ශබ්ද දුෂණයට එරෙහිව පැමිණිලි කිරීමට මාතර පොලීසියට ගියෙමි.

 

ශබ්ද දුෂණයට එරෙහිව පැමිණිලිකිරීමට මාතර පොලීසියට ගියෙමි.

 


මම :- ලවුඩ් ස්පීකර් බලපත්‍ර ගන්නේ කොතනින්ද ?


පිළිගැනීමේ නිලධාරි :- බලපත්‍ර අංශයට යන්න...


එහි ගියෙමි


මම : - ලවුඩ් ස්පීකර් බලපත්‍ර ලබා ගැනීම පිලිබඳ කරුණු ටිකක් දැනගන්න පුළුවන්ද ?

බලපත්‍ර අංශය භාර නිලධාරිණිය :- පුළුවන්...මොනවගේ දේවල්ද ?

මම : - බලපත්‍රයක් නොගෙන ලවුඩ් ස්පීකර් භාවිතා කරන්න මට පුළුවන්ද ?

බලපත්‍ර අංශය භාර නිලධාරිණිය :- බැහැ...කොහෙත්ම බැහැ...

මම : - මම එහෙම කලොත් මොනවද පොලීසියට කරන්න පුළුවන් ?

බලපත්‍ර අංශය භාර නිලධාරිණිය :- මහත්තයා කව්ද ?

මම : - විශ්‍රාමික රජයේ සේවකයෙක්

බලපත්‍ර අංශය භාර නිලධාරිණිය :- මොනවද කලේ ?

මම : - මම දොස්තර කෙනෙක්...නාවික හමුදා නිලධාරියෙක්

බලපත්‍ර අංශය භාර නිලධාරිණිය :- ඔබතුමා බලපත්‍රයක් නොගෙන ලවුඩ් ස්පීකර් භාවිතාකලොත්...ඒ උපකරණ අපි අත්අඩංගුවට අරගෙන... ඔබතුමාගෙන් කටඋත්තරයක් අරගෙන නඩු දානවා

මම : - මුස්ලිම් පල්ලි වලටත් ලවුඩ් ස්පීකර් භාවිතා කරන්න බලපත්‍ර ගන්න ඕනෙද ?

බලපත්‍ර අංශය භාර නිලධාරිණිය :- ඔව්...ඕනම කෙනෙක්ට මේ නීතිය අදාලයි

මම :- දැනට මාතර තියෙන මුස්ලිම් පල්ලි ඔක්කොම මේ විදියට බලපත්‍ර ලබාගෙන තියෙනවද ?

බලපත්‍ර අංශය භාර නිලධාරිණිය :- ඒ ගැන හොයල බලල ඕනෙ කියන්න

මම :- බලපත්‍ර කොන්දේසි මොනවද ?

බලපත්‍ර අංශය භාර නිලධාරිණිය :- රෑ දහයෙන් පස්සේ ස්පීකර් භාවිතා කරන්න තහනම්...සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම් වලට රෑ 12 වෙනකම් අවසර දෙනවා...අනිත් අයට සිකුරාදා සෙනසුරාදා දවස් දෙකේ විතරක් රෑ 12 වෙනකම් අවසර දෙනවා.

මම :- පන්සල් වලටත් ලවුඩ් ස්පීකර් භාවිතා කරන්න බලපත්‍ර ගන්න ඕනෙද ?

බලපත්‍ර අංශය භාර නිලධාරිණිය :- ඔව්

මම :- රෑ දහයේ නීතිය පන්සල් පල්ලි වලටත් අදාලද ?

බලපත්‍ර අංශය භාර නිලධාරිණිය :- ඔව් අදාලයි

මම :- ලවුඩ් ස්පීකර් බලපත්‍රයක් ලබාගෙන මගේ ඉඩමේ ලවුඩ් ස්පීකර් හයිකරල ඉවරවෙලා...පාරේ තියෙන ලයිට්කණු වලත් ලවුඩ් ස්පීකර් හයි කරන්න මට පුළුවන්ද ?

බලපත්‍ර අංශය භාර නිලධාරිණිය :- එහෙම කරන්න බෑ ඒක නීති විරෝධියි...එහෙම කලොත් අපි වහාම බලපත්‍රය අවලංගු කරනවා

මම :- ලවුඩ් ස්පීකර් බලපත්‍ර නිකුත්කිරීමේදී ශබ්ධ දූෂණය නිසා මහජනතාවට එයින් හිරිහැරයක් වෙනවද කියල සොයා බැලීමක් කරනවද ?

බලපත්‍ර අංශය භාර නිලධාරිණිය :- නැහැ...එහෙම සොයා බලන්නේ නෑ

මම :- දැන් මගේ ගෙදරළඟ පන්සලේ කඨින පිංකම නිසා දවස් තුනක් තිස්සේ දවල් රෑ දෙකේම...විශාල සද්දයකින් ලවුඩ් ස්පීකර් වලින් පිරිත්, බොදු බැතිගී, කවිබණ, මව්පිය වන්දනා, ආසන දෙකේ බණ, විරිදු ප්‍රචාරය කරනවා...පාරෙත් ලවුඩ් ස්පීකර් 10ක් හයි කරල තියෙනවා...මට දවස්තුනක් එක දිගටම නිදාගන්න ලැබුනෙ නෑ...හෙට පෝය නිසා හෙටත් මේ සද්දෙ තියෙයි...මේ ලවුඩ් ස්පීකර් අත්අඩංගුවට අරගෙන පන්සලේ භාරකාරිත්වයට විරුද්ධව නඩුවක් දාන්න පුළුවන්ද ?

බලපත්‍ර අංශය භාර නිලධාරිණිය :- මේක මට විසඳන්න බෑ...ඔබතුමා පාලන අංශය භාර...පොලිස් පරීක්ෂක ධම්මික රාජපක්ෂ මහත්තයට මේ ගැන පැමිණිලි කරන්න.


පාලණ අංශයට යයි...

පොලිස් පරීක්ෂක ධම්මික රාජපක්ෂ :- මොකක්ද ප්‍රශ්ණය ?

මම :- පැමිණිල්ල නැවතත් ඉදිරිපත් කලෙමි...ඔහු අවධානයෙන් සවන්දෙයි...

පොලිස් පරීක්ෂක ධම්මික රාජපක්ෂ :- පැමිණිලි අංශයේ CI අනිල් හම්බවෙලා පැමිණිල්ලක් දාන්න

ප්‍රධාන පොලිස් පරීක්ෂක අනිල් :-මොකක්ද ප්‍රශ්ණය ?

මම :- පැමිණිල්ල තුන්වන වරටත් විස්තර ඇතුව ඉදිරිපත් කලෙමි...

ප්‍රධාන පොලිස් පරීක්ෂක අනිල් :- මේක පංසලේ කඨින පිංකම...ඒකට බලපත්‍ර නිකුත් කරල තියෙන්නේ...ඒගැන මොනවත් කරන්න බෑ. ඔය වගේ කතා කරනවානම්...එයාපෝට් එක වටෙයි...රේල් පාර දිගෙයි ඉන්න මිනිස්සු සද්දෙ ගැන පැමිණිලි කරාම එයාපෝට් එක වහනවද ? රේල් පාරෙ කෝච්චි යන එක නවත්තනවද ? රෑට පිරිත් දාන එක ගමටම ආශීර්වාදයක්...බොදු බැතිගී අහං ඉන්න බැරි අමාරුව මොකක්ද ? අල්ලපු ගෙදර බෆල් වල සද්දෙ වැඩිනම් ඒ වගේ දේවල් අපට නවත්තන්න පුළුවන්...දැන් කඨින පිංකම නවත්තන්න කියලද ඔයා කියන්නේ.

මම:- මට මේ ගැන පැමිණිලි කරන්න ඕනේ...

ප්‍රධාන පොලිස් පරීක්ෂක අනිල් :- හරි මම දැන් හාමුදුරුවොයි දායක සභාවයි මිනිස්සුයි ඔක්කොම මෙතැනට ගෙන්නනවා...ඔයාට ගමෙත් ඉන්න බැරිවෙයි
මම:- ඔය හැමෝගෙන්ම ගුටිකෑවොත් මං මැරෙයි...මං යනවා...

ප්‍රධාන පොලිස් පරීක්ෂක අනිල් :- මේ...මේ...මහත්තයා ඔයාගෙ පදිංචිය වෙනස් කරන්න බලන්න...

මම: ස්තුතියි.




සරත් විමලසුරිය
2021
ජුනි මස පළවූ යථාර්තය සඟරාවේ උපුටා ගැනුමකි


Post a Comment

أحدث أقدم