මම සහ මගේ මොළයේ නියුරෝන යනුවෙන් එකක් මිස දෙකක් නොමැත.

 මම සහ මගේ මොළයේ නියුරෝන යනුවෙන් එකක් මිස දෙකක් නොමැත.



මම ‘මම‘ පිළිබඳ ව සොයා බලන්නට සිතුවෙමි. මුලින් ම කළේ ලොකු කැඩපතක් ඉදිරියේ සිට ගැනීමයි. මගේ මුළු සිරුර ම මා ඉදිරියේ විද්‍යාමාන විය.

ඒ මම ද? මුළු සිරුර ම මම ද?

මම මඳක් කල්පනා කළෙමි.

මගේ අතක් පයක් කපා දැමුවත් ‘මම‘ යන අනන්‍යතාවේ කිසිදු අඩුවීමක් සිදු වන්නේ නැත.

එසේ නම් මුළු සිරුර ම ‘මම‘ නොවේ.

එකිනෙක ඉන්ද්‍රියයන් ඉවත් කරමින් මම කල්පනා කළෙමි.

මගේ වකුගඩු දෙක ම ඉවත් කර වෙනත් අයෙකුගේ වකුගඩුවක් සවි කළත් ‘මම‘ යන අනන්‍යතාවට බලපෑමක් නැති බව අන්‍යයන්ගේ අත්දැකීම්වලින් මට වැටහෙයි.

මගේ හදවත ඉවත්කර වෙනත් අයෙකුගේ හෝ චිම්පන්සියකුගේ හදවතක් බද්ධ කළත් ‘මම‘ වෙනස් නො වන බව අන්‍යයන්ගේ අත්දැකීම්වලින් මට තහවුරු වෙයි.

කන්පෙති කපා දැමුව ද දත් උගුල්ලා විසිකළ ද හිසකෙස් කපා දැමුව ද ‘මම‘ යන්නෙහි වෙනසක් නො වෙන බව පෙනෙයි.

ඇස් වසා දැමුව ද කන් සිදුරුවල ඇබ ගැසුව ද ‘මම‘ වෙනස් නොවේ.

එසේ නම් ‘මම‘ ඉන්නේ කොහේද?

ඇසිල්ලෙකින් මසිත පුරා සිසාරා දැල්වෙන්නේ විදුලි රේඛාවකි. ඒ න්‍යායික භෞතික විද්‍යාඥයකු වූ කාලෝ රොවෙල්ලිගේ සඳහනකි.

මම සහ මගේ මොළයේ නියුරෝන යනු දෙකක් නොවේ; එක ම එකක් පමණි.

ගැලැක්සියක අතිවිශාල සංඛ්‍යාවක් වන තාරකා ප්‍රමාණය මෙන් හිසක් තුළ ඇති බිලියන සියයකට ආසන්න නියුරෝනවල සාමූහික අන්තර් ක්‍රියාවන් ‘මම‘ ලෙස ගත හැකි ය.

එතකොට මගේ අතපය සහ අනෙක් ඉන්ද්‍රියයන් මොනවා ද?

ඒවා මගේ දේපොළයි. සමහර දේපොළ අත්‍යවශ්‍ය නැහැ. ඒත් තිබුණොත් හොඳයි. සමහර දේපොළ අත්‍යවශ්‍යයි. අහිමි වුණොත් මමත් ඉවරයි.

දැන් තවත් ප්‍රශ්නයක්!

මම ඇති වූයේ කවදා සිට ද?

එසේ වූයේ මගේ මවගේ කුස තුළ මගේ කලලය හට ගත් අවස්ථාවේ සිට නොවේ.

මන්ද, ඒ වන විට මගේ කලලය තුළ නියුරෝන නො තිබූ බැවිනි.

කලලය ඇති වී සති තුනකට හතරකට පසුව නියුරෝන වර්ධනය වන බව මා පොත්පත්වලින් කියවා තිබේ.

එසේ නම් ‘මම‘ අල්ප මාත්‍ර ලෙස හට ගන්නේ කලලය ඇති වී සති තුන හතරක් ඉකුත් වූ කල සිට ය.

බොහෝ රටවල, කලලයක වයස සති දෙක ඉක්මවීමට පෙර අවශ්‍ය නම් එය ඉවත් කිරීම නීති විරෝධි වෙන්නේ නැහැ. එයට හේතුව ඒ වන විට කලලය තුළ ‘මම‘ නැති නිසා විය හැකි යි. කොහොම වුණත් වඩා සුදුසු දේ වන්නේ අනවශ්‍ය පිළිසිඳ ගැනීම් වලක්වා ගැනීම යි. මා උපත ලැබූ පසු මගේ පන්චේන්ද්‍රියයන් බාහිර පරිසරයට නිරාවරණය වී පරිසරයෙන් දත්ත ලබාගෙන ඒවා නියුරෝන තුළට යවා එහි දත්ත ගබඩාව පොහොසත් කරන්නට ඇත. දිනෙන් දින මසින් මස වසරින් වසර එසේ පොහොසත් වී අන්තර් ක්‍රියා දියුණු වී ‘මම‘ වඩා දියුණු මිනිසෙකු වන්නට ඇත.

දැන් තවත් ප්‍රශ්නයක්!!

මම‘ අවසන් වන්නේ කොහොම ද? කවදා ද?


මට, ඒ කියන්නේ මගේ නියුරෝනවලට පෝෂණය අවශ්‍යයි. පෝෂණය නැත්නම් මම අවසන් වෙනවා. ග්ලූකෝස් සහ ඔක්සිජන් නැවතුණොත් විනාඩි දෙක තුනකින් ‘මම‘ අවසන් වෙනවා.

හදිසි අනතුරකින්, මගේ අත්‍යවශ්‍ය දේපොළක (හෘදය, පෙනහලු වැනි) බිඳ වැටීමකින්, විෂබීජ ආක්‍රමණයකින් නියුරෝන වැනසී මම අවසන් විය හැකියි.

මොළයේ පිළිකාවක දී හෝ ඩිමෙන්ෂියා, ඇල්සයිමර් වැනි ස්නායු රෝගයකදී නියුරෝන කෙමෙන් කෙමෙන් වැනසෙමින් ‘මම‘ යන අනන්‍යතාව ටිකෙන් ටික අඩු වෙන්න පටන් ගන්නවා. එවැන්නකදී අවසාන කාලයේ මට මගේ ගෙදර අයත් හඳුනන්න බැරුව යනවා. මිතුරනුත් හඳුනාගන්න බැරි වෙනවා. එවිට මගේ දේපොළ (සිරුර) පණපිටින් තිබෙද්දී ම ‘මම‘ නැති ව යනවා.

මගේ මොළය මිය ගිය විටදී පවා මගේ දේපොළ සප්‍රාණික ව පවතින්න පුළුවන්. එහෙත් එවිට ඒවා තවදුරටත් මගේ දේපොළ නොවෙයි. මන්ද, මා නැති නිසා, ඒ කියන්නෙ මගේ නියුරෝන මිය ගොස් ඇති නිසා.

එවැනි අවස්ථාවක වෛද්‍යවරුන්ට පුළුවන් මට කලින් අයත් ව තිබූ වකුගඩු, හදවත, අක්ෂි පටල ආදිය වෙනත් අයට බද්ධ කරන්න. එය, ඒවා කුණුවෙන්න හරිනවාට වඩා හොඳ වැඩක්.

ඒ අනුව පෙනීයන්නේ ‘මමත්‘ මගේ දේපොළ වන සිරුරේ ප්‍රාණයත් සාමාන්‍යයෙන් එකවර අවසන් නො වන බව නේද? නියුරෝන, ඊට අවශ්‍ය පෝෂණය සහ ඔක්සිජන් යන දෙකෙන් එකක් හෝ නො ලැබී ගියොත් ‘මම‘ අවසන් වෙනවා. එහෙත් මට අයත් ව තිබූ සිරුරේ ප්‍රාණය පැය ගණනාවක් රඳා පවතිනවා. ඒ නිසයි අක්ෂි පටල, වකුගඩු ආදිය වෙනත් අවශ්‍ය අයට බද්ධ කළ හැක්කේ.

අවසාන වශයෙන් තවත් ප්‍රශ්නයක්!!!

මම‘ නැති වී ගිය පසුව නැවත ‘මම‘ ඇතිවිය හැකි ද?


ඒක නම් සිදුවිය හැකි දෙයක් නො වෙයි. මන්ද ‘මම‘ යනු නියුරෝන තුළ සක්‍රීය වන ද්‍රව්‍යමය දෙයක් නිසා. නියුරෝන මියගිය පසුව ඒවා කලින් පැවති අයුරින් ම වෙනත් තැනක පිටපත් විය නො හැකියි. තවද ඒවාට සිරුරකින් ලැබෙන පරිදි අනවරත පෝෂණයක් සහ ඔක්සිජන් ද ලැබිය යුතු වෙනවා. ඊට කිසිදු ඉඩක් විවර වෙන්නේ නැහැ.

මම‘ යනුවෙන් පවතින සවිඥානය මූලික අංශුන්ගේ යම් සවිඥානයක ම දිගුවක් ද?


දැනට මිනිසා ලබා ඇති දැනුමට අනුව විශ්වයේ පවතින මූලික අංශුන් ඇත්තේ දහයකටත් අඩුවෙන්. ඒවා පදාර්ථ සාදන අංශූන් වන ඉලෙක්ට්‍රෝනවලින් සහ ක්වාර්ක්ස්වලින් ද බලයේ වාහක අංශුන් වන ෆෝටෝනවලින්, ග්ලුඔන්ස්වලින් සහ ග්‍රැවිටෝන්වලින් ද සමන්විත වේ. තව ද නියුට්‍රිනෝ, හිග්ස් බොසොන් වැනි අංශු කිහිපයක් කලාතුරකින් හමුවේ.

ඉහත ඕනෑම අංශුවක් තමා අවට පවතින අනෙක් අංශූන් හඳුනයි. ඒවා තෝරා බේරාගෙන අන්තර් ක්‍රියා කිරීමට තරම් සංවේදනයක්, යම් සවිඥානකත්වයක් ඒවාට නැතැයි කිව හැකි ද?

ක්වාර්ක්ස්වල ද යම් විවිධත්වයක් පවතී. ඒවා තුන බැගින් එකතු වී ප්‍රෝටෝන සාදන අතර නියුට්‍රෝනයක් සාදන්නේ ද ක්වාර්ක්ස් තුනකි. එහෙයින් ප්‍රෝටෝනවලත් නියුට්‍රෝනවලත් ඒවා සෑදුණු මූලික අංශූන් වන ක්වාර්ක්ස් තුළ පවතින සන්වේදනයේ ම දියුණු අවස්ථාවක් පවතිනු ඇතැයි සිතිය හැකි ය.

දැන් ප්‍රෝටෝනත් නියුට්‍රෝනත් ඉලෙක්ට්‍රෝනත් බලයේ වාහක අංශූන් සමඟ බැඳීම් ඇති කරගෙන එක් එක් ආකාරයේ පරමාණු සාදයි. පරමාණුවක පවතින්නේ ද ඒවා සෑදුන මූලික අංශුන්ගේ සන්වේදනයේ ම දිගුවකි; දියුණු පියවරකි.

පොටෑසියම් අයනයක්, තමා ආසන්නයේ සිටින අණුවකට අයත් සෝඩියම් අයනයක් පලවා හැර ඒ හිදැසට රිංගා ගැනීමට මාන බලයි. එහෙත් සෝඩියම් අයනයක් තමා අසල සිටින අණුවකට අයත් තවත් සෝඩියම් අයනයකට එසේ කරන්නේ නැත. මන්ද, මුලින් කී සෝඩියම් අයනය විසින් පසුව කී සෝඩියම් අයනය ‘අපේ මිනිහෙක් ‘ ලෙස හඳුනාගන්නා බැවිනි.

දැන් ඉහත පරිදි ම අණු ගැන, ජීවි සෛල ගැන, සත්වයින්ගේ නියුරෝන ගැන කතා කළ හැකි ය.

මිනිස් හිසක බිලියන සියයකට ආසන්න නියුරෝනවල සාමූහික සන්වේදනය, සවිඥානය කොයි තරම් ඉහළ මට්ටමක පවතී ද? එහෙත් එය විශ්වයේ පැවතිය හැකි දියුණු සවිඥානාත්මක අවස්ථාවන්ගෙන් එක් ආකාරයක් පමණක් විය හැකි ය.

කොයි තරම් ඉහළ මට්ටමක පැවතුණත් ඒවා මූලික අංශුවල ම සන්වේදනයේ, සවිඥානකත්වයේ ම දිගුවක් නො වන්නේ ද? එසේ නොවේ නම් මූලික අංශූන්ගේ අනන්‍යතාවෙන් සම්පූර්ණයෙන් වෙනස් වූ අපූර්වතම විඤ්ඤාණයක්, අමුතු ම ලක්ෂණයක් සත්ව මොළයක් තුළ පමණක් ප්‍රාදුර්භූත විය හැකි ද? මන්ද, අප වසන පෘථිවිය ම අතිදැවැන්ත විශ්වයේ දූවිල්ලක් වන හෙයිනි; බිලියන ගණනින් තාරකා සහිත ගැලැක්සි බිලියන ගණනක විශ්වයේ එක් සර්පිලාකාර ගැලැක්සියක කොනක පිහිටි මධ්‍යම ප්‍රමාණයේ තාරකාවක් වන සූර්යයාට අයත් නො වැදගත් ග්‍රහලෝකයක් වන හෙයිනි. එහි වසන අපට විශ්වයේ පවතින අංශුන්ගේ අනන්‍යතාවයෙන් නිදහස් වූ සවිඥානයක් ඇතිවිය හැකි ද?

ශාක, දිලීර, බැක්ටීරියා ආදියේ නියුරෝන නැත. එහෙත් ඒවා පරිණාමික ව අපේ නෑදෑයෝ ය. සෛලමය ව්‍යුහය, ඩී එන් ඒ, ආර් එන් ඒ, මයිටොකොන්ඩ්‍රියා (ප්‍රාග් න්‍යෂ්ටිකයන්ගේ හැර) ආදිය පොදු ය. ඒවායේ සහ මිනිසාගේ සම්භවය එක ම මුල් ජීවියෙකුගෙනි. සතුන්ට නියුරෝන මධ්‍යස්ථානයක් පරිණාමයේ දී උරුම වූ පමණින් සතුන්ගේ සන්වේදනය, විඤ්ඤාණය ‍ප්‍රාග් න්‍යෂ්ටික බැක්ටීරියා වැනි මුල් ජීවීන්ගේ ම දිගුවක් හෙවත් වඩා දියුණු පියවරක් නො විය හැකි ද?

පණු වලක ලක්ෂ ගණනින් පණුවෝ සිටිති. එහි එක් පණුවකුගේ සිතක් මිනිසෙකුගේ සිතක් සමග සැසඳීම පිස්සු විකාරයක් හැටියට පෙනෙන්නකි. එහෙත් එහි එක් පණු හිසක් සහ මිනිස් හිසක් අතර වෙනස නියුරෝන ප්‍රමාණය සහ එහි ගුණාත්මක භාවය ම නො වේ ද? ප්ලැටිහෙල්මින්තස් වංශයේ පැතලි පණුවාගේ ප්‍රාථමික හිසේ පවතින ප්‍රාථමික විඤ්ඤාණයේ ම දිගුවක් නොවේ ද අපේ විඤ්ඤාණය?

සාක්ෂි

1. වෛරස්


වෛරස් ඇතිවූයේ ජීවීන් ඇති වූවාට පසුව වන නමුත් ඒවා ජීවීන් සහ අජීවීන් අතර පාලමක් සේ ක්‍රියා කරයි. එය ජීවය ද අජීවයේ ම දිගුවක් බව කියාපාන්නකි.

2. අහම්බය


අහම්බය හෝ සම්භාවිතාව වනාහී ජීවීන්ටත් අජීවීන්ටත් එකසේ බලපාන පොදු මූලධර්මයකි. අපට දැනෙන්නේ මිනිස් සිත සීමා බාධක නැති නිදහස් සිතුවිලිවලින් සපිරි ස්වභාවයකි. එහෙත් එය එසේ නොවේ. අජීවීන්ගේ හැසිරීමට සමාන ආකාරයකින් සතුන්ගේත් මිනිසුන්ගේත් සිත් ක්‍රියා කරයි.

විශ්වය සැදී ඇති අංශූන්ගේ අහඹු හැසිරීමක් පවතී. පරමාණුවක න්‍යෂ්ටිය වටා චලිත වන ඉලෙක්ට්‍රෝනවලට ඇත්තේ අහඹු චලිතයකි. එය, සිය කක්ෂය තුළ ඊළඟට පවතින ස්ථානය ගැන හරි අනාවැකියත් කිව නො හැකි ය. කිව හැක්කේ ඊළඟට පැවතිය හැකි ස්ථාන පිළිබඳ ව සම්භාවිතාවක් පමණි.

රොබට් බ්‍රවුන් නම් විද්‍යාඥයෙක් 1827 දී මල්වල පරාග ජල බඳුනක අවලම්බනය කර ඒවා අන්වීක්ෂයකින් නිරීක්ෂණය කළේ ය. පරාග එහෙ මෙහෙ විසිවෙමින් වෙරිකාරයන් මෙන් චලනය විය. එය බ්‍රවුනීය චලිතය නමින් ප්‍රසිද්ධ විය. එහෙත් එවැනි චලිතයකට හේතුව වසර 78කට පසු ව අනාවරණය කළේ 1905දී ඇල්බට් අයින්ස්ටයින් විසිනි. එය ජල අණුවල අහඹු චලිතයේ ප්‍රතිඵලයක් බව ඔහු කීවේ ය. මේ අහඹු චලිතය නිසා පරාගය වටා ජලයේ කුඩා කලාප අසමතුලිත බලයක් නිපදවයි. එසේ කරන්නේ කොන්දේසියක් ද සහිතව ය. එනම් ජලයේ කුඩා කලාප තුළ අසමතුලිත බල ක්‍රියාත්මක වන්නේ සමස්ත ජල බඳුන සමතුලිත භාවයේ තබමිනි.

අහම්බය ජීවීන්ට ද පොදු ය. එය මිනිසුන් වන අපි හොඳාකාරව ම දනිමු. ප්‍රශ්නයක් හමුවේ යමෙකු දක්වන ප්‍රතික්‍රියාව අනුන්ට තබා තමාටවත් වේලාසනින් නිශ්චිත ව කිව නො හැකි ය. කිව හැක්කේ ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක් පිළිබඳ ව ඇති සම්භාවිතාවන් ගැන පමණකි.

දැනුම ලබා ගැනීම අතින් මිනිසා අසරණ ය. ඔහුට දැනුම ලැබෙන්නේ ඉතාමත් සීමිත පන්චේන්ද්‍රියන් තුළින් පරිසරයෙන් දත්ත ලබාගෙන ඒවා මොළයේ නියුරෝන මගින් තෝරා බේරා ගැනීමෙනි. උදාහරණයක් සලකා බලමු. අපේ පරිසරය වර්ණවත් එකක් නොවේ. එය අවර්ණ ය. එහෙත් හිරු එලියේ ඇති පටු තරංග කලාපයක් අපේ ඇස්වලට සන්වේදී වීම නිසා ලෝකය අපට සීමිත ව වර්ණවත් වෙයි. හිරු එළියේ ඇති මුළු වර්ණාවලිය ම අපේ ඇස්වලට සන්වේදී වූයේ නම් කිසිදා නුදුටු වර්ණ අතිමහත් සංඛ්‍යාවකින් පරිසරය වර්ණවත් වනු ඇත; ඉන් අප ව්‍යාකූලත්වයට පත්වනු ඇත. මිනිසුන් අතරින් කිසිදු ප්‍රාඥයකුට දැනුම අතින් තනි ව පිම්මක් පැනිය නොහැකි ය. ඔහුට උපරිම වශයෙන් කළ හැක්කේ තමා ජීවත් වූ හෝ ජීවත්වන සමාජයේ දැනුමට සාපේක්ෂ ව යම් ඉදිරි දියුණුවක් පෙන්වීම පමණි.

අපේ සිතුවිලි, අපේ නියුරෝන ‍ද්‍රව්‍යමය බව අප විසින් වටහා ගෙන තව ම අවුරුදු සියයක්වත් ඉකුත් වී නැත. අප එසේ වටහාගත්තේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය නිපද වූවාට පසුව ය. එසේ ම අප ද අංශුමාත්‍ර කොටස්කරුවන් වන අවකාශය ද ද්‍ර‍ව්‍යමය බවත් එය කාලය සමග වියමනක යෙදී විශ්වයේ තැනින් තැන වෙනස් වෙනස් ලෙස කාලය ගත වන බවත් අප විසින් වටහා ගෙන තව ම අවුරුදු එකසිය විස්සක්වත් ගත වී නැත. ඒ සියල්ල දැවැන්ත දැනුම් කන්දරාවකි. එහෙත් එය දැනුම නමැති සාගරයේ එක් දිය බිඳුවක් පමණි.

සැම්සන් ගුණතිලක

Post a Comment

أحدث أقدم