වෛද්‍යවරුන්ට ඩබල් රූල් පොත්

 වෛද්‍යවරුන්ට ඩබල් රූල් පොත්



මා දුන් ඖෂධ වට්ටෝරුව කියවීමට උත්සාහ කළ පාමසියේ වෙළඳ සේවිකාව එය තවත් සේවකයෙකුට පෙන්වූවාය. ඔවුන් දෙදෙනාටම එහි එක් ඖෂධයක් හඳුනාගැනීමට නොහැකි වූයෙන් ගැටලුව ඖෂධවේදියා වෙත යොමු කෙරිණි. ඔහු මගෙන් අසනීපය ගැන තොරතුරු විමසා සිය අනුමානය තහවුරු කරගෙන බෙහෙත් නිකුත් කළේ "මේ ඩොක්ටර්ගෙ අකුරු කියවන්න අමාරුයි!" කියමිනි.

"
දොස්තරලාට ඩබල් රූල් පොත් දෙන්න ඕනෑ" සිද්ධිය බලා සිටි ගනුදෙනුකරුවෙක් කීවේ අප සිනා ගන්වමිනි.

ඖෂධවේදියාගේ අනුමානයේ නිවැරදිකම ගැන මම සෑහීමකට පත් නොවීමි. ඒ නිසා මා හඳුනන සාමන්‍ය වෛද්‍යවරයෙකුටද බෙහෙත් වට්ටෝරුව පෙන්වා ඖෂධයේ නම නැවතත් තහවුරු කර ගතිමි. ඔහුද එය තහවුරු කළේ මගේ අසනීපයත්, බෙහෙත් වට්ටෝරුවේ අනෙකුත් බෙහෙත්වල ගැලපීමත් සැලකිල්ලට ගනිමිනි. නිවැරදි බෙහෙත හඳුනා ගැනීම ගැන මා මෙතරම් උනන්දු වූයේ කලකට පෙර මගේ නෑදෑයෙකුට වැරදි බෙහෙතක් නිකුත් කිරීම නිසා ඇතිවූ අනතුරුදායක තත්ත්වය මා අත්දුටු නිසාය. රෝගියා බේරා ගත්තේ වහාම රෝහල්ගත කිරීමෙනි.

වෛද්‍යවරයාගේ ඖෂධ වට්ටෝරුව පාමසිවලදී තෝරා බේරා ගන්නේ ඖෂධයේ මිලි ග්‍රෑම් ගණන, මාත්‍රාව සහ ඒ සමඟ ඇති අනෙකුත් ඖෂධවල ගැලපීම ආදි කාරණාද සැලකිල්ලට ගනිමිනි. එය මිනී මරන ක්‍රමයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ.

වෛද්‍යවරු තමන්ගේ ඉල්ලීම් දිනාගැනීමට බොහෝ දේවල් කරති. ඒවා අතර වැඩවර්ජන හා උද්ඝෝෂණ සුලබය. එහෙත් රෝගීන්ගේ අයිතීන් වෙනුවෙන් පියවර ගැනීමට මැලිකමක් දක්වති. පැහැදිලි අකුරෙන් බෙහෙත් වට්ටෝරු ලිවීම හෝ මුද්‍රිත වට්ටෝරු පාවිච්චි කිරීමත්, ඖෂධ නාමය පාවිච්චි කිරීමත් සමහර වෛද්‍යවරුන්ට වහ කදුරුය. ඒ සියල්ල පිටුපස ඇත්තේ ව්‍යාපාරික අරමුණු බව රහසක් නොවේ.



දියුණු රටවල පමණක් නොව ඉන්දියාවේද බෙහෙත් වට්ටෝරු ලිවීම සම්බන්ධව රජය මැදිහත්වී තිබේ. වට්ටෝරුවල ඖෂධ නාමය පාවිච්චි කිරීමත්, කැපිටල් අකුරින් හෝ තනි අකුරුවලින් ඖෂධයේ නම ලිවීමත් පිළිබඳව අණපනත් ඉන්දියාවේද සැකසී තිබේ. අප රටේ රෝගීන් වෙනුවෙන් ඉහත කරුණු දෙක සහ තවත් කාරණා ඉටු කර ගැනීම වෙනුවෙන් අඩසියවසකටත් වැඩි කාලයක් පුරාම උද්ඝෝෂණ සහ හඬනැගීම් කෙරෙතත් එය ඉටු වන බවක් පෙනෙන්නට නැත. හිටපු සෞඛ්‍ය ඇමතිවරයකු වූ ජනාධිපතිතුමාගේ සානුකම්පිත අවධානය මේ සඳහා යොමුවිය යුත්තේ රෝගීන් වෙනුවෙනි.


සයිටම් ප්‍රමිතිය සහ හොර වෙදුන්



වෛද්‍යවරුන් සයිටම් විරෝධී අරගල කළේ එම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතියක් නැති බව කියමිනි. ‍ප්‍රමිතියක් නැති වෛද්‍යවරුන්ගෙන් රෝගීන්ට මරණය අත් විය හැකි බව කියා සිටිමින් ඔවුහු දැවැන්ත අරගලයක් කළහ. එහෙත් රට පුරා විසිර සිටින කිසිදු ප්‍රමිතියක් නැති හොර වෙදුන් ගැන ඔවුහු නිහඬ වෙති.

බලධාරීන්ගේත් ඇතැම් ජනමාධ්‍යවලත් අනුග්‍රහය ලබමින් මහා පරිමාණ වශයෙන් ලෙඩුන් සුව කරන මධ්‍යස්ථාන පවත්වාගෙන යන හොර වෙදුන් අප රටේ කාලයෙන් කාලයට ඉස්මතු වේ. වරක් පිළිකා වැනි රෝග සුවකිරීම සඳහා 'එලොවින් ආ ජීවකයෙක්' කොළඹට තදාසන්නව ප්‍රසිද්ධියේම නීති විරෝධී සායනයක් පවත්වාගෙන ගියේය. අද ඔහු ගැන දැනගන්නටවත් නැත.

මේ දිනවල හොරොව්පතාන ප්‍රදේශයේ එක් චීවරධාරියෙක් රෝගීන් සුව කිරීමේ මහා කඳවුරක් පවත්වාගෙන යමින් සිටී. ඔහු කියා සිටින්නේ තමන්ට සත් පත්තිනි දේව වරමක් ලැබී ඇති බවයි. පිළිකා, වකුගඩු රෝග ආදී මාරාන්තික රෝගවලට එහිදී ප්‍රතිකාර කෙරේ. රටපුරා රෝගීහු ප්‍රතිකාර ගැනීමට චීවරධාරියාගේ වාසස්ථානය අවට කූඩාරම් ගසාගෙන මාස ගණන් කල් ගෙවති. චීවරධාරියා වෛද්‍යවරුන්ටත් රජයේ රෝහල්වලටත් නිතර බැන වදී. විටෙක සභ්‍ය සීමාවද ඉක්මවයි. වෛද්‍යවරුන්ද තමාගෙන් ප්‍රතිකාර ලබමින් කූඩාරම්වල සිටින බවට ඔහු නිතර පුරසාරම් දොඩයි. සමහර ජාතික පුවත්පත් ද ඔහුට නොමඳව අනුග්‍රහය ලබා දෙමින් ඔහුගේ මිනීමරන ව්‍යාපාරය වෙනුවෙන් ප්‍රචාරක කටයුතුවල යෙදෙයි.

මෙවැනි හොර වෙදුන්ට එරෙහි ව කිසිවෙක් උද්ඝෝෂණය නොකරති; පෙළපාලි නොයති. පොලිසිය වැටලීම් නොකරයි. එපමණක් නොව ඇතැම් ජාතික පුවත්පත්වලින් නොමිලේම ප්‍රසිද්ධියද ලැබෙයි. අපේ රටේ හොර වෙදුන්ට ඇත්තේ මොන තරම් නිදහසක් ද?

මෙම චීවරධාරියා ඇතුළු රටපුරා සිටින හොර වෙදුන් ගැන රජයේ වෛද්‍ය සංගමය යම් පියවරක් ගන්නේ ද? සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීහු මෙවැනි නීති විරෝධී මධ්‍යස්ථාන ගැන කුමක් කරත් ද?


සැම්සන් ගුණතිලක

 



Post a Comment

أحدث أقدم