත්කිරීම පහසු නිසා පරිසරයේ ඉහළට ඉදිකොට ඇති ගොඩනැගිලි වල ඉහළම කොටස් වෙත අකුණු පහරක් ලඟාවීම පිළිබඳ පුදුම විය යුතු නැත.

වලාකුලක සිට කිලෝමීටර් 4ක් 5ක් පමණ මඟ ගෙවා පෘථිවිය වෙත එන අකුණු පහරක් උස් වූ ගොඩනැගිල්ලක්, ගසක් හෝ කුළුනක් වෙත සෘජු ලෙසම ළඟාවෙන නමුදු පොලෝ තලයේ තිබෙන කුඩා ගොඩනැගිල්ලක්, විද්‍යුත් උපකරණ හෝ පොලෝ තලයේ සිටින සත්වයකු හෝ මිනිසකු වෙත අකුණු ධාරා ළඟා වන ආකාර කීපයක් ම නිරීක්ෂණය කර ඇත. ඒවා ‘සෘජු අකුණු’, ‘පාර්ශ්වික අකුණු’, “ස්පර්ශ වෝල්ටීයතා අකුණු”, “අධි වෝල්ටීයතා සන්නයනය” සහ “පියවර වෝල්ටීයතාව” ලෙසින් හඳුන්වා දෙනු ලබන අයුරින් ප්‍රධාන ලෙස ආකාර 5 කි.




සෘජු අකුණු - පෘථීවිය වෙත ළඟා වන අකුණු පහරක් සෘජු ලෙසම යමක් හෝ යමෙක් වෙත ළඟාවීම සෘජු අකුණු පහරකි.

පාර්ශ්වික අකුණු - අකුණු ධාරාවක් ළගා වූ යම්කිසි ස්ථානයක සිට ධාරාව කොටස්වලට බෙදී වෙනත් ස්ථාන කරා ගමන් කිරීම පාර්ශ්වික අකුණු පහර වැදීමයි.

ස්පර්ශ වෝල්ටීයතා අකුණු - අකුණු පහරක් ළඟා වූ ද්‍රව්‍ය සමඟ පැවැති ස්පර්ශ තාවයක් නිසා එම ස්පර්ශ ලක්ෂය හරහා අකුණු ධාරා ගලා යාම ස්පර්ශ වෝල්ටීයතා අකුණු නම් වේ.

අධි වෝල්ටීයතා සන්නයනය - අකුණු පහරක් ළඟා වූ, විදුලි බල, සංඥා, දුරකථන සංඥා යනාදිය බෙදාහරින කම්බි, TV ඇන්ටනා වැනි, විවිධ සන්නායක ද්‍රව්‍ය තුල වර්ධනය වන (ප්‍රේරණයවන) අධික වෝල්ටියතා ඊළඟට ඒවා හා සම්බන්ධ රැහැන් ඔස්සේ වෙනත් ස්ථාන වලට සන්නයනය වීම අධි වෝල්ටීයතා සන්නයනය ලෙස හඳුන්වනු ලැබේ.

පියවර වෝල්ටීයතාව - ගසක් වැනි උස් ද්‍රව්‍යයක් වෙත ළඟා වූ අකුණු ධාරාවක් සිය ගමන අවසන් කරන්නේ එම ද්‍රව්‍ය ඔස්සේ ගමන් කොට භූගත වීමෙන්ය. මෙසේ භූගත වන අකුණු ධාරා වලින් කොටසක් පෘථිවි තලය ඔස්සේ යම් දුරක් ගමන් කොට භූගත වීම සිදුවේ, එසේ පෘථිවි තලය ඔස්සේ අකුණු පහර ගමන් කරන මඟක සත්වයෙක් හෝ මිනිසෙක් සිටී නම් ඔවුන්ගේ පාද අතර ගොඩනැඟෙන විභව අන්තර නිසා අකුණු ධාරාව හෝ ඉන් කොටසක් එක් පාදයකින් ශරීරය තුළට ගමන් කොට වෙනත් පාදයකින් යළිත් පෘථිවිය වෙතට ගමන් කොට උදාසීන වේ. එවන් අකුණු පහරක් පියවර වෝල්ටීයතා අකුණු ලෙස හඳුන්වනු ලැබේ.

ඉහත සඳහන් කළ කවර ආකාරයකින් අකුණු ධාරාවක් ළඟා වුවද එහි අවසාන ප්‍රතිඵලය ආපදා කාරී විය හැකි බවද අවබෝධ කරගත යුතුය.




අකුණු පහරක් හෝ ඉන් කොටසක් කෙනෙකුගේ ශරීර අභ්‍යන්තර කොටස් හරහා ගමන් කිරීම බොහෝ විට මාරාන්තික ආපදාවලට හේතු වේ. ශරීරයේ බාහිර ප්‍රදේශය හරහා ගමන් කරන අකුණු ධාරාවක් බරපතල පිළිස්සීම්‚ මස්පිඬු පිපිරීම් සහ රුධිර වියලන වලට හේතු විය හැකිය.

ශ්‍රී ලංකාවේ විදුලි බල මණ්ඩලය මගින් නිවාස සහ ගොඩනැගිලි වෙත සපයනු ලබන විදුලි බලය වෝල්ට් 230 ක පමණ විභවයක් සහ ඇම්පියර් 15 ක පමණ විදුලි ධාරාවකින් යුතු බව දනිමු. එම විද්‍යුත් ධාරාව වුවද මිනිසකුගේ හෝ සත්වයකුගේ ශරීරය හරහා ගමන් කළහොත් සිදුවිය හැකි ආපදාව කෙසේද යන්න ඔබ දන්නා කරුණකි. එනිසා වෝල්ට් මිලියන 100ක විභව ශක්තියකින් යුතුව ඇම්පියර් 25000 පමණ සාමාන්‍ය විදුලි ධාරාවක් යම් භාණ්ඩයක් හරහා හෝ මිනිසෙක් හෝ සතෙක් හරහා සන්නයනය වුවහොත් සිදුවිය හැකි ආපදාව කෙබඳු වේද යන්න අවබෝධ කළ හැකි නොවේද?

ගොඩනැගිලි වල විවිධ භාණ්ඩ හරහා ගමන් කරන අකුණු ධාරා මහා පිපිරීම් සහ ගිනි ගැනීම් වලට හේතුවේ. දුරකථන‚ ගුවන් විදුලි සහ ටෙලිවිෂන් යන්ත්‍ර‚ පරිගණක වැනි විද්‍යුත් උපකරණ දැවී පිපිරී යාම සිදුවන්නේ ඒවා තුළ අන්තර්ගත සන්නායක කොටස් පහසුවෙන් අකුණු ධාරා ආකර්ෂණය කර ගන්නා නිසාය.

බොහෝ දෙනෙක් මේ සම්බන්ධව අසන ප්‍රධාන පැනයක් නම්‚ අකුණු පහර වැදී දැව භාණ්ඩ පිපිරී විනාශ වන්නේ මන්ද යන්නය. දැවෙන් නිම කරන ලද සෑම ලී භාණ්ඩයකම ලෑලි සවි කෙරෙන්නේ ලෝහමය ඇණ‚ ඉස්කුරුප්පු‚ නට් සහ බෝල්ට් භාවිතයෙන් බව අමතක නොකරන්න. ගොඩනැගිල්ලක් වෙත ළඟා වන අකුණු ධාරාවක් භූගත වීම සඳහා එයට හැකි සෑම සන්නායක ස්ථානයක පිහිට පතන නිසා දැව භාණ්ඩ වල ලෝහමය ඇණ‚ නට්‚ බෝල්ට් හරහාද අකුණු පහරේ පාර්ශවික කොටස් ගමන් කරන අතර ඉන් නිපදවෙන විශාල තාප ප්‍රමාණයෙන් අල්මාරි‚ කැබිනට්‚ පෙට්ටගම් වැනි භාණ්ඩ තුල අන්තර්ගත වායු කොටස් ක්ෂණික ප්‍රසාරණයට බඳුන් වීම හේතුවෙන් එම දැව භාණ්ඩ පිපිරීම් වලට ලක් වේ.

මීට දශක හය හතකට ඈත දවසේ අප රටේ නිවාස බහුතරයක් වරිච්චි හෝ ගඩොල් බිත්තියෙන්, පුවක් හෝ උන ලී වහල රාමුවෙන් සහ පොල් අතු පිදුරු හෝ මානා සෙවිලි වලින් නිමාවී තිබුණ නිසා අකුණු ඇද ගැනීමේ හැකියාව අතින් එදා අපේ කුඩා නිවස ඉතාම දුර්වල විය. එහෙත් තාක්ෂණයේ ලද දියුණුවත් සමඟ ලෝහමය කොටස් රැසක්, විදුලි රැහැන්, දුරකථන රැහැන් ආදී විදුලිය ගමනට උපකාර වන අංගෝපාංග සහිතව ගොඩනැගිලි ඉදිවීම ගෘහස්තව පවා අකුණු මඟින් ආපදා බහුල ලෙස අද දවසේ වාර්තා වීමට හේතුවී ඇත. නිවසක් හෝ වෙනයම් ගොඩනැගිල්ලක් වෙත ඇදී එන අකුණු පහරකින් සිදුවන ආපදාවක් දේපල හානිවලින් පමණක් අවසන් නොවී, ජීවිත හානි වූවද සිදුවීමේ ඉඩකඩ තිබෙන නිසා අප ඒ ගැන අවධානය යොමුකළ යුතුමය.

අකුණු නිසා සිදුවන ආපදා නිවාරණය කිරීමට අවශ්‍ය නම් මෙවන් සාධක පිළිබඳ අවධානය යොමු කළ යුතු අතර ගොඩනැගිල්ලක් තුළ සිදුවිය හැකි අකුණු ආපදා අවම කිරීම සඳහා ප්‍රාථමික සහ ප්‍රධාන පියවරනම් ගොඩනැගිල්ල අකුණු පහර වලින් ආරක්ෂා කිරීම බව මින් පැහැදිලිය.

ගොඩනැගිලි තුලට අකුණු පහර ලඟාවී විවිධ ආපදා සිදුවීම වළක්වා ගැනීම උදෙසා පහත සඳහන් පියවර ගැනීම අප සැමගේම වගකීමක් වන්නේය.

අ. මේ වන විට ඉදිකොට ඇති ගොඩනැගිලි අකුණු ආරක්ෂක පද්ධති (Lightning Protection System) සවිකිරිම මඟින් ආරක්ෂා කිරීම.

ආ. විදුලිබල සැපයුම සහිත ගොඩනැගිලිවල විදුලි පරිපථයේ භූගත සන්නායකයේ (Earth) ප්‍රතිරෝධය ඕම් දහයට (10) අඩු අගයක තබා ගැනීම.

ඇ. නව ගොඩනැගිලි ඉදිකරන අවස්ථාවල අකුණු ආරක්ෂක පද්දති සවිකිරීම සැලසුම් කිරීම ගොඩනැගිල්ලේ පිඹුරුපත (Plan) පිළියෙල කිරීම හා සමගාමීව සිදුවිය යුතුය.

නිවාසද ඇතුලු ගොඩනැගිලි අකුණු පහරවල ඍජු බලපෑමෙන් වලක්වා ගැනීම සදහා අකුණු සන්නායකයක් (Lightning Conductor) සවි කළ යුතු අතර අකුණු ධාරා විවිධ ලෝහමය (සන්නායක) කොටස් හරහා ගමන් කරන විට විදුලි උපකරණවල ප්‍රේරණය වන විද්‍යුත් ධාරා (Surge) භූගත කිරීම සඳහා භාවිතා වන ප්‍රේරිත ධාරා මගහැරුම් (Surge Diverter) ගොඩනැගිල්ලේ සවිකළ යුතුය. එම ආරක්ෂක උපාංග එකතුව ගත්කල එය අකුණු ආරක්ෂක පද්ධතිය නම් වේ.

අප දිවයිනේ ගොඩනැගිලි බොහෝමයකට අකුණු ආරක්ෂණය සපයා නොමැති නිසා ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී විදුලි උපකරණ ප්‍රධාන විදුලි පරිපථයෙන් විසන්දි කරන ලෙස කාලගුණ සහ ආපදා කළමණාකරණ අංශ අවවාද කරන බව ඔබ හැම දන්නා කරුණකි. එහෙත් ගොඩනැගිලි, නිසි ප්‍රමිතියට අනුව අකුණු ආරක්ෂක පද්ධති මඟින් සුරක්ෂිත කොට ඇතිනම් නිවාස හෝ කාර්යාලවල විදුලි උපකරණ පරිපථවලින් විසන්දි කිරීම අවශ්‍ය නොවේ.

අකුණු මඟින් සිදුවිය හැකි විවිධ ආපදා වළක්වා ගැනීම හෝ අවම කිරීම උදෙසා අප සැවොම අවධානයෙන් සිටිය යුතුවා මෙන්ම ආරක්ෂක පියවර නිසි කලට ගතයුතුමය. අකුණු පහරක් සතු අධික විද්‍යුත් ධාරාව හෝ ඉන් කොටසක් අපේ ශරීරය වෙත මෙන්ම නිවෙස් වල හෝ කාර්‍යාලවල විද්‍යුත් උපකරණ වෙත හෝ ළඟාවීම වළක්වාලීමට ගතහැකි හැම පියවරක්ම ගැනීමට වගබලාගත යුතුය. වලාකුළක සිට පහත්වන අකුණු පහර කිසියම් අයුරකින් අපවෙත හෝ අපගේ නිවස හෝ කාර්‍යාලය වෙත ළඟාවීම නවතා දැමීමට ගතහැකි පියවර දියත්කළ යුතුය. එවන් ආරක්ෂක පියවර කිහිපයක් මෙසේය.

අකුණු පිළිබඳ ප්‍රකාශවූ විට මෙන්ම අකුණු සහ ගිගුරුම් සහිත කාලගුණ තත්ත්වයක් පවතින පරිසරයක දී,



  • සියලුම විදුලි උපකරණ විද්‍යුත් පරිපථ වලින් විසන්ධි කර තබන්න.
  • පරිසරයට නිරාවරණය වීම අවම කරන්න.
  • උස් ලෝහමය ආකෘති, කම්බි වැට ආදිය අසල සිටීමෙන් හෝ ඒවා ස්පර්ශ කිරීමෙන් වලකින්න.
  • රැහැන් දුරකථන භාවිතයෙන් වළකින්න.
  • විවෘත ස්ථානයක සිටීනම් ශරීරයේ ක්‍රියාකාරී උස අඩුකරලීම සදහා වාඩිවී හෝ පහත් සයනයක දිගාවී සිටින්න.
  • පා පැදි, යතුරු පැදි, විවෘත වාහන හෝ අශ්වයන් මත ගමනේ යෙදීමෙන් වළකින්න.
  • ජලාශවල පිහිනීමෙන් හෝ ජලය ඇති ස්ථානවල ඇවිදීමෙන් වළකින්න.


අකුණු සහිත වාතාවරණයකදී දුරකථන භාවිතය ආපදාකාරී විය හැකිය යන අනතුරු ඇඟවීම බොහෝ අය වරදවා වටහා ගෙන ඇත්තේ මෙම ආපදා කළමනාකරණ අවවාදය නිර්මාණය කරන ලද වකවානුවල ජංගම දුරකථන (MOBILE TELEPHONE) භාවිතයේ නොතිබීම නිසාය. මීට වසර තිහ හතළිහකට පමණ පෙර ලොව පුරාම භාවිතා වූයේ රැහැන් දුරකථන (CABLE TELEPHONE) ලෙස හඳුන්වනු ලබන දුරකථන සහ සංඥා සම්ප්‍රේෂණය සඳහා සන්නායක රැහැන්ය.


දුරකථන රැහැන් සන්නායක කම්බි පොලෝ මට්ටමට ඉහළින් සවි කොට තිබෙන නිසා අකුණු වාතාවරණ වළදී අධි වෝල්ටීයතා ශක්තීන් එම කම්බි තුළ ප්‍රේරණය වේ. එවන් අධි වෝල්ටීයතා ශක්තිය ඒ කම්බි හා සම්බන්ධ දුරකථන වෙත විදුලි ධාරා ලෙස ගමන් කිරීම සාමාන්‍ය ලක්ෂණයකි. දුරකථනය වෙත ළඟා වන අකුණු ධාරා බොහෝවිට දුරකථන යන්ත්‍රය විනාශ කොට තවත් ස්ථාන හරහා භූගත වේ. එම අවස්ථාවේදී යමෙක් දුරකථනය පරිහරණය කරමින්, රිසීවරය අතෙහි තබාගෙන සිටීනම්, අනිවාර්යයෙන්ම අකුණු ධාරාව පහසුවෙන් භූගත වන්නේ දුරකථනය භාවිතා කරන්නාගේ ශරීරය හරහා ය. එය ආපදාකාරී බව පැහැදිලිය.

කැටිවැහි වලාකුළු තුළින් වර්ධනයවන තවත් ආපදාකාරී පද්ධති විශේෂයක් ගොඩබිම් ආශ්‍රිතව ‘ටෝනේඩෝ’ (Tornado) නමින්ද, දියඹක් මතදී නම් ‘දියගොබ වලා’ (Waterspout) නමින්ද හඳුන්වනු ලැබේ. හොඳින් වැඩුණු කැටිවැහි වලාකුළුවල සිට පහතට වර්ධනය වන, මීටර් 100 ක පමණ වපසරියක ක්‍රියාත්මක වන, ඉතා ප්‍රචණ්ඩ සුළං සහිතව භ්‍රමණය වන ටෝනේඩෝ වල මධ්‍යයේ පවතින ඉතා පහත් පීඩන තත්ත්වයන්ද නිසා ගහකොල, ගොඩනැගිලි ආදිය බිඳහෙලීම සිදුවන අතර අධික බරින් යුතු ද්‍රව්‍ය පවා ඉහළට ඔසවා ඒ මේ අත විසි කිරීම හේතුවෙන් අති භයානක ආපදා සිදුවිය හැක.

ටෝනේඩෝ වර්ධනය වන ස්ථාන නිශ්චිත ලෙස අනාවරණය කිරීමේ පහසුකම් සහ තාක්ෂණය අප රට සතු නොවේ. එසේ වුවද ටෝනේඩෝ බහුල ලෙස බලපාන ප්‍රදේශ වල වාසය කරන අය විසින් ටෝනේඩෝ ආපදා අවම කිරීම උදෙසා ගතහැකි ආරක්ෂක පියවර වෙත අවධානය යොමුකිරීම ඉතා වැදගත්ය.

අපගේ නිවස ඇතුලු සියලු ගොඩනැගිලි ආසන්නයේ පිහිටි අවදානම් ගස්වල අතු හෝ ගසම කපාදැමීම එක් ප්‍රධාන ආරක්ෂක පියවරකි. ටෝනේඩෝ සතු ප්‍රචණ්ඩ සුළං ප්‍රවාහ නිසා බොහෝවිට ගොඩනැගිලි පියසිවල තහඩු ටෝනේඩෝව තුළට ඔසවා සී සී කඩ විසිකිරීම සාමාන්‍ය දෙයක් වූවද ඉන් විවිධ ආපදා සිදුවේ.

ගහකොල සහ ගොඩනැගිලි පියසි පිළිබඳව නිසි ආරක්ෂක පියවර ගත්තද ටෝනේඩෝ වල ප්‍රභලතාවය අනුව විවිධ ආපදා සිදුවිය හැකිය. ප්‍රචණ්ඩ සුළං ප්‍රවාහ මඟින් දසත විසුරුවා හරිනු ලබන ද්‍රව්‍ය හෝ කැබලි, ගස්වල අතු ආදිය ගැටීම නිසා ජීවිත සහ දේපල හානි සිදුවන නිසා ටෝනේඩෝවක් ක්‍රියාත්මක වන විට පරිසරයට නිරාවරණය නොවී ආරක්ෂක ස්ථානයක රැඳී සිටීම ශාරීරික හානි සිදුවීම වළකාලීමට උපාකාර වේ. දැඩි කොන්ක්‍රීට් තලයකින් හෝ දැඩි පෘෂ්ඨයකින් යුතු මේසයකින් ආවරණය ලැබීම සිදුවිය හැකි ආපදා අවමකර ගැනීමට ගතහැකි ආරක්ෂක පියවරයන්ය.

ශ්‍රී ලංකාවට බලපෑම් සිදුවිය හැකි පීඩන අවපාත (Depression), අඩුපීඩන ප්‍රදේශ (Low pressure area) හෝ සුළිසුළං (Cyclone) බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වැඩි වශයෙන් වර්ධනය වන්නේ ද ඔක්තෝබර් - දෙසැම්බර් වකවානුවේ නිසා සිදුවිය හැකි ස්වභාවිත විපත් පිළිබඳ වඩාත් අවධානයෙන් අපි සිටිය යුතුමය. එවන් කාලගුණ පද්ධති වල ඍජු හෝ අතුරු බලපෑම් ලෙස අකුණු සහ ටෝනේඩෝ වල බලපෑම් වලට අමතරව අඛණ්ඩව, අනවරතව හමන ප්‍රචණ්ඩ සුළං ප්‍රවාහ සහ දැඩි වර්ෂාපතන වලින් සිදුවන ආපදා පිළිබඳව ද රටම අවධානයෙන් සිටිය යුතුය.

අද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සතු තාක්ෂණික පහසුකම් වල උපකාරයෙන් සුළිසුළං වැනි කාලගුණ පද්ධති වල බලපෑම් පිළිබඳව දින ගණනාවකට පෙර සිට අනාවරණය කරනු ලබන අතර එම දෙපාර්තමේන්තුව සහ ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ජනමාධ්‍යයන් හරහා ජනතාව වෙත කල්වේලා ඇතිවම අදාළ තොරතුරු සහ අනතුරු ඇඟවීම් දැනුම් දෙනු ලැබේ. කාලගුණ අනාවැකි, අනතුරු ඇඟවීම් සහ කාලීන ආපදා කළමණාකරණ පියවර පිළිබඳ පුවත් වලට සවන්දී ආපදා අවම කර ගැනීම උදෙසා අපෙන් සිදුවිය යුතු පියවර නොපිරිහෙලා ඉටු කිරීමට සැවොම පියවර ගත යුතුය.

කේ.ආර්. අභයසිංහ,
බාහිර කථිකාචාර්ය, විද්‍යා පශ්චාත් උපාධි ආයතනය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය
විශ්‍රාමික කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ


Post a Comment

Previous Post Next Post