සරුංගල් කාලයටත් වහිනවද?
සෑම නිවාඩු කාලයක්ම සරුංගල් කාලය ලෙස සැලකීමට අද පුරුදු වූවාට මීට වසර පනහකට හැටකට පමණ පෙර වකවානුවල සරුංගල් කාලය වූයේ පාසල් දූ දරුවන්ගේ අවසාන වාර විභාගයට පසුව උඳුවප් (දෙසැම්බර්) මාසයේදී ලැබෙන දීර්ඝ නිවාඩු සමයයි. ඊට ප්‍රධාන හේතුව වූයේ දෙසැම්බර් මස දෙවන සතියේ පමණ සිට දිවයිනේ විශේෂ යහපත් කාලගුණ සාධක වල බලපෑම ආරම්භ වන නිසයි. එම විශේෂ තත්ත්වයන් නම් අවට වාතාවරනය තරමක් සිසිල් වූවත්, දිවා කාලයේ වැඩි හෝරා ගණනාවක් නිල්වන් අහසින් පිරි යහපත් කාලගුණ තත්ත්වයක් පැවතීමයි.
එදා මා නොදැන සිටියත් අද වන විට දන්නා දෙයක් නම්, සරුංගල් යැවීමට යහපත් වන මෙම කාලගුණ තත්වය වැඩි වශයෙන්ම බලපාන්නේ දිවයිනේ නිරිතදිග කොටසේ ප්‍රදේශ වලට බවයි. ඊට අමතරව ඊසාන දිග මෝසම් සමය (NORTH EAST MONSOON SEASON) ආරම්භ වන සමයේ සිට දිවයින පුරාම පාහේ පහල වායුගෝලීය මට්ටම්වල අනවරත ඊසාන දිග සුළං ප්‍රවාහ හමා යාම සරුංගල් යැවීමට විශාල උපකාරයක් වන බවයි.
කාලගුණික සාධක පිළිබඳව වැඩි දැනුමක් එදා නොතිබුනත් අපිට කිසිම බාධාවකින් තොරව, රිසිසේ සරුංගල් යැවීමට වසරේ අවසන් නිවාඩු කාලයේ හැකිවිය. තවත් විශේෂ වූ දෙයක්නම් ගමේ පුංචි කඩෙන් බනිස්, සීනිබෝල හෝ වඩේ කෑමේ පුරුද්දක් එදා ගම්බද අපිට තිබුණේ නැත. නමුත් එම අඩුපාඩුව මකා ගැනීමේ ලාභදායි ක්‍රමයක් අපි සතුව තිබුණ බවද අමතක නැත.
ශ්‍රී ලංකාව සහ ඒ අවට ප්‍රදේශ වලට ඊසානදිග මෝසම් ලක්ෂණ ආරම්භ වන දෙසැම්බර් මාසය වන විට අප දිවයිනේ බොහෝ ප්‍රදේශවල මහ කන්නයේ ගොයම් බණ්ඩි වැඩෙන බව ඔබ බොහෝ දෙනෙක් දන්නවා ඇත. සරුංගල් ක්‍රීඩාවේ එකල යෙදුන අප බොහෝ විට කැඩී ගිය හෝ හිතාමතා කඩා හැරිය සරුංගල් ගමේ වෙල් යාය සරුසාර ගොයම් ගස් මතට පතිත වීමට ඉඩ හැරියේ තවත් එක් බලාපොරොත්තුවක් හිස තබාගෙනය. එදා ගොයම මීටර් දෙකක් පමණ උස් වූ ගසින් පිරී තිබීම නිසා සරුංගලය අතට ගැනීම සඳහා කුඹුරේ ගමන් කරන අපිව කාටත් නොපෙනේ. එම ගමන අතරවාරයේ බණ්ඩියෙන් පිරී ගොයම් ගස් හතරක් පහක් අතින් පලා එහි බණ්ඩි කරල් ආහාරයට ගැනීමෙන් හිත මෙන්ම බඩද පුරවාගැනීම පුංචි අයගේ පුරුද්දක් විය.
කරුණු මෙසේ වුවත් සරුංගල් කාලය පුරාවටම මෙවන් යහපත් වාතාවරණයක් පැවතුනේ නැත. සමහර දිනවල සරුංගල් කාරයන් අසහනයට පත් කරන තරමට අහස වැහි බර විය. බොහෝවිට සන්ධ්‍යා සමයේ වැසි කඩා හැලුණි. එසේ වන්නේ ඇයි?
දෙසැම්බර් - පෙබරවාරි වකවානුව ශ්‍රී ලංකාවේ ඊසාන දිග මෝසම් ඍතුව වන අතර ඊසාන දිගින් දිවයින වෙත හමා එන සුළං ප්‍රවාහ දිවයින හරහා අරාබි මුහුද සහ ඉන්දියන් සාගරයේ බටහිර සහ දකුණු කොටස් වෙතට හමා යයි. මේ හේතුව නිසා මෙම ඍතුවේ බොහෝ දිනවල යාපනයේ සිට පොතුවිල් දක්වා වූ මුහුදු බඩ ප්‍රදේශ වල සහ උතුරු, ඊසාන දිග, නැගෙනහිර, ඌව යන පළාත් ආවරණය කරන දිවයිනේ ඊසානදිග කොටසේ වැසි සහිතවූ වළාකුලු බර කාලගුණ තත්වයක් පවතී. මේ අතර මධ්‍යම කඳුකර කොටස්වල පිහිටි කඳුකර බාධකයේ බලපෑම නිසා පහළ වායු ගෝලීය ජල වාෂ්ප ප්‍රචාරණයට අවහිරවී දිවයිනේ බස්නාහිරට සහ දකුණු දිසාවට වන ප්‍රදේශ වලට වර්ෂාව ප්‍රචාරණය වීමටද බාධා සිදු වීමෙහි ප්‍රතිඵලය ලෙස දිවයිනේ නිරිතදිග කොටසේ තරමක් යහපත් කාලගුණ තත්වයන් පැවතීමෙන් සරුංගල් යවන්නන්ට සිදුවන්නේ යහපතකි. එසේ වුවද ඉහළ වායුගෝලීය ජල වාෂ්ප ප්‍රචාරණය වීම සහ කඳුකර ආචරණය (OROGRAPHIC EFFECT) නම්වූ ක්‍රියා කලාපය නිසා විශේෂයෙන් සන්ධ්‍යා කාලයේ නිරතදිග කොටස්වලද වැසිබර කාලගුණ තත්වයක් වර්ධනය වීමේ ඉඩකඩ ඇත.
ඊසාන දිග මෝසම් සමයේ කාලගුණය විපරිත වීමට විශේෂ කාලගුණ පද්ධති විශේෂයක බලපෑමද හේතු විය හැකිය. එනම් නැගෙනහිරින් සුළං හමා එන තත්වයන් වල එම සුළං තරංග ස්වරූපයෙන් හමන අවස්ථා, එනම් නැගෙනහිර තරංග (EASTERLY WAVE) වල බලපෑම ඇති අවස්ථාවල එම තරංග වල වාමාවර්තව සුළං කැරකැවෙන නිම්න වල ඉතා ඉහල මට්ටම් දක්වා වලාකුළු වර්ධනයවී තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට ඇද හැලේ.
සාමාන්‍යයෙන් නැගෙනහිර තරංගයක ශිර්ෂ හෝ නිම්න ප්‍රදේශය අප දිවයින පසුකර යාමට දින තුනක් හෝ හතරක් ගත වන නිසා නැගෙනහිර තරංග වර්ෂාව එම කාලය පුරා දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට බලපායි.
අප දිවයිනේ ඊසාන දිග මෝසම් ඍතුවේ සාමාන්‍ය කාලගුණ තත්වය ඉහත සඳහන් කළෙමි. සරුංගල් කාලයක් අපි නිර්මාණය කරගත් නමුත් ස්වභාවික කාලගුණ සාධක වල බලපෑමෙන් වර්ධනය වන ඊසානදිග මෝසම් ඍතුවේ යහපත් කාලගුණය සහිත දිනවලට මෙන්ම වැසි සහිත දිනයන්ට ද මුහුණ දීමට අපට සිදු වේ.
ඊසානදිග මෝසම් කාලගුණ තත්ව පවතින මේ සමයේ අප වෙත ළඟා වන සුලං, බංගලාදේශය, පකිස්ථානය ප්‍රදේශවලදී හෝ රුසියාවේ සයිබීරියා ප්‍රදේශයේදී ආරම්භ වීම සිදුවේ. පාකිස්තාන, බංගලාදේශ භූමි භාග වලින් ආරම්භය ලබා ශ්‍රී ලංකාව හරහා හමා යන සුළං ප්‍රවාහ වැඩි දුර ප්‍රමාණයක් ගෙවා එන්නේ ගොඩබිම් හරහා නිසා, ජල වාෂ්ප වලින් අසන්තෘප්තවී මන්දගාමී වැසි වර්ධනයක් නිරීක්ෂණය කළ හැකිය. අප වෙත ළඟා වන විටත් එම සුළං ධාරා සතු වායු ස්කන්ධ සිසිල් බවින් පිරි නිසා සිසිල් බවින් පිරි යහපත් කාලගුණ තත්වයක් දිවයින පුරාම වර්ධනය වන්නේය. සරුංගල් ඉහළ යැවීමට වඩාත්ම සුදුසුවන්නේ එවන් වාතාවරණ සහිත දිනවල බව පැහැදිලිය.
සයිබීරියා ප්‍රදේශයේදීයි වායුගෝලයට පැනනගින සුළං පැසිෆික් සාගරය (PACIFIC OCEAN) සහ බෙංගාල බොක්ක(BAY OF BENGAL) මුහුදු ප්‍රදේශ මතින් හමා එන අතරමග ජලවාෂ්ප පහසුවෙන් රැස්කර ගැනීම නිසා අප දිවයින ප්‍රදේශයේදී වැසි වර්ධනය කිරීමට ඒ සාධක උපකාර වේ. නැගෙනහිර තරංගවල බලපෑම උපරිම වන්නේද සයිබීරියන් සුළං ප්‍රවාහ ශ්‍රී ලංකාව වෙත ළඟා වන අවධිවලදීය.
මෙම කරුණු විමසා බැලීමේදී වෙනත් කාර්යයන් සංවිධානය කිරීම මෙන්ම සරුංගල් යැවීමේ කටයුතු සංවිධානය කිරීමේදීද ඉදිරි හෝරා වල පැවතිය හැකි කාලගුණ තත්ත්වය පිළිබඳව විමසා බැලීම සරුංගලය වැසිබර කාලගුණයෙන් විනාශවීම වළක්වා ගැනීමට උපකාර වේවි.
කේ.ආර්. අභයසිංහ,
බාහිර කථිකාචාර්ය, විද්‍යා පශ්චාත් උපාධි ආයතනය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය
විශ්‍රාමික කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ



إرسال تعليق