පාස්කු දින ප්‍රහාරයට අවුරුද්දයි. වගකිවයුත්තන් නිදැල්ලේ!

 පාස්කු දින ප්‍රහාරයට අවුරුද්දයි.

වගකිවයුත්තන් නිදැල්ලේ!


පාස්කු දින ප්‍රහාරයේ ඛේදවාචකය සිදුවී පුරා වසරක් ගතවී ඇත. එහෙත් ඊට වගකිවයුතු කිසිවකු මේ වනතුරු නීතිය ඉදිරියට ගෙනවිත් නැත. ඒ අතර කතෝලික සභාව වගකිවයුත්තන් පෙනි පෙනී සිටියත් ඒ දෙස නොබලා වෙනත් පාර්ශ්වවලට චෝදනා කිරීම විමතියට කරුණකි.

පාස්කු දින ඛේදවාචකයට ප්‍රධානම වගකිවයුත්තා සියල්ල කළ හැකි දෙවියන්ය. දෙවියන්ගේ පුත්‍රයා වන ජේසු තුමා ද, පහරදීමට භාජනය වූ පල්ලිවල බලගතු භාරකරුවන් වූ සාන්ත අන්තෝනි සහ සාන්ත සෙබස්තියන් ද ඊළඟට වගකිව යුතුව තිබේ. ඔවුහු ජීවමාන වෙති. ඔවුන් ජීවමාන බව කියන්නේත්, උළුවස්සේ පවා ඒ බව ලියාගෙන ප්‍රදර්ශනය කරන්නේත්, වෙන කවුරුවත් නොව කතෝලික පල්ලිවල බැතිමතුන් සහ පූජකයන්මය. එසේ තිබියදී ඉහත සඳහන් කළ ජීවමාන හතරදෙනා අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට ගෙන නොයන්නේ ඇයි? ඔවුන් විසින් තමන්ගේ පිහිට ඉල්ලා පැමිණි අහිංසක බැතිමතුන් රැකගත යුතුව තිබිණි. බෝම්බකරුවන් වළක්වාගෙන ඔවුන් අපාගත කළ යුතුව තිබිණි. සියල්ල කළ හැකි දෙවියනුත්, අනෙකුත් ජීවමාන භාරකරුවනුත්, කිරි දරුවන් පවා විනාශ වන්නට ඉඩ හැර බලා සිටියහ.

ප්‍රහාරයෙන් මිය ගිය සියලු දෙනාම ස්වර්ගයේ වෙසෙන බව බොහෝ බැතිමත්හු ද පූජකවරු ද කියති. ඇසින් දුටුවාක් මෙන් කරන ඒ ප්‍රකාශයන්ද අහක දැමිය යුතු ඒවා නොවේ. ස්වර්ගයට පුරවැසියන් ගැනීමට මේ තරම් දරුණු සමූලඝාතන දෙවියන් විසින් ‘තම කැමැත්ත පරිදි‘ සිදු වන්නට ඉඩ හළ යුතු ද? වෙනත් ස්වර්ගවලට යාමට ප්‍රාර්ථනා කරමින් සිටි හින්දු ආගමිකයන් වැනි අන්‍යාගමිකයන් සුළු පිරිස ද ස්වර්ගයට ගැනීම සාධාරණද?





අප රටේ පාස්කු දින ප්‍රහාරයට එක් අතකින් සමාන ඛේදවාචකයක් 1755දී පෘතුගාලයේ ලිස්බන් නගරයේ සිදුවිය. ඒ එම වසරේ නොවැම්බර් පළමු වෙනිදාට යෙදුණු සියලු සාන්තුවරයන්ගේ දිනය විය. එදින පුරවැසියන් සියල්ලෝම වාගේ නගරයේ පල්ලිවලට එක්රැස් වී දේව මෙහෙයට සහභාගි වෙමින් සිටිද්දී සුවිසල් භුමිකම්පාවක් ඇතිවී පණස් දහසකත් ලක්ෂයත් අතර පිරිසක් මිය ගියහ. එම සිදුවීම ජනතාවගේ ඇස් ඇරවන්නක්ද වූ නිසා ඉන්පසු යුරෝපයේ නිරාගමිකයන්ගේ වර්ධනයක්ද සිදුවිය. ඒ ඛේදවාචකයේ දී ප්‍රංශ දාර්ශනිකයකු වූ වොල්ටෙයාර් කළාක් මෙන් පාස්කු සිද්ධිය ගැනද දෙවියන් ප්‍රශ්න කිරීමට ලක්විය යුතුය. සේපාල විජේසේකරයන් විසින් පරිවර්තනය කළ වොල්ටෙයාර්ගේ ‘Poème sur le Désastre de Lisbonne’ නම් කවි පොතෙන් ගත් පද කිහිපයක් පහත දැක්වේ.

දිගාවී සිටි සිය මව්වරුන්ගේ ළය මත
ලේ විලක වැතිරෙන්ට මේ කිරි දරුවෝ
කවර නම් අපරාධ, කවරනම් පවිටුකම් කරනු ලැබුවෝ ද?
කවරෙකුට දැකිය හැකි වෙද බරපතළ නිමැවුම් ඔහුගෙ?
සියල්ලෙන් පිරිපුන් සත්වයෙකුගෙන් නපුර ඉපදිය නොහැක.
දෙවියන් පමණක්ම වන හෙයින් ස්වාමියා
නපුර පැමිණිය නොහැක අනෙකෙකුගෙන්
නපුර පවතී එතකුදු වුවත්…’







සැම්සන් ගුණතිලක
කුරුණෑගල නිවහල් සිතුවිලි සංසධය
(21. 04. 2020)

Post a Comment

أحدث أقدم