අනාගමික රාජ්‍යයක් කරා පියනගමු

 අනාගමික රාජ්‍යයක් කරා පියනගමු




පසුගිය කාලයේ අපේ රටට නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා මහජන අදහස් විමසා තිබුණු අතර අනාගමික ව්‍යවස්ථාවක් පිළිබඳ අදහසද එහිදී සාකච්ඡාවට භාජනය වී තිබිණි.


අනාගමික රාජ්‍යයන්, අනාගමික ව්‍යවස්ථාවන් ආදී පද අප රටේ වැඩිපුර ව්‍යවහාරයට පත් වූයේ මෑතකය. ‘secular’ යන ඉංග්‍රීසි වචනය සිංහලට නැගෙන්නේ 'අනාගමික' ලෙසයි. එය 'නිරාගමික' ලෙසද යෙදී තිබෙනු දැකිය හැකිය. සැලකිය යුතු පිරිසක් මේ වචනවල අර්ථය වටහා ගෙන නැති බව හෝ ඒවා වෙනස් ආකාරයකට වටහා ගෙන ඇති බව පෙනේ. අනාගමික ව්‍යවස්ථාවකට එරෙහිව ප්‍රබල විරෝධයක් මතුවන්නේ එය හරි හැටි තේරුම් නොගත් පිරිසකගෙන් බව සිතමි.

අනාගමික රාජ්‍යයක් තුළ ආගම රජයෙන් වෙන් කෙරෙයි. මන්ද ආගම පෞද්ගලික දෙයක් වන අතර රජය පොදු දෙයක් වන බැවිනි. ඒනිසා රජයට නිල ආගමක් නැත. රජය සියලුම ආගම්වලට සමානව සලකයි. රටවැසියාට තම ආගම කුමක් වුවත් නීතිය එක හා සමානව බලපායි. තමා කැමති ආකාරයට ආගමක් ඇදහීමේ හෝ නොඇදහීමේ නිදහස, අලුතෙන් ආගමක් වැළඳ ගැනීමේ නිදහස, ආගම්වලට හරවා ගැනීමේ නිදහස ආදියද ඊට අයත්ය. ආගමකට රජයේ වැඩකටයුතුවලට මැදිහත්වීමට හෝ ඇඟිලි ගැසීමට අයිතියක් නැත. නමුත් පොදු සමාජයේ යහපත වෙනුවෙන් ඕනෑම ආගමක කටයුතුවලට මැදිහත්වීමට රජයට හැකිය. ඒ විනා කිසිදු ආගමක් පෝෂණය කිරීමට රජය බැඳී නොසිටියි.


අපේ අසල්වැසි ඉන්දියාව ද අනාගමික රාජ්‍යයකි. නිදහස දිනා ගෙන නව දේශීය රජයක් පිහිටුවීමේදී දුරදිග කල්පනා කළ ජවහර්ලාල් නේරුතුමා ව්‍යවස්ථාවෙන්ම ආගම රජයෙන් වෙන් කළේය. ප්‍රතිශතයක් ලෙස ලොව ඉහළම හින්දු බහුතරය සිටින නේපාලයේ ද ව්‍යවස්ථාව, රජය හා ආගම වෙන්කොට එය අනාගමික රාජ්‍යයක් බවට පත් කර තිබේ. බෞද්ධ රටක් වූ ජපානයද පැහැදිලිවම ආගම රජයෙන් වෙන් කළේය. යුරෝපයේ රටවල් සියල්ලම වාගේ අනාගමික වන අතර ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, කැනඩාව ඇතුළු තවත් බොහෝ රටවල් ව්‍යවස්ථාවෙන්ම රජයෙන් ආගම වෙන්කළ අනාගමික රාජ්‍යයන්ය. සෑම ආගමකටම මෙන්ම සෑම පුද්ගලයෙකුටම නීතියෙන් සමානව සැලකිය හැක්කේ අනාගමික රජයක් තුළදීය. ලොව බොහෝ දියුණු රටවල් නිවැරදි මග තෝරා ගනිද්දී ලංකාවේ අප කර ඇත්තේ කුමක්ද?

1972 ව්‍යවස්ථාවෙන් එක් ආගමක් රාජ්‍යාගම කර ඊට ප්‍රමුඛත්වය ලබාදීමයි. එතැනින්ම සෑම පුරවැසියාටම එක සමානව සැලකිය යුතුය යන්න නීතියෙන්ම බිඳ වැටෙයි. එහි අතුරු ප්‍රතිඵල වනුයේ ආගම් අතර, ජාතීන් අතර සංහිඳියාව පළුදු වීමයි. රටක දියුණුවේ ප්‍රධාන බාධකය ද එයයි. ආගමික අන්තවාදීන්ට අවශ්‍ය වන්නේ ද එයයි.

අප රටේ සිදුවන සිද්ධීන් දෙස බලන විට බැලූ බැල්මටම පෙනී යන්නේ අප රට ආගමික රාජ්‍යයක් කරා ගමන් කරමින් සිටින බවකි. මෑතම සිද්ධිය ලෙස ඥානසාර සිද්ධිය සලකා බලමු. ප්‍රසිද්ධියේම ඔහු රටේ නීතිය අතික්‍රමණය කළේය. උසාවි භූමියේ සිටම උසාවියට අපහාස කළේය. එමතු නොව ඔහුගේ පූජක පිරිවර කියා සිටියේ සංඝයා වහන්සේ කෙනෙකුට දඬුවම් දිය හැක්කේ සංඝාධිකරණයකින් පමණක් බවයි. එයින් කියන්නේ රජයේ නීතියට වඩා ආගමේ නීති ඉහළින් සිටින බවයි. ලංකාවේ තවමත් අපට ඇත්තේ නිරාගමික නීති පද්ධතියකි. එය වනසා දමා ආගමික නීති ඉහළින් තැබීමටත් ඒ අනුව ලංකාව ආගමික රටක් බවට පත්කිරීමටත් ඔවුන්ගේ උත්සාහයයි.

ආගමික රටක පුද්ගල නිදහසට, ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වන තර්ජන බොහෝ අය නොදන්නවා විය නොහැකිය. බොහෝ අරාබි රටවල 'වැරදි කළ' කාන්තාවන්ට ගල් ගසා මරා දැමීම හොඳ දෙයකි; බෙලි කපා දැමීම හොඳ දෙයකි. දෙවන ලෝක යුද්ධයේදී හිට්ලර්ගේ කුරිරු පාලනයට කොන්දේසි විරහිත සහය පළ කළේ කතෝලික ආගමයි. කීර්තිමත් ජනමාධ්‍යකරුවකු වන ජෝන් කෝන්වෙල් විසින් ලියන ලද 'හිට්ලර්ගේ පාප්' කෘතියෙන් දෙවන ලෝක යුද්ධයේදී හිට්ලර්ගේ කුරිරු පාලනයට දොළොස්වන පියුස් පාප්තුමා දුන් රහසිගත සහයෝගය ගැන හෙළිවේ. ආගම්වල කෲරත්වය එවැනිය. මානව ඉතිහාසයේ බොහෝ සටන් පැවතියේද, ලේ හැලීම් සිදුවූයේද ආගමේ නාමයෙනි.

බුද්ධාගමට ප්‍රමුඛත්වය දිය යුතු බව පවසමින් කෑමොර දෙන කිසිවෙකු බුද්ධ දර්ශනයට මුල් තැන දිය යුතු බව කියන්නේ නැත. ඔවුන් තුළ ඊට කැමැත්තක්ද නැත. මන්ද, එසේ කළහොත් සියලු දෙනාටම සමානත්වය, ජාතීන් අතර සංහිඳියාව නිතැතින්ම ලැබෙන බැවිනි; ප්‍රකාශනයේ නිදහසට, ‍ප්‍රජාතන්ත්‍රවාදයට නිතැතින්ම දොරගුළු විවෘත වන බැවිනි.

සැම්සන් ගුණතිලක



Post a Comment

Previous Post Next Post