ටෝනේඩෝ ආපදා කළමනාකරණය
කරගනිමු.
අප
දිවයිනේ දෙවන අන්තර් මෝසම් කාලගුණ තත්වයන් බල පැවැත්වෙන ඔක්තෝබර් - නොවැම්බර්
වකවානුවේ ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට බලපෑම් ඇති කරන අකුණු ආපදා පිළිබඳව කාලගුණ
විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජනතාව දැනුවත් කරන බව අපි දනිමු. එම දැනුවත් කිරීම්
බහුතරයකින් අකුණු ආපදා කළමනාකරණය කිරීම සඳහා උපදෙස් පවා ලබා දෙන බවද දනිමු. ඊට
අමතරව විටින් විට හමායාහැකි ප්‍රචණ්ඩ සුළං වලින් ආපදා සිදු විය හැකි බවට හෝඩුවා
ලබාදීමට කාලගුණ විද්‍යා අංශ මෙන්ම ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගනී.
මෙම අන්තර් මෝසම් සමයේ අපට මුහුණ පාන්නට සිදුවන ආපදා
අතරින් අකුණු ආපදා ප්‍රමුඛ වුවත් ප්‍රචණ්ඩ සුළං සහිත ටෝනේඩෝ (හෝ ටොනේඩෝ, TORNADO) පද්ධතිද
සැලකිය යුතු ආපදා සිදු කරයි. ටෝනේඩෝ සම්බන්ධ විවිධ පාරිසරික සිදුවීම් සහ ටෝනේඩෝ
පද්ධති මගින් සිදුවන විපත් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට නම් මෙම පද්ධති වල භෞතික
ලක්ෂණ පිළිබඳ යම් අවබෝධයක් අප සතුවිය යුතුය. ලොව පුරා රටවල් රැසක ටෝනේඩෝ පිළිබඳව
කරන ලද පරීක්ෂණ සහ නිරීක්ෂණ වල ප්‍රතිඵලයක් ලෙස ටෝනේඩෝ පිළිබඳ පර්යේෂණ පත්‍රිකා සහ
පොත පත ලියැවී ඇත.
අන්තර්
මෝසම් සමයේ අප දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැඩි වශයෙන් වර්ධනය වන කැටි වැහි වළාවන් (Cumulonimbus cloud) පිළිබඳව
පසුගිය සැප්තැම්බර් 29 වන දින විදුසර පුවත්පතේ ලිපියකින් සාකච්ඡා කළෙමි. ටෝනේඩෝ නම්
වූ කාලගුණ පද්ධති වර්ධනය කිරීමේලා ප්‍රමුඛ වන්නේද කැටි වැහි වළාකුළු ආශ්‍රිත
පාරිසරික සාධක වල හැසිරීම්ය.
වලාකුළු වර්ධනය වීමේ දී ඉතා අත්‍යවශ්‍ය‚ වැදගත්
වායුගෝලීය ක්‍රියාවලියක් “සංවහනය” (CONVECTION) ලෙස හදුන්වනු ලබයි. සරලව සැලකුවහොත්
විශේෂයෙන් සුර්ය තාපය නිසා උණුසුම් වන වායුගෝලයේ පහල කොටස්‚ ඝනත්වයේ අඩුවීම නිසා
වායුගෝලයේ ඉහළ මට්ටම් වෙත තල්ලු වී යාම සංවහනය වන්නේය. මෙම සංවහන ක්‍රියාවලිය
අන්තර් මෝසම් සමයේදී බහුල ලෙස සිදු වීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ මෙම වකවානුවලදී
සූර්ය තාප කිරණ පෘථිවි තලයට අභිලම්බ ලෙස පතිත වීමයි. මෙම ස්වාභාවික සංවහනය
හැරෙන්නට තවත් භෞතික සිදුවීම් කිහිපයක්ම වායු ස්කන්ධ සංවහනය කරවීමට උපකාර වන්නේය.
වායුගෝලීය වායු ස්කන්ධ එකිනෙක මුණ ගැසෙන භෞතික ක්‍රියාවන් නිසා ද වායුගෝලීය ස්කන්ධ
ඉහළ මට්ටම් වෙතට විස්ථාපනය (සංවහනය) වීම සිදුවේ.
පහළ වායුගෝලීය කොටස් කුමන යාන්ත්‍රණයක් නිසා හෝ ඉහල
මට්ටම් වෙතට සංවහනය වූවත් වලාකුළු වර්ධනය වීමට එය සහයක් වන්නේය වායුගෝලයේ ජල වාෂ්ප
සාන්ද්‍රනය උපරිම ලෙස නිරීක්ෂණය කළ හැක්කේ පෘථිවි තලය ආසන්නයේවන මට්ටම්වලය. සංවහනය
වනවිට ඉහලට විස්ථාපනය වන වායුගෝලීය කොටස් තුළ අන්තර්ගත ජලවාෂ්ප වායුගෝලයේ ඉහල
මට්ටම් වල පවතින අඩු උෂ්ණත්ව වලට සිසිල් වීම නිසා ක්‍රමයෙන් ජල වාෂ්ප සංතෘප්ත වී
ඊළඟට ජල බිංදු බවට ඝනීභවනය වීම වලාකුළු නිර්මාණය වීමට අත්‍යවශ්‍ය පියවරකි. තව තවත්
සංවහන ධාරා ඔස්සේ ඉහලට විස්ථාපනය වන ජල බිංදු අයිස් ස්ඵටික (ICE CRYSTAL) ලෙස
ඝනීභවනය වී ඊට පසුව තරමක් විශාල අයිස් කැටිති බවටද පත් වේ.
මෙම ක්‍රියා කලාපය හරහා සිදුවන අනෙක් පියවර තුළින්
ටෝනෙඩෝ නම් වූ ආපදාකාරී පද්ධති වර්ධනය වන්නේ කෙසේද යන්න විමසා බලමු.
සංවහන ක්‍රියාවලිය ඉතාම තීව්‍ර ලෙස සිදුවීනම් අප
වායුගෝලයේ පහල කොටස් ඉතා සීඝ්‍ර වේග වලින් ඉහලට විස්ථාපනය වනවාත් සමග ඉන් ඇතිවන
රික්තකය පිරවීමට බාහිර කොටස්වල සිට වායු ස්කන්ධ හමාඑයි. එනම් පොළෝ තලය ආසන්නයේ
සුළංධාරා වර්ධනය වේ. සංවහන වායු ධාරා තවතවත් ප්‍රචණ්ඩ වන්නේ නම් එවිට එම සිරස්
සුළං ධාරා වටා වූ වායු ස්කන්ධ භ්‍රමණය වෙමින් සංවහන ධාරා වෙත අවශ්‍ය වායු කොටස්
සපයයි. මෙම භෞතික ක්‍රියාවන් සීග්‍ර ලෙස ක්‍රියා කරන අවධිය වන විට කිලෝමීටර්
ගණනාවක් උස් වූ වායු කඳක්ම භ්‍රමණය වීමක් ආරම්භ වී ඇත.
මෙම ක්‍රියාවලිය සීග්‍ර ලෙස සිදු වුවහොත් අධික ලෙස
සිසිල් වන ජල වාෂ්ප ජල බිංදු බවට පත්වී වලාකුළේ ආරම්භය වර්ධනය වෙනු නිරීක්ෂණය කළ
හැකිය. සංවහන සුළං මෙන්ම චක්‍රීයව කරකැවෙන සුළං ධාරා ප්‍රචණ්ඩ වනවිට මෙම සුළං ධාරා
සමග ඒ අවට භූමියේ තිබෙන සැහැල්ලු පස්‚ වැලි‚ දූවිලි‚ කොළ රොඩු වැනි ද්‍රව්‍ය සංවහන
ධාරා ඔස්සේ ඉහලට ද චක්‍රීය සුළං සමග චක්‍රීයවද ගමනේ යෙදීම සිදුවේ. මෙම අවධිය
ටෝනෙඩෝවක වර්ධක අවස්ථාව වන්නේ ය.
ඉතා ප්‍රචණ්ඩ සුළං සහිතවන ටෝනේඩෝවක් එහි භ්‍රමණ වායු
ස්කන්ධය තුළ තිබෙන ජල බිංදු වගේම සුළං සමඟ මුසු දුහුවිලි‚ පස්‚ වැලි‚ කොල රොඩු
වැනි ද්‍රව්‍ය කොටස් වලින් පිරී යාම නිසා පොළෝ තලයේ සිට ඉහලට දිගු වන දැවැන්ත
තරමක් අඳුරු ගසක් ලෙස ඈතට දිස් විය හැක. ටෝනේඩෝ බඳ කොටසට සුර්යාලෝකය පතිත වන
පිහිටීමක එය වර්ධනය වන අවස්ථාවල විවිධ වර්ණවලින් බැබළෙන කඳක්සේ ටෝනේඩෝව ඈතට දිස්
විය හැකිය. ටොනේඩෝවක ඉහළින් වූ මව් වළාකුළු සහ ටෝනේඩෝ කොටස එක්ව ගත් කළ මෙම
සම්පූර්ණ පද්ධතිය බොහෝ විට ඈතට දිස්වන්නේ විශාල පුනීලයක් ලෙසින්ය. මේ ලක්ෂණය නිසාම
ටෝනේඩෝවක් වර්ධනය කිරීමට සහාය වන වලාකුළක් පුනීල වළාකුළු (FUNNEL CLOUD) ලෙස ද නම්
කරනු ලැබේ.
ටෝනේඩෝවක්
හුදෙකලාව නිරීක්ෂණය කළත් ටොනේඩෝව සහ මව් වලාකුලෙන් නිර්මාණය වන පුනීල වලාකුළ
නිරීක්ෂණය කළත් එය කාගේත් නෙත් සිත් ඇද ගන්නා මනහර දසුනක් වුවත්‚ ප්‍රභල ටෝනේඩෝවක්
විවිධ ආකාරයේ ආපදාවලට හේතු වන්නේය. වෙනත් අයුරින් පැවසුවහොත් ටොනේඩෝවක් යනු
ස්වභාවික ආපදාවකි.
ප්‍රචණ්ඩ
ටොනේඩෝවක උඩු සුළං පහරවල් ප්‍රචණ්ඩවූ විට එය පෘථිවි තලයෙන් ඔසවාගෙන යන්නේ සැහැල්ලු
ද්‍රව්‍ය පමණක් නොවේ. සැලකිය යුතු බරකින් යුතු ගල්මුල්‚ සත්වයින් වැනි ද්‍රව්‍යද
ගොඩනැගිලිවල මනාව සවි නොවූ උළු‚ ගඩොල්‚ බාල්ක‚ ඇලුමිනියම් තහඩු‚ ඇස්බැස්ටෝස් තහඩු‚
ශාකවල අතු ආදිය පවා ඉහලට ඔසවා සීසීකඩ විසුරුවා හැරීම නිමා වන්නේ බොහෝ විට මහා දේපල
හානියක් සමඟය. චක්‍රීයව හමා යන ටෝනෙඩෝ සුළං සමග දසත විසිරෙන තරමක් බරකින් යුත් ද්‍රව්‍ය
ආපසු පෘථිවිය වෙත ලඟාවන විටදී විවිධ දේපළ සහ ජීවිත හානි සිදුවන තරමට ආපදා කාරී විය
හැක.
ටෝනේඩෝවක් වර්ධනය වන ස්ථානය අනුව සංවහන සුළං සමග ඉහළ
ට ඇදී යන කුඩා සත්ත්ව වර්ග තීරණය වන්නේය. විශේෂයෙන් කුහුඹුවන්‚ මකුළුවන්‚ කුරුලු
පැටව් වැනි සත්වයින් ඉතා ඉහලට ඇදී යාම සාමාන්‍ය දෙයක් වන අතර උඩුකුරු ටොනේඩෝ සුළං
ප්‍රචණ්ඩ වේ නම් ගෙම්බන්‚ ඉබ්බන්‚ සර්පයන් වැනි සත්වයින් ඉහලට ඔසවා සීසීකඩ
විසුරුවා හැරීම පවා ටෝනේඩෝ මගින් සිදුවිය හැකිය. නිසිලෙස සකස් නොකළ ගොඩනැගිලි
පියසි සෙවිලි කරන ලද ඇස්බැස්ටෝස් තහඩු පවා කිලෝමීටර ගණනාවක් ඉහලට ඔසවා අවට ප්‍රදේශ
වලට විසිර වූ අවස්ථා කිහිපයක් අප දිවයිනෙන්ම වාර්තාව වී ඇත.
ටෝනේඩෝ ලක්ෂණ සහිත පද්ධතියක් ජලාශයක් ආශ්‍රිතව
වර්ධනය වන විට ඒවා දියගොබ වලාව (WATERSPOUT)
ලෙස නම් කෙරෙන්නේ එවන් පද්ධතියක් ඔස්සේ ඉහලට ඇදී
යන්නේ ජලකඳක් වන නිසාය.
දිය ගොබ වලාවක් ආපදාකාරී වන්නේ එය අසල ජලාශයේ
සැරිසරන නැව්‚ බෝට්ටු වැනි යාන වාහන වල සමබරතාවය බිඳ හෙළීම මෙන්ම සැහැල්ලු වාහන
ඉහලට ඔසවා දැමීම නිසාය. ආපදාව වඩා දරුණු වන්නේ එකම ප්‍රදේශයක දිය ගොබ වලාවන්
කිහිපයක් වර්ධනය වන අවස්ථා වල ජලජ යාත්‍රා හෝ මගීන් කිහිප වරක් ඉහලට ඔසවා දැමීම
අවසානයේ මහා ආපදාවක් විය හැකිය.
දිය ගොබ වලාවක් තවත් අයුරක ආපදාවක් වන්නේ ජලාශ වල
මතුපිට මට්ටමේ ජීවත් වන මාළුවන් සහ වෙනත් ජලජ සත්වයින් විශාල ලෙස දිය ගොබ වලාවක
හරය දිගේ ජලය සමගම ඉහලට ඇදී යාම නිසාය. කැටි වැහි වලාකුළක් කිලෝමීටර් 10ක් 15ක් පමණ වූ ප්‍රදේශයක්
තුළ ක්‍රියාත්මක වන නිසා දිය ගොබ වලාව ඔස්සේ ඉහලට විස්ථාපනය වන සත්වයින් වළාකුළු
ඔස්සේ පාවී ගොස් පහළට පතිත වන්නේ සමහර විට දිය ගොබ වළාව ආරම්භ වූ ස්ථානයේ සිට
කිලෝමීටර ගණනාවක් දුරින් වූ ස්ථානවල විය හැකිය.
ශ්‍රී ලංකාවේ පවා ප්‍රදේශ ගණනාවකින් විටින් විට මාළු
වැසි (FISH RAIN) වාර්තා වන
බව ඔබ ජනමාධ්‍ය පුවත්වලින් දැනුවත් වී ඇත.
දියුණු තාක්ෂණය සතුවූ රාජ්‍යයන් වල ටෝනේඩෝ අනාවැකි
ප්‍රකාශ කිරීම සඳහා විශේෂ පරිගණක පහසුකම් භාවිතා කොට ක්ෂණික කෙටිකාලීන අනතුරු
ඇඟවීම් සහ අනාවැකි ජනතාවට ලබාදීමට පියවර ගෙන ඇත. ටොනේඩෝ වර්ධනය වන ස්ථාන කල්තබා
අනාවරණය ඉතා අපහසු වන අතර ටොනේඩෝ යනු විනාඩි පහළොවක විස්සක තරම් කෙටි කාලයක සෑදී
ආපදා සිදු කොට වැනසී යන කාලගුණ පද්ධති විශේෂයකි. මේ නිසා සූක්ෂම පරිගණක අනාවැකි ප්‍රකාශ
කළ හැකි තාක්ෂණය භාවිතා කළ යුතුමය. එවන් පහසුකම් භාවිතයේ තිබෙන රටවල ටෝනේඩෝ අනතුරු
හැඟවීම සිදු කෙරෙන අතර එවන් රටවල් කිහිපයක ටෝනේඩෝ ක්‍රියාත්මක වන ප්‍රදේශවල ජනතාව
වෙත අනතුරු හැඟවීම සඳහා ජනමාධ්‍ය වලට අමතරව ස්ව්‍යංක්‍රීය සීනු නාද කිරීම මගින්
අදාළ උපදෙස් ජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ කාළගුණ විද්‍යා සහ ආපදා කළමනාකරණ අංශවල
ටෝනේඩෝ අනතුරු ඇඟවීම සඳහා අවශ්‍ය තාක්ෂණික පහසුකම් නොමැති හෙයින් ගිගුරුම් සහිත
වැසි පිළිබඳ අනාවැකි ප්‍රකාශවී ඇති අවස්ථාවල ඒ ඒ ප්‍රදේශවල ජනතාව ආරක්ෂක පියවර ගත
යුතුය. අකුණු විසර්ජන උත්පාදනය කිරීම මෙන්ම ටොනේඩෝ සහ දියගොබ වලා යන කාලගුණ තත්ත්ව
බිහි කරන්නේ කැටි වැහි වලාකුළු සහිත පරිසරවලය.
ටොනේඩෝ සහ දිය ගොබ වලා කෙතරම් මනහර දසුන් වූවත් එවන්
පද්ධති ආසන්නයට ළඟා වීම ආපදා කාරිය. සැමවිටම එවන් කාලගුණ පද්ධති ක්‍රියාත්මක වන
ස්ථාන වලින් හැකි තරම් දුරස්ත විය යුතුමය. මෙම පද්ධති ආසන්න ස්ථානයක ක්‍රියාත්මක
වන විට දුම්රියක් අසලින් ගමන් කරන සේ ශබ්දයක් ශ්‍රවණය වන්නේය. ආසන්න පෙදෙසක ටොනේඩෝ
ක්‍රියාත්මක වන බව හැඟී ගියහොත් වහාම නිවැසියන් සියලු දෙනාම ආරක්ෂක ස්ථානයක් වෙත
පිය නැගිය යුතුය. සවිමත් වහලයක් හෝ කොන්ක්‍රීට් ආවරණයක් සහිත නිවසේ ස්ථානයක රැඳීම
ආපදා අවම කර ගැනීමට උපකාරයක් වන්නේය. එසේ නොමැතිනම් සවිමත් තහඩු හෝ ලෑලි සහිත වූ
මේසයක පහල යටි පැත්තේ ආරක්ෂාව පැතිය යුතුය.
කේ.ආර්.
අභයසිංහ,
බාහිර කථිකාචාර්ය, විද්‍යා
පශ්චාත් උපාධි ආයතනය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය
විශ්‍රාමික කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ



إرسال تعليق