මෙන්න අර පොතේ රඟ
මට හය හතර තේරෙන කාලෙ තාත්තා මාව අරං
ගියා උසාවියක් පෙන්නන්න. අපි ගිය බස් එක උසාවිය ලඟ නවත්තනකොට කොන්දොස්තර මාමා
කෑගැහුවා, "ඇත්ත කියන
මාළිගාවෙන් බහින්න" කියලා. මම තාත්තාගෙන් ඇහුවම ඇයි එහෙම කිව්වේ කියලා තාත්තා
කිව්වා,"ඒ මාමා
විහිළු කාරයෙක් පුතේ, මෙතන හරියට බොරු කියනවනේ" කියලා.
උසාවිය ඇතුලේ බංකුවක වාඩිවෙලා බලං ඉන්න කොට, මම දැක්කා සමහර අය
පොතක් උඩ අත තියලා පොරොන්දු වෙනවා ඇත්තම කියනවා කියලා. මම තාත්තාගෙන් ඇහුවම මොකක්ද
ඒ පොත කියලා තාත්තා කිව්වා ඒක ශුද්ධ වු පොතක්, අපේ ගෙදරත් තියනවා එකක්, පුතාට දැන් හොඳට
අකුරු පුළුවන් හින්දා ඒක කියවන්න කියලා.
මං ඉතිං ගෙදර ඇවිල්ලා සැරින් සැරේ මේ ලොකු පොත
කියවන්න ගත්තා. මම දැන් ඔගොල්ලන්ට කියන්න යන්නේ ඒ පොතේ පළමුවෙනිම පරිච්ජේදයේ තියන
කතාව මට තේරුණ විදියටයි.
ඒක පටන්ගන්නේ පටන් ගැන්මෙන්මලූ - ඒක හොඳයි. ඒ
කියන්නේ දෙවියො ලෝකෙත් එහි අඩංගු සියළු දේත් මැවු හැටි. නමුත් එතැන හිඩැසක් තියනවා
කියලා මට දැනුනා. දෙවියො ලෝකෙ මවන්න ඉස්සර කොහොද හිටියෙ, මොකද කලේ ? උත්තරයක් නැහැ.
එකාකාරි ජීවිතයක් නිසා කාන්සියක් දැනෙන්න ඇති. නිකන්ම ඉන්නේ නැතුව, මොන මොන දේවල් හරි
මවලා, කචල් එකක් ඇති
කරලා, පොඩි ත‍්‍රිලක්
ගන්න හිතක් පහළ වෙන්න ඇති.
මොක උනත් ඔන්න දෙවියො ඩිං ගාලා ලෝකයක් මැව්වා. කඳු
මිටියාවත්, ගහ කොළ, සතා සිව්පාවා, ඔක්කෝම මැජික් වගේ
මැව්වා. ඊට පස්සේ දෙවියන්ට හිතුනා මෙතන ලස්සන උද්‍යානයක් තිබුනොත් හොඳයි කියලා.
ඔයාට මට වගේ නෙවේ, දෙවියන්ට හිතුන සැනෙන්ම ඒවා ඇති වෙනවා. මේ උයන තිබුණේ කොහේද
කියලා නිමිත්තක්වත් ඒ පොතේ නැහැ. හැබෑයි ඔයගොල්ලොන්ට ඒ ගැන පොඩි හෝඩුවාවක්
දෙන්නම්. කාගෙන් හරි අහලා දැනගන්නකෝ සමනළ කන්දට ඉංග‍්‍රිසියෙන් කියන්නේ මොකක්ද
කියලා. ඔන්න ඒ ප‍්‍රශ්නෙත් විසඳුනා.
ඔන්න දෑං ලස්සන උයනකුත් තියෙනවා. ඊට පස්සේ දෙවියො
හිතුවා මේ උයනේ ඉන්නට මිනිහෙක් මවන්න ඕනැ කියලා. දුවිලි ටිකක් අරගෙන ඒකට දේව හුස්ම
ටිකක් පිම්බම මිනිහෙක් ඇති වුනා. අන්න පළමුවෙනි මිනිහා ඇති වුනු හැටි, තේරුණාද? දැන් මේ මනුස්සයට
කිසිම ඉවක් බවක් නෑ, ළමා කාලයක් මතකයක් නෑ, "මම කවුද? ඔයා කවුද? මම කොහොමද මෙතෙන්ට ආවේ?" එවැනි
කිසි ප‍්‍රශ්නයක් අහන්නේ නැහැ. ඔහේ ජොලියේ උයනට වෙලා ඉන්නවා. උඩ ඉදන් දෙවියො බලලා
හිතනවා මෙකේ කිසි ත‍්‍රිලක් නෑනේ, මිනිහා ෂෝක් එකට ඉන්නවනේ. මං එකට වැඩක් දෙන්නංකො, මං ගෑණියෙක් මවනවා, එහෙම හිතලා දෙවියො
රෑට ඇවිල්ලා කිසි ඉල්ලිමක් නොකර මිනිහාගේ ඉල ඇටයක් හොරකං කරලා ඒකෙන් ගෑණියෙක්
මවනවා. දෑං පළවෙනි ගෑනි ඇතිවුණ හැටිත් ඔයගොල්ලෝ දන්නවා නේද?
බලාගෙන යනකොට මේ පොතේ හැටියට නං ඔය ඉස්කොලෙ විද්‍යා
ගුරුවරු කියන විදියට නෙමි දේවල් වෙලා තියෙන්නේ ! චාල්ස් ඩාවින් වගේ විද්‍යාඥයෝ
කියන කට්ටිය රෑ දවල් බලන් නැතුව දේසාන්තරවල ගිහිල්ලා කැණීම් කරල සාදක හොයාගෙන ඒවා
ගැන පර්යේෂණ කරලා අපි ඇති උනේ පරිනාමෙන් කියලා සනාථ කරනවා. ඊට වැඩිය ලේසිනේ ඒ
ඇත්තෝ ගෙදර ඉඳගෙන පුටුවක වාඩිවෙලා මේ පොත කියෙව්වනං. මේකෙන් වෙන්නේ විද්‍යා පංතියේ
එක දේකුත් ආගම් පංතියේ ඊට සම්පුර්ණ වෙනත් දේකුත් කියලා හැමෝම නන්නත්තාර කරන එකයි.
මොක වුනත් දැන් පොතේ කතන්දරේ හැටියට උදේ මිනිහා
නැගිටිනකොට ඔන්න එතන තවත් කෙනෙක් ඉන්නවා. ඇත්තටම මේ මිනිහට නං කිසිම ඉවක් බවක්
කුතුහලයක් නෑ, "උඹ කවුද? ,කොහෙන්ද ආවේ? , මොකද මට වඩා වෙනස්? , උබේ පපුව ඉදිමිලා වගේ මොකද?." ඒ මුකුත්
නැහැ. ඔහේ උයනේ ඇවිද ඇවිද ඉන්නවා.
දෙවියෝ බලලා හිතනවා, ”කෝ ඒ කරලත් කිසි
ගැටළුවක් නෑනේ. එතකොට ත‍්‍රිලක් නෑනේ. මම ගිහිල්ලා පොඩි රණ්ඩුවක් සෙට් කරන්නම්කෝ”
එහෙම හිතලා දෙවියො ඇවිත් ගැනිට කියනවා ”මේ උයනේ ඕනෑම පළතුරක් කන්න, හැබැයි එක ගහක
ගෙඩි ඇරෙන්න”. මොන ගහේද කියලා ඇහුවම, ”අන්න අර ඇපල් ගහේ ගෙඩි කෑවොත් උඹ
මැරෙනවා” කියලා ගහත් පෙන්නනවා. පෙන්නලා හීන් සැරේ බලං ඉන්නවා මොකද වෙන්නෙ කියලා.
දැන් අපි ඉන්න ශිෂ්ඨ සමාජේ මේකට කියන්නේ වරදකට පෙළඹවීම කියලනේ. ඒක නීතියෙන්
තහනම්නේ. හැබැයි දෙවියෝ ඉන්නේ නීතියට ඉහළින්ලූ. ඒ නිසා ප‍්‍රශ්නයක් නැහැ.
ඔන්න දැන් කුතුහලේටම ගෑණි යනවා ගහ ගාවට. ඔතෙන්ට එනවා
දෙවියන්ගේ විරුද්ධවාදීයා, යක්‍ෂයා. සාතන් කියලත් කියනවා. දැන් සියල්ල මැව්වෙ දෙවියෝ නම්
සාතන් මවන්න ඇත්තෙත් දෙවියොමනේ. දෙවියො කරුණාවන්ත නම් සාතන් වගේ අය ඇති වෙන්න
සැලැස්සුවේ ඇයි කියා කෙනෙකුට අහන්න පූලූවන්. අනිත් අතට සාතන් නොහිටින්න මේ වැඩේ
කෙරන්නෙත් නෑනෙ. සාතන් ගහ ගාවට එන්නෙ නයෙකුගෙ වෙස් අරගෙන. ඌ කතා කරන නයෙක් ! මම නං
නයෙක් දැක්කොත් දුවනවා. ඌ කතා කරන්න ගත්තොත් මගේ කලිසමත් තෙමෙයි ! හැබෑයි මේ නයා
ගෑනිත් එක්ක චැට් එකක් දානවා. නයා කියනවා,"ඔය දෙවියො කියන්නේ බොරු, උඹ ඔය ඇපල්
ගෙඩියක් කෑවට මැරෙන්නේ නෑ. ඕක හරි රසයි, කාලා මිනිහාටත් දිපං" කියලා. ඔන්න
ගෑනි කාලා මිනිහටත් දුන්නා.
දෙවියො මේක බලාගෙන හිටියා, මැදහත් උනේ නැහැ.
ගෑනිට අවවාද කළේ නෑ නයෙක් ඇවිල්ලා කතා කළෝත් ඌව පන්නපං කියලා. නයා ආපු වෙලෙත් තමාම
මවපු අසරණ ගෑණිව බේරගත්තේ නෑ. හරියට යකයි දෙවියොයි හවුල්වෙලා කරපු කුරුමානමක්
වගෙයි මට දැනුනේ.
ඔන්න පළවෙනි පාපේ ඇතිවුනු හැටිත් ඔයාලා දැං දන්නවා.
ඕකට තමයි ‘ජන්ම පාපය’ කියන්නේ. එදා ඉදන් අද වෙනකං ඉපදෙන සෑම මනුස්ස දරුවෙක්ම මේ
පාපෙත් එක්කයි උපදින්නේ. ඒක සෝදා අරින්න පල්ලියට ගිහිල්ලා ‘බෞතිස්ම’ වෙන්න ඕනෑ.
එහෙම නූන අයට ස්වර්ගයට යන්න බෑ. ඒක වෙනම කතාවක්.
ඉතින් සෙට් කරපු වැඬේ වුනාට පස්සේ දෙවියො ඇවිල්ලා
ඔක්කොටම දඩුවම් කරනවා. එදා ඉඳන් තමයි ‘මරණය’ කියන එකත් පටන් ගන්නේ. ඔන්න එකත්
ඔයගොල්ලො දැන් දන්නවා. මිනිහාට දෙන දඩුවම තමයි එයා දහඩිය මහන්සියෙන් කණ බොන අඳින
දේ හොයාගන්න ඕන. ගෑනිගේ දඩුවම වේදනාවෙන් හඩා වැළපිමෙන් දරුවෝ ප්‍රසූත කරන්න ඕනැ.
නයාට දුන්න දඩුවම මාරයි ! ඌට කියනවා ‘‘සදාකල්හිම උඹ බඩගාගෙන යන්න ඕනෑ’’ කියලා. ඒක
දඩුවමක් යැයි! ඌ කවදත් කලේ ඒකනේ. ඌට හිනායන්නත් ඇති. කාගෙන්ද ඉතින් ඕවා අහන්නේ.
මොක උනත් ඒ පොතේ පළවෙනි පරිච්චේදයට අනුව මේ අන්ජබජං
වෙච්ච ගෑනිවයි මිනිහවයි උයනෙන් පැන්නුවා. සියලූ ලෙඩ රෝග, වසංගත, මරණ වැනි සකළ දුක්
දොම්නස් වලට උල්පත වුනේ ගැනියෙක් ඇපල් ගෙඩියක් කාපු නිසයිලූ !
ඔය ඇති. මීට වැඩිය කිව්වොත් අපි දෙගොල්ලොම මඤ්ඤං
වෙනවා.
ඔන්න උසාවි ගිහිල්ලා ඇත්ත කියනවා කියලා අත ගහලා
පොරොන්දු වෙන පොතේ තියන ඇත්ත !
ආර්. ප්‍රනාන්දු

إرسال تعليق