ළමා සාහිත්‍යට අලුත් පොතක්
සඳ අහසේ ඉහල නගිමින් තිබිණි. සඳ එලිය අවට පරිසරය වෙලා ගත්තේ දහවලක සිරි උසුලමිනි. රාත්‍රිය උද වෙමින් පැවතියත් අවට ගෙවල් වල ළමෝ එළිමහනේ ඇවිදිමින් සිටියෝය.
'අන්න, හඳ වේගයෙන් දුවනවා' සඳ දෙස බැලු එක් ළමයෙක් කෑගැසුවේය.
සියල්ලෝම සඳ දෙස බැලුවෝය.
'ඔව්, ඔව් හඳ දුවනවා තමයි' පුදුමයට පත් ළමයි මුව අයා සඳ දෙස බලා සිටියෝය.
'නැහැ නැහැ, හඳ දුවන්නේ නැහැ. වලාකුළු වේගයෙන් ඇදෙනවා විතරයි. වලාකුළුවල ගමන නිසාත් සඳත් වේගයෙන් යන බවක් පෙනෙනවා.' ළමුන් අතර සිටි එක් ළමයෙක් වෙනස් අදහසක් දැරිය.
අනෙක් සියල්ලෝම ඔහුගේ අදහසට විරුද්ධ වුහ. ඉන්පසු වෙනස් අදහසක් දැරූ ළමයා අනෙක් ළමුන් විශාල ගසක් යටට කැඳවාගෙන ගොස් මෙසේ කිවේය.
හඳ දිහා බලමු.'
ගස් කොළ අතු අතරින් හඳ දෙස බැලූ ළමුන්ට සඳ එක තැනක තිබියදී වලාකුළු පමණක් ගමන් කරන අයුරු පැහැදිලි විය.
ඉහත දැක්වුයේ මට මතක හැටියට දෙකේ පන්තියේ සිසුන් සඳහා ජේ. ප්‍රැන්සිස් ප්‍රනාන්දු මහතා ලියු ' කියවීම් රජය' පොතේ 'ළමා තාරකා විද්‍යාඥයා' නම් වූ කතාවයි. තල අත්තකට බෙලි ගෙඩියක් වැටීමෙන් ඇතිවූ ශබ්දයෙන් 'ලෝක විනාශය' යැයි බියපත් වූ අවිචාරශීලි හාවෙකු නිසා අනෙක් සතුන්ද මුලාවූ අයුරු එහි තවත් කතාවක දැක්විණි. (එකල බාලාංශ පන්තියක්ද තිබු නිසා දෙකේ පන්තිය යනු පාසල් අධ්‍යාපනයේ තුන්වන වසරයි.)
එකල ළමා පොත් ලිව්වේ ඊට සුදුසු ලේඛකයින් විසිනි. එසේ නැතිව ස්වයං රැකියාවක් ලෙස හෝ ව්‍යාපාරයක් ලෙස නොවේ. විවෘත ආර්ථිකයත් සමග සියල්ලම ව්‍යාපාර බවට පත්විය. ළමා සාහිත්‍යට පමණක් ඉන් මිදී සිටීමට නොහැකි විය. බස් රථයේදී හෝ දුම්රියේදී විකිනෙන ලාභ ළමා පොත්වලිනුත්, පොත් සාප්පු වලින් ගොඩ ගසා ඇති බොහෝ ළමා පොත් වලිනුත් ළමා මනසට සිදුවන හානිය ගැන දෙමව්පියන්ට ගානක් නැත. හොඳ ළමා පොත් මොනවාදැයි හොයා බලන්නට දෙමාපියන්ට තබා ගුරුවරුන්ටත් පහසු මගක් නැත.
අප කඩෙන් භාණ්ඩයක් මිලට ගන්නා විට එහි නිෂ්පාදනය තත්වය හඳුනා ගැනීමට SLS ප්‍රමිති සහතිකය හෝ එවැනි ජාත්‍යන්තර සහතිකයක් ඇත්දැයි බලන්නෙමු. එවැනි ක්‍රමයක් ළමා පොත් සම්බන්ධයෙන්ද තිබීම සුදුසුය. ඊට සමාන ක්‍රමයක් දැනටමත් ඇතත් එය බෙහෙවින් අඩපන තත්වයක පවතින්නකි. අධ්‍යාපන අමාත්‍යංශයේ ග්‍රන්ථ ප්‍රකාශන මණ්ඩලය මගින් යම් සුදුසු කෘතියකට පාසල් පුස්තකාල සඳහා යෝග්‍ය කෘතියක් බවට අනුමත කෙරෙන බලපත්‍රයක් ලබාදෙයි.එහෙත් එහි ක්‍රියාකාරිත්වය ඉතා මන්දගාමිය. ඒ නිසා බොහෝ ලේඛකයන් එයට සිය කෘති ඉදිරිපත් කරන්නේ නැත. එම රාජ්‍ය ආයතන කාර්යක්ෂම කර ප්‍රබුද්ධ ලේඛක මණ්ඩලයක් මගින් සුදුසු පොත් තොර ඒවාට පාසල් පුස්තකාල සදහා බලපත්‍ර ලබාදීම අප්‍රමාදව කල යුත්තකි. එවිට මහජනයාට එම බලපත්‍රය සහිත පොත් ගැන විශේෂ අවධානයක් යොමු කර සිය දරුවන්ට සුදුසු පොත් මිලදී ගත හැකිවනු ඇත.
බාල සුරංගනා කතා, අද්භූත කතා, හරයක් නැති කතා ආදියෙන් පොත් සාප්පු වල රාක්ක පිරි ඇති කාලයක දරුවන්ගේ විමසුම් ඇස සහ නිවහල් සිතුවිලි අවදියෙන් තබා ගැනීම සඳහාත් ඔවුන්ට දැනුම ලබා දීම සඳහාත් රන්ජන් ප්‍රනාන්දු මහතා විසින් ලියන ලද ඔහුගේ දෙවන ළමා පොත 'ග්‍රැෆිකෙයා' පොතක් ලෙස එලි දැක්වීමේ උත්සවය 27. 09. 2018 වැනි බ්‍රහස්පතින්දා පස්වරු 4. 15ට බොරැල්ලේ එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැත්වෙනු ඇත. එහි ආරාධිත දේශනය පවත්වනු ලබන්නේ හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂක වරයෙකු වූ ඒ. ඩී. ගුණසේකර මහතා විසිනි. මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාද ඊට සහභාගී වනු ඇත. මෙම උත්සවය සියල්ලන් සඳහා විවෘතය.
එම උත්සවය සඳහා 'කුරුණෑගල නිවහල් සිතුවිලි සංසදය' වෙනුවෙන් ගැමි කවියකු වූ ගුණපාල පතිරාජ මහතා සුබ පැතුම් පණිවිඩයක් සකස් කර තිබේ. එහි, පොතේ කතුවරයා ගැන කියවෙන එක කවියක් මෙහි සදහන් කිරීමේ වරදක් නැතයි සිතෙමි.
'ඇසු පිරු තැන් ඇති මිනිසෙකි ඔහු ධනය ශ්‍රමය කැප කරමින්නේ
ලියන්න ගත්තා දරුවන් වෙනුවෙන් දෙවන පොතයි මේ හෙලිවෙන්නේ
කයේ වේදනා ඇති මුත් ඔහුගේ හිත නම් ඉතාම තරුනයිනේ
වයසේ වැරැද්දට තද වෙනවා මිස සුන්දර නිවහල් ගතිගුණනේ'
සැම්සන් ගුණතිලක
(27. 09. 2018 දින 'රැස' පුවත්පතෙහි පළවූ ලිපිය)

Post a Comment