ආචාර්ය ජුනයිඩ් හෆීස් !
දේව අපහාස
චෝදනාව මත, 33 හැවිරිදි සරසවි ඇදුරෙකු වන ආචාර්ය ජුනයිඩ් හෆීස් හට පාකිස්තාන
බන්ධනාගාර අධිකරණයක් විසින් මරණීය දණ්ඩනය නියමකොට ඇත.
දැඩි ආගමික බලපෑම් සහිත රාජ්‍යයක් වන පාකිස්තානයේ ව්‍යවස්ථා
නීති අනුව ආගමික අපහාසය යන්න බරපතල වරදක් කොට සලකයි. ආචාර්ය ජුනයිඩ් හෆීස් හට
මෙවන් බරපතල දඬුවමක් නියමවී ඇත්තේ ඒ අනුවයි.
යම්කිසිවෙක් පාකිස්ථානය වැනි නිදහස් අදහස් නො-ඉවසන
‘අවදානම්’ සහගත ආගමික සමාජයක ප්‍රකෝපකාරී හා උසිගැන්වීමකට තුඩුදිය හැකි ප්‍රකාශයක්
සිදුකරයි නම් ප්‍රතිපලය භයානකය. එහෙත් ආචාර්ය ජුනයිඩ් හෆීස්ගේ වෘත්තීය මට්ටම
පිළිබඳව සලකා බලනවිට ඔහු ඉන් ඇතිවියහැකි ප්‍රතිවිපාක කෙරෙහි ඇති නොසැලකිල්ලෙන් කල
දෙයකැයි අනුමාන කල නොහැකිය. ආචාර්ය ජුනයිඩ් හෆීස් වැනි ශාස්ත්‍රීය විනයක් ඇතැයි
අපේක්ෂා කළහැකි අයෙකු පවා, ආගමික විශ්වාසයක් අරබයා හෝ පවතින අන්ධ භක්තිය අරබයා හෝ යම්
අදහසක්/විග්‍රහයක් ඉදිරිපත් කිරීම හේතුවෙන් මෙවන් විපතකට ගොදුරු වීම පාකිස්ථානය
වැනි සමාජවල පවතින යථාර්ථයයි; එය පාකිස්තානයේ අනාගතය පිලිබඳ අඳුරු සඥාවකි. යම් ප්‍රගතිශීලී
මාවතකට පිවිස සිටින එරට අගමැති ඉම්රාන් ඛාන් හට මුහුණ දීමට ඇති අභියෝගය එයයි.
නූතන දියුණු ලෝකය තුල නම් සමාජය කෙරෙහි වන ආගමික
බලපෑම ක්‍රමයෙන් අහෝසිවී යමින් ඇත. එහෙත් පසුගාමී සමාජවලට තවම එය විලංගුවකි.
ඉන්දියාවෙන් වෙන්වී පාකිස්ථානය නිර්මාණය කල අලි
ජින්නා පවා අනාගමික ජීවන පිළිවෙතක් පවත්වාගෙන ගිය අයෙකි. කෙසේමුත් ආරම්භයේදී යම්
ලිබරල් සමාජ මට්ටමක් තුල පැවතුනු පාකිස්ථානය, ආගමික රාජ්‍යයක් කරා වෙනස් කිරීමේ මාවතකට
හෙලනු ලැබුවේ, හමුදා
කුමන්ත්‍රණයකින් රටේ බලය අත්පත් කොටගෙන එවකට සිටි රාජ්‍ය නායකයා වූ අලි භූතෝ එල්ලා
මරාදැමූ සියා උල්-හක් විසිනි.
මීට කලකට පෙර, මුස්ලිම්-කතෝලිකයෙකු වූ පන්ජාබ් ප්‍රාන්ත
ආණ්ඩුකාරවරයා තලේබාන් ත්‍රස්තයින් විසින් මරාදමනු ලැබුවේය. ඔවුන්ගේ ඉලක්කය එරට
මුස්ලිම් ආගමිකයින්ගෙන් පමණක් යුත් රටක් බවට පත්කිරීමයි. පාකිස්තානයේ යම් පමණකට
ජනවිවිධත්වයක් හා සමාජ මිශ්‍රණයක් පවතින පාකිස්තාන්-පන්ජාබ් ප්‍රාන්තය යනු සාපේක්ෂ
සංවර්ධනයක් තිබුණු ප්‍රාන්තයයි. ඝාතනය කෙරුණු ආණ්ඩුකාරවරයා තලේබාන් ආගමික ත්‍රස්තවාදයට
එරෙහිව සෘජුව කටයුතු කල අයෙකි. ආගමික උන්මත්තක භාවයට එරෙහිව තදින් ක්‍රියාත්මක
වීමට පසුබට එරට දේශපාලන තන්ත්‍රය එහිදීද මේ භාතනයට එරෙහිව බලවත් අධිෂ්ඨානයකින් යුතුව
කටයුතු නොකළේය. ඒ අයුරින්ම බෙනාසීර් භූතෝද ඝාතනය කරමින් තත්ත්වය තවත් තීව්‍ර කරන
ලදී.
කෙසේමුත් පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය යනු එරට තිබෙන
අඳුරු සෙවනැලි අතර ඇති රිදී රේඛාවක් වැනි ආයතනයකි. බලවත් දේශපාලන නායකයින්ට හා ඉහල
හමුදා නිලධාරීන්ට එරෙහිව පවා නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවූ කීර්තිමත්
ඉතිහාසයක් ඊට ඇති නිසා එය එරට තුල බලවත් ආයතනයක් ලෙසින් ස්ථාපිතව ඇත. ඒ අයුරින්ම
එරට අන්තවාදී මුස්ලිම් මුල්ලාවරුන්ගේ වෛරයට හේතුවූ තීන්දු පවා ශ්‍රේෂ්ඨාධිකරණය
විසින් ලබාදී ඇත.
කෙසේමුත් අධිකරණය යනු නීති පනවන ආයතනය නොවේ. රටක
නීති පනවන්නේ පාර්ලිමේන්තුව හෙවත් ව්‍යවස්ථාදායකය විසිනි. අධිකරණයේ කාර්යභාරය එසේ
පැනවූ නීති අර්ථ දක්වමින් නඩු පසිඳලීමයි. පාකිස්ථානය තුල ක්‍රියාත්මක ආගමික බලයේ
ප්‍රතිපලයක්වූ (ව්‍යවස්ථාවේ ඇති) මානව නිදහස සීමා කිරීමේ රෙගුලාසි හේතුවෙන් එරට
සිටින බුද්ධිමතුන්ට හා නිවහල් චින්තකයින්ට මෙවන් විපත් වලට මුහුණ පෑමට සිදුව ඇත.
උක්ත විශ්ව විද්‍යාල ආචාර්යවරයාගේ පාර්ශවය වෙනුවෙන්
පෙනීසිටි පළමු නීතිඥයා 2014 වසරේදී ත්‍රස්ත කල්ලියක් විසින් ඝාතනය කරන ලදී; එමෙන්ම ඔහු
බන්ධනාගාර ගතව සිටි අවස්ථාවේ වෙනත් සිරකරුවන් මේ ආචාර්යවරයාට අඩම්තේට්ටම් කරනු
ලැබීම නිසා ඔහුට හුදෙකලා සිරකුටියක සිටින්නටද සිදුවිය.
මුස්ලිම් අන්තවාදයේ ගොදුරක් බවට අද එරට දේශපාලන
සමාජය පත්ව ඇත. එකී සන්දර්භය තුල ආචාර්ය ජුනයිඩ්ගේ අවසන් ඉරණම පිළිබඳව අපේක්ෂාවක්
රඳවාගත හැකි එකම කෙම්බිම එරට ශ්‍රේෂ්ඨාධිකරණයයි. ඉදිරිපත් කිරීමට නියමිත අභියාචනය
අරබයා බලවත් නීතිමය වටපිටාවක් නිර්මාණය වුවහොත් අධිකරණයෙන් සමාවක් ලබාගෙන රටින්
බැහැරව ගොස් අඩුතරමින් ඔහුට ජීවිතය බේරාගැනීමට විදේශ රැකවරණයක් අපේක්ෂා කලහැකිය.
පුනරුද යුගයට පෙරාතුව, එවකට දේව නිර්මාණවාදය වැනි විශ්වාසයන් හා
ආගමික ඉගැන්වීම් ප්‍රශ්න කල බුද්ධිමතුන් අරබයා යුරෝපයේ පැවතුනේද මෙවන් විපත්තිදායක
පරිසරයකි. එහෙත් දැනුම වේගයෙන් අත්පත් කරගත් ශිෂ්ඨාචාර වර්ධනය තුල අන්ධ විශ්වාස
බිඳවැටී කතෝලික පල්ලියේ ආගමික උසාවියේ බලය වාෂ්පවී ගියේය; මිනිස් ශිෂ්ඨාචාරය
ඒ දඬු අඬුවෙන් නිදහස ලැබී සමාජ සංවර්ධනයේ මාවත කරා එළැඹුණි.
බංග්ලාදේශය අද මේ කලාපයේ වැඩිම ආර්ථික වෘද්ධියක්
සහිත රට බවට පත්ව ඇත්තේ ආගමික උන්මත්තක භාවයේ විලංගුවෙන් නිදහස් වූ බැවිනි. ඊටවඩා
විභවයන් ඇති රටක්වූ පාකිස්ථානය, මේ පවතින අවදානම් විලක්කුවෙන් ගලවා ගැනීමට වත්මන් පාලකයා වන
ඉම්රාන් ඛාන් හට බලවත් පරිශ්‍රමයක් හා අධිෂ්ඨානයක් අවශ්‍ය වෙයි; එමෙන්ම අන්තවාදයට
එරෙහි මහජන බලයක්ද අවශ්‍ය වෙයි.
තාරක වරාපිටිය

إرسال تعليق