රාවණා දඬුමොනරයෙන් ගියාද?

 රාවණා දඬුමොනරයෙන් ගියාද?



මිනිසුන් තමන් අයත් සමාජ කුලකයේ යම් යම් අය විසින් කරන ලද හපන්කම් පිළිබඳව අන් අය සමග පුරසාරම් කතා කියන්නට ප්‍රිය කරයි.

මීට අසාමාන්‍ය ලෙස ආසක්ත වූ අය ‘අතේ පැලවෙන බොරු ගොතා’ එය අවිඥානිකව තමන් විසින්ම විශ්වාස කරන තත්ත්වයන්ද නිරීක්ෂණය කල හැකිය.

අප කුඩා කාලයේ විවිධ මායා කථා වලට, සුරංගනා කථා වලට, ප්‍රාතිහාර්ය වලට ආසා කළෙමු. එහෙත් ඒ කථා වැඩිහිටි ලෝකය මායාවේ හා මිත්‍යාවේ හෙලන්නට ඉවහල් නොවේ.

එහෙත් වැඩිහිටිවූ පසුව, පදනම් සාධක නොමැතිව හා සාමාන්‍ය විචාර බුද්ධිය (Common Sense) මත ප්‍රත්‍යක්ෂ ලෙසම විය නොහැකි, ප්‍රබන්ධ හා මායාමය දේවල් ඇත්ත සේ භාර ගනී නම් එය යම් කිසි මානසික ගැටලුවකි; සමාජ මනෝවිද්‍යාත්මක ගැටලුවකි.

අපේ රටේ එක්තරා කොටසක් රාවනා සහ දඬුමොණරය පිලිබඳ පුරාවෘතය මෙලෙස ඇත්තක් ලෙස විශ්වාස කරයි.

ගුවන් යානයක් ක්‍රියාත්මක වන ආකාරය පිළිබද යාන්ත්‍ර විද්‍යාත්මක, වායු-ගති විද්‍යාත්මක පසුබිමක්/අවබෝධයක් නොමැති අයෙකු මෙවන් විශ්වාසයක පහසු ගොදුරක් විය හැකිය. එවිට ඔවුනට, අද්භූත බලයකින් මෙන් ගුවන්යානා පිලිබඳ තාක්ෂණය යම්කිසිවෙකුගේ පරිකල්පනයට ඕපපාතිකව ප්‍රාදූර්භූතවී ඒ අනුව දඬුමොණරය නිර්මාණය වුනි යැයි යන ෆැන්ටසියක් තනා ගත හැකිය.

ලෝකයේ එවැනි කිසිම දැනුමක් හා තාක්ෂණයක්ම ඕපපාතිකව පහළවී නැත; එවැනි දැනුමක් හා තාක්ෂණයක් ක්‍රමානුකූලව බිහිවීමට හා ස්ථාපිත වීමට අදාළ ‘ඉතිහාසයක්’ ඇත; ප්‍රාථමික උත්සාහයන්, අසාර්ථක වීම්, වැඩිදියුණු කිරීම් වල දීර්ඝ ඉතිහාසයක් තිබෙනු ඇත. උදාහරණයක් ලෙස මීට අවුරුදු 4500 කට පමණ එපිට කුඹල් කරුවන් විසින් පැතලි අතට භාවිත කල රවුම් හැඩය, සිරස් අතට රෝදය ලෙස භාවිත කල හැකි බව උගෙන ගැනීමට අතීතයේ මිනිසාට අවුරුදු 500 ක් ගතවිය. අතීතයේ දැනුම් වර්ධනය වුයේ එතරම් සෙමිනි.

අතීතයේ අහම්බෙන් බිහිවී අහම්බෙන් අතුරුදහන්වූ දැනුම් පද්ධති නොමැති තරම්ය.

අපි, මානව පරිනාමයේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක පරිණාමයට අදාළ කථාව හා ඉතිහාසය ගොඩනගා ඇත්තේ අප විසින් සොයාගනු ලබන පුරා විද්‍යාත්මක සාක්ෂි/සාධක මත හිඳිමිනි. අතීතයේ විසු මිනිස් ප්‍රබේධ වල මානව ඇටසැකිලි විසින් ඒ කථාව විද්‍යාත්මකව පෙළගස්වා ඇත.

ගුවන් යානාවක් පිලිබඳ කතාවටද එවැනි ඉතිහාසයක් ඇත.

අතීතයේ එවන් දඬුමොනරයක් නිර්මාණය කලේ නම්, අවසන් සාර්ථක නිර්මාණයට පෙරාතුව කරන ලද අත්හදාබැලීම්/අසාර්ථකවීම් පිලිබඳ පුරාවිද්‍යාත්මක සාක්ෂි අපට තිබිය යුතුය. අපේ ඉතිහාසය පිලිබඳ විමර්ශනයේදී ඊට වඩා කුඩා දේවල් නිර්මාණය කිරීම් වලට අදාළ එවැනි අත්හදාබැලීම්/අසාර්ථකවීම් පිලිබඳ නෂ්ඨාවශේෂ/නටඹුන් පිලිබඳ සාක්ෂි සොයාගත හැකිව ඇත.

ඉතා සරල ලෙසින් ගත්විට ගුවන් යානාවක් ගුවන්ගත වීමට හා යම් ගමනාන්තයක් කරා නිවැරදිව, නිරුපද්‍රිතව ලඟා වීමට අවශ්‍ය තාක්ෂණය හා දැනුම තව කෙනෙකු හට පැහැදිලි කරදිය හැකිය.

ගුවන් යානයක් පොළොවෙන් තම ඉපිලීම (Take off) ලබා ගැනීමට අවශ්‍ය ගම්‍යතාවය හා ශක්තිය ලබා ගන්නේ එන්ජිම මගින් ඉන්දන දහනයෙන් ලබා ගන්නා ශක්තියෙන් (තල්ලුවෙන්) ය. ගුවනේදී ඊට අමතරව අවශ්‍යවන (පොළොවට නොවැටී) පාවීම සඳහා වන උඩුකුරු තෙරපුම් බලය/ශක්තිය ලබා ගන්නේ තම වේගවත් ගමනේදී යානයේ තටු මත ඇතිවන උඩුකුරු තෙරපුම් බලය තුලිනි. වේගයෙන් වාතය තුල ගමන් කිරීමේදී ගුවන් යානයේ තටු මත (තටු දෙකෙහි යටි පැත්තෙන්) උඩුකුරු තෙරපුමක් ඇතිවන්නේ තටුවල උඩ පැත්තෙන් ඇති පිම්බුණු හැඩය නිසාය. යටි පැත්තේ පැතලි හැඩය නිසා හා උඩ පැත්තේ පිම්බුණු හැඩය නිසා වාතය තුලින් මේ තටු වේගයෙන් ගමන් කිරීමේදී තටු වල උඩ වායු පීඩනය අඩුවී හා විලෝම ලෙස යටි පැත්තේ වායු පීඩනය වැඩිවී මේ උඩුකුරු තෙරපුම යානයට ලබාදේ.

හෙලිකොප්ටරය එම උඩුකුරු තෙරපුම ලබා ගන්නේ බමන තටු මගිනි.

නූතන නිපයුම් වලට එවැනි පරිනාමීය ‘ඉතිහාසයක්’ ඇත.

ඉතිහාසයක්’ නොමැති ප්‍රාතිහාර්යයන් යනු දෙවියන් වහන්සේ සියල්ල මැව්වා වැනි විශ්වාසයකි.


මේ තාක්ෂණයට එපිටින් රාවනා රජු විසින් යම් අහස් යානයක් තැනුවේ නම් ඒ නිපැයුමට අදාළ ඉතිහාසය පෙළගැස්විය හැකිවිය යුතුය. රාවනා රජු විසින් එවන් යානාවක් පිලිබඳ සිහින මැව්වා නම් එය ඉදිරිගාමී කල්පනාවකි. එවන් ප්‍රයත්නයකට උත්සාහ දරුවේනම් එය නිර්මාණශීලී පියවරකි. එහෙත් අප සතු ඓතිහාසික සාක්ෂි අනුව ඒ සිතුවිල්ල සාර්ථක වී යැයි නිගමනය කිරීමට කරුණු නැත.


තාරක වරාපිටිය

Post a Comment

أحدث أقدم