ජූනි 12 ‘තරුණ ලේඛකයින්ගේ දිනය’ ලෙස නම් කරමු.
ඈන් ෆ්‍රෑන්ක්
උපන්නේ 1929 ජුනි 12. ජර්මනියේ බර්ගන්-
බෙල්සෙන් හි සිරකාරියක් ව සිටිය දී ඇය මිය ගියේ ඇයගේ දහසය වෙනි උපන් දිනයට මාස
තුනක් තිබිය දී.
1942 ජූලි
මාසයේ දී ඈන්ට නාසි භීෂණය නිසා සිය පවුලේ අය සමග ඕලන්දයේ ඇම්ස්ටර්ඩෑම් නගරයේ ගුදමක
සැඟව සිටින්නට සිදු වුණා. එවිට ඇයට වයස අවුරුදු දහතුනක් වුණා පමණයි. එතැන් සිට ඊළඟ
අවුරුදු දෙක ඇය සිය සිරකාර ජීවිතයේ අත්දැකීම් දිනපොතක සටහන් කළා. දිනපොත ලියන්න
පටන් ගත්තේ 1942 ජුනි 12. 1944 අගෝස්තු 01 දා ලිවීම අවසන් වෙනවා. මුල දී ඇය දිනපොත ලීවේ ඇයගේ ම වුවමනාවට
ඇයට ඕනෑ විදියට. ඒත් 1944 එක දවසක ගෙරිට් බොල්කස්ටයින් (Gerrit Bolkestein) කියල කෙනෙක්
ලන්ඩන් බීබීසී ගුවන් විදුලියෙන් ප‍්‍රචාරය කළා ජර්මානුන් නිසා ව්‍යසනයට පත් වුණ
ලන්දේසීන් ගැන ඇති ඇසින් දුටු සාක්ෂි එකතු කිරීමට යුද්ධය නිමවීමෙන් පසුව තමන්
කටයුතු කරන බව. (ගෙරිට් ඕලන්දයෙන් පිටුවහල් වූ අයෙක්) ඒවා ප‍්‍රචාරය කරන බව ද
පැවසුවා. ලියුම් හා දිනපොත් ඒ අතරින් ඉතා වැදගත් බව ඔහු කීවා. ඈන්ට ඒ කතාව තදින් ම හිතට කා වැදුනා. ‘‘යුද්ධය
ඉවර වුණා ම දිනපොත ප‍්‍රකාශයට පත් කරන්න ඕන” ඇය අධිෂ්ඨාන කර ගත්තා. ඒ් අනුව තම
දිනපොත යලි පිලිවෙලකට ලියන්නත් සංස්කරණය කරන්නත් පටන් ගත්තා. මග හැරුණ දේවල්
ඇතුලත් කළා. අවුරුදු 13 සිට 15 දක්වා ඇයගේ අත්දැකීම් රුචි- අරුචි දේ හැමදේම ලීවා.
කනගාටුවට
කරුණක් නම් ඇයගේ දිනපොත ප‍්‍රකාශයට පත් කළ අය එයට සුචියක් සකසලා නැහැ. එමෙන්ම
ලියවිලි සංඛ්‍යාව දාලත් නැහැ. මගේ ගණනය කිරීම අනුව එහි ලියවිලි 189ක් තියෙනවා.
එදා 1944 අගෝස්තු 4. උදෑසන 10. 00 - 10. 30 ට වගේ
ඈන් සැඟව සිටි ප‍්‍රින්සෙන්ග‍්‍රැච්හි (Prinsengracht) අංක 263 දරණ ඇනෙක්සිය
ඉදිරිපිට කාරයක් නැවැත් වූවා. පූර්ණ නිල ඇඳුමෙන් සැරසුණ සාජන් කාල් ජෝසප් (SS sergeant, Karl Josef) සමග තවත් ලන්දේසි
පොලිස් නිලධාරීන් අඩුම තරමින් තිදෙනෙක් කාරයෙන් බැස ගත්තා. ඔවුන් නිල ඇඳුමෙන්
නොවුනත් ආයුධ සන්නද්ධව සිටියා.
ඇනෙක්සියේ
සැඟව සිටි 8 දෙනෙකු සහ
ඔවුන්ට උදව් කල යුදෙව් නොවන ලන්දේසි සහායකයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගත්තා.
ඇනෙක්සියේ තිබූ මුදල් හා වටිනා කියන බඩුබාහිරාදිය සියල්ල කොල්ල කෑවා. උන්ගේ
සාහසිකත්වය? ඈන්ගේ
වදන්වලින් ම කියවමු. එවකට ඈන්ට වයස 13 යි. 1942 ජුනි 20. දිනපොත පිටුව 12. සටහන 3.
"....ජර්මානුන් ආවා. එය යුදෙව්වන්ට හිරිහැර පැමිණීමක්. යුදෙව්වන්ට
එරෙහිව ගෙන ආ අණපනත් නිසා අපගේ නිදහස නැත්තට ම නැතිවුණා. යුදෙව්වන්ට බයිසිකල්
භාවිතය පවා තහනම්. ට‍්‍රෑම් රථ තහනම්. කාරයක් තිබුණත් භාවිතා කරන්න බෑ. හවස 3 - 5 ත් අතර
පමණයි යුදෙව්වන්ට වෙළඳපොලට යාමට අවසර ලැබුණේ. යුදෙව්වන්ට අවසර ඇත්තේ ඔවුන්ටම අයත්
බාබර් සාප්පු, සැළුන්වලට යාමට පමණි. යුදෙව්වන්ට සිනමා ශාලාවලට හෝ විනෝද
ස්ථානවලට යාම තහනම්. රාත‍්‍රී 8 සිට පෙ. ව. 6 දක්වා මාර්ගයට බැසීම තහනම්. යුදෙව්වන්ට පිහිනුම් තටාක, ටෙනිස් ,හොකී හෝ වෙනත් ක‍්‍රීඩා
පිටි තහනම්.ජලයාත‍්‍රා පැදීම ඒවායේ යාම තහනම්. ප‍්‍රසිද්ධ ස්ථානවල ක‍්‍රීඩා කිරීම
තහනම්. තමන්ගේ උද්‍යානවල හෝ මිතුරන්ගේ උද්‍යානවල රාත‍්‍රී 8න් පසුව හිඳීම තහනම්.
යුදෙව්වන් ක‍්‍රිස්තියානුවන්ගේ නිවෙස්වලට යාම තහනම්. යුදෙව්වන් යුදෙව් පාසල්වලට
පමණක් යා යුතු ය. මෙ වැනි කෙළවරක් නැති නීති ය. ඔබට මේ දේ කළ නොහැක. ඔබට අර දේ කළ නොහැක නීති අතර ජීවිතය ගෙවී
යයි.” මම ඔයාට මොකුත් ම කරන්න කියන්නෙ නෑ. මොකද තහනම් දෙයක් වුණොත්
කියල බයයි” ජැක් නිතරම මට කී දෙයකි."
මේ සියල්
වන තුරු අර වංශවත් XII වන පියුස් කියන තක්කඩි පාප් ඒවා ඉවසා වදාරා මුවෙන් නොබැන
සිටියි! හේතුව? ‘ක‍්‍රිස්තුස් වහන්සේ මරා දැමුයේ නපුරු යුදෙව්වන් බැවිනි!! එහෙම
නේද? ඒ නිසා උන්ට ඔහොම
උනාට කමක් නැත!!!
ඈන් සමග ඇයගේ අක්කා 17 හැවිරිදි මාග‍්‍රට් ද අත්අඩංගුවට ගෙන
ඔක්තෝබර් අග දී අවුස්විට්ස් (Auschwitz)
සිට ජර්මනියේ හැනෝවර් (Hanover) ට ආසන්න
බර්ගන්- බෙල්සන් (Bergen-Belsen)
විශෝධන කඳවුරට ගෙන ගොස් ඇත. එහි දී ඈන් සහ
සොයුරිය හෙම්බත් කර සාගින්නේ තබන ලදි.
1944 - 45 වසරවල ශීත සෘතුවේ දී
කඳවුරේ පැවැති භයානක සෞඛ්‍ය තර්ජනය නිසා බෝවන උණ රෝගයකින් දහස් ගණන් සිරකරුවන් මිය
යද්දී ඈන්ගේ අක්කා මාග‍්‍රට් මළවුන් අතරට එක් වූවාය. ටික දවසකට පසු ඈන් ද මිය
ගියාය. ගැහැණු දරුවන් දෙදෙනාගේ ම සිරුරු සමූහ මිනීවලවල්වලට එකතු වන්නට ඇත. 1945 අපේ‍්‍රල් 12 බි‍්‍රතාන්‍යයන්
විසින් කඳවුර නිදහස් කර ගන්නා ලදි.
තවමත් යුදෙව් විරෝධී ජාතිවාදීන් යුදෙව් සංහාරයක් වූ
බව පිළිගන්නේ නැත. ඈන්ගේ දිනපොතේ නිර්ව්‍යාජ බවට අභියෝග කරයිි. එම නිසා
නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් හි පිහිටි යුද ප‍්‍රලේඛන රාජ්‍ය ආයතනය මගින් මේ පිළිබඳව
විමර්ශනයක් කර වූවේ ය. දිනපොත අව්‍යාජ එකක් බව තහවුරු වූයෙන් එය මුළුමනින් ම ප‍්‍රකාශයට
පත් කිරීමට තීරණය කළේ ය.
කෙසේ වුව ද දුප්පත්කම මෙන් ම ජාතිවාදය ද අප ළඟ ම අපව
වෙලාගෙන සිටියිි. ලන්ඩනයේ සිටිය දී මම වරක් මගේ දරුවන් දෙදෙනා ඕලන්දයේ ඈන් ෆ්‍රෑන්ක්
කෞතුකාගාරය වෙත ගෙන ගියෙමි. ඈන්ගේ දිනපොතක් ද ඔවුන්ට කියවීමට ගෙන ආවෙමි. එම දිනපොත
කියවන විට මේ දහතුන් වියැති දැරියගේ ලේඛන ශෛලිය හා කුසලතාව ගැන මට ද විශ්වාස කිරීම
අපහසු විය. එහෙත් එම කුකුස නැති කරන සටහන් එහි 316 පිටුවේ තිබෙයි.
එය ඇයගේ 146 වන සටහනයි. එම
දැරිය සිය විනෝදාංශ ගැන එයින් විස්තර කරයි.
1944 අපේ‍්‍රල්
6 බ‍්‍රහස්පතින්දා:
‘‘ආදරණීය කිටී,
මම කැමති මොනවද? මගේ විනෝදාංශ
මොනවාදැයි ඔබ අසන නිසා මම ඒ ගැන ලියන්නම්. ඒත් ඔන්න මම කලින්ම කියන්නම් ඔයා පුදුම
වෙන්න එපා. මට ගොඩක් විනෝදාංශ තියෙනවා.
පළවෙනි එක තමයි ලිවීම. ඒත් මම
හිතන්නේ නෑ මම ලියන්නේ විනෝදෙට කියලා.
දෙක තමයි වංශාවලි සටහන් ඇඳීම. මම හැම
පත්තරයකම හැම පොතකම තියෙන පවුල් ගස් (family
trees) බලනවා. ඒවායේ ප‍්‍රංශ, ජර්මන්, ස්පාඤ්ඤ, ඉංග‍්‍රිසි, ඕස්ටි‍්‍රයානු, රුසියානු, නෝර්වේ, ලන්දේසි පවුල් රුක්
සටහන් තියෙනවා. කාලයක ඉඳලා ඉතිහාස පොත් චරිතාපදානත් කියවන නිසා ඒ වැඬේ මට දැන්
හොඳට හුරුයි. ඉතිහාසයේ පරිච්ඡේද කීපයක්ම මම පිටපත් කරගෙනත් තියෙනවා.
මගේ තුන්වන
විනෝදාංශය ඉතිහාසය කියවීම.
අපේ තාත්තා මට පොත් ගොඩක් ගෙනත් දීලා
තියෙනවා. කවදාහරි මහජන පුස්තකාලයකට යන්න ලැබුන දවසක මට ඕන තොරතුරු ගොඩක් හොයා ගන්න
තියෙනවා.
හතරවන විනෝදාංශය ග‍්‍රීක රෝම මිථ්‍යා කතා
කියවීම. ඒ පොත්පත් ගොඩකුත් මා ළඟ තියෙනවා. මට මතකෙන් කියන්න පුළුවන් සියුස්
දෙවියන්ගේ දුවරු හත් දෙනාගේම නම්. හර්කියුලිස්ගේ බිරින්දෑවරුන්ගේ නම් මා ළඟ
තියෙනවා.
පවුලේ අයගේත් සිනමා තාරකාවන්ගේත් සේයා රූ
එකතු කිරීම තවත් විනෝදාංශයක්. පොත්වලටයි කියවන්නයි මට තියෙන්නේ පුදුම පිස්සුවක්.
ලේඛකයන්, කවියන්, චිත‍්‍රශිල්පීන්,
සංගීතඥයන් ගැන කියවෙන කලා ඉතිහාස පොත්වලට මම
හරිම ආදරෙයි. ඒත් අංකගණිතයට,
ජ්‍යාමිතියට, වීජගණිතයට නම් මගේ
කිසිම කැමැත්තක් නෑ. අනෙක් පාසල් විෂයයන්ට නම් කැමතියි. ඉතිහාසය තමයි කැමතිම විෂය.
මම ඔයාගේ,
ඈන් ෆ්‍රෑන්ක්.
ඇය මේ සටහන ලියන්නේ කාංසාව හා ආතතියෙන් පෙළෙමින්
සිටියදී. ඒත් යුද්ධය නිමවීමෙන් පසුව නිල් අහස, මල්, පාසල, යාළුවන්, අළුත් ඇඳුම්, සපත්තු, සතුට ගෙනෙන වඩාත්
හොඳ ලෝකයක් ගැන අපේක්ෂාව ඇගේ සටහන් අතර තිබෙනවා.
සොසේජස්
මැෂින් අතර හිරවුණ, ‘අධ්‍යාපනය’ යැයි වරදවා හඳුන්වන දෙයකට හසුව ටියුෂන් කර්මාන්තය හා
විභාග මගින් නිර්මාණාත්මක චින්තනය මොට වුණ නූතන අපේ යෞවන-යෞවනියන් සමග ඈන් සසඳා බලන්න. ඇයගේ සේයාරුව දෙස බලද්දී
මට ඇය, ජර්මානුවන්ට හසු
නොවී පැන ගොස් මානව සංහතියට විද්‍යාඥයකු ලෙස අමිල සේවාවක් කළ අයින්ස්ටයින්ට සමාන
ලෙස පෙනෙයි.
ඈන් ෆ්‍රෑන්ක්
ජීවත්ව හිටියා නම් ඇය අවුරුදු 83 ක වියපත් නමුත් ජනමාධ්‍ය, ඉතිහාසය, සාහිත්‍ය ක්ෂේත‍්‍රවල
ප‍්‍රතිභා සම්පන්න වියත් තැනැත්තියක වනු
නිසැකය.
එම නිසා
ජීවිතයේ හොඳ හෝ නරක වකවානු ගැන සටහන් තැබීමට යොවුන් පරපුර තුළ පුරුද්දක් ඇති
කිරීමට දිරිගන්වනු වස් ජූනි 12
(ඈන් ෆ්‍රෑන්ක් ගේ උපන්දිනය) ‘තරුණ ලේඛකයින්ගේ
දිනය’ ලෙස නම් කිරීමට උත්සුක වෙමු.
රන්ජන් ප්‍රනාන්දු

إرسال تعليق