මිත්‍යාව මිනිස් ශරීරයට 'ගුරුත්වය' දැනේ

 මිත්‍යාව මිනිස් ශරීරයට 'ගුරුත්වය' දැනේ




මේ වචන වලින් ඇත්තටම කියවෙන්නෙ මොකක්ද කියන එක අනුව මට මේක "ඔව්" "නෑ" කියන දෙපැත්තටම තර්ක කරන්න පුලුවන්. ස්වභාවික බාසාවක වාක්‍ය වලට නිශ්චිත අර්ථයන් නෑ. අපි දෙන්න එකඟ වෙන දෙයක් තමයි තියෙන්නෙ. බාසාවෙ වචන එක්ක බොරු හරඹ නොකර මේ ගැන කතා කලොත්.

ගුරුත්වය පිලිබඳ අයින්ස්ටයින්ගෙ ප්‍රවාදය එක්ක අපිට මේ සංවාදය කරන්න පහසුයි. නිව්ටන්ගෙ ක්ලැසිකල් මොඩල් එකේදි අයිරොනිකලි මේ කතාව වඩා සංකීර්ණයි.

අයින්ස්ටයින් පෙන්නා දුන්න එක් වැදගත් කරුනක් තමයි වක්‍රවූ අවකාශ කාලයෙ 'නිශ්චලව සිටීම' හා පැතලි අවකාශ-කාලයේ තවරණය වීම යන දෙකෙන්ම තවරණය වන වස්තුවට 'දැනෙන' දේ හෝ ඒ තත්වය යටතේ යම් කුටීරයක් තුල ඉන්නා පිරිසකට ඒ කුටීරය තුල භෞතික තත්ව පිලිබඳ පරීක්ෂන වලින් එන ප්‍රතිපල සර්ව සම වන බව. ගුරුත්වය නිසා ආලෝකයද නැවේ කියන එක මේ 'කුටීර' මනෝ-පරීක්ෂනයෙන් ලේසියෙන් ඔප්පුකරන්න පුලුවන්. (වැඩි විස්තර මේ පෝස්ට් එකෙන් කියන්න අමාරුයි)

ගුරුත්වය හා ත්වරණයේ බලපෑම යන දෙක "එකක්" ලෙස ගෙන මට කියන්න පුලුවන් අපේ ශරීරය කුමන දිශාවට ත්වරණය වෙමින් පවතීද කියන එක මිනිස් සිරුරට දැනෙන නිසා අපිට ගුරුත්වය දැනේ කියල. කර්න ශංක්යේ තරලය එකතුවෙලා තියෙන දිශාව හා අපේ මාංශ පේෂි වල 'තෙරපීම' දැනෙන ස්නායු නිසා අපිට යම් දිශාවක් ඔස්සෙ "අපේ බර" එල්ලවෙලා තියෙන බව දැනෙනවා. අපි පෘථිවියෙ හෝ වෙනත් ග්‍රහලෝකයය පෘෂ්ථයේ 'හිරවෙලා' ඉන්නකොට අපිට අර ජියෝඩෙසික් එකේ නිදහසේ ගමන් කරන්න බෑ (පොලව හරහා යන්න බෑනෙ) ඒ හින්දා අපිට පොලව මතුපිට ඉදීම හා තවරණය වන අභ්‍යාවකාශ යානයක් ඇතුලෙ සීට් එකක 'හිරවෙලා' ඉඳීම යන දෙකම සර්වසම අත්දැකීම් ගෙන දෙනවා.

හැබැයි ඉතාම වැදගත් කාරනය තමයි අපිට 'ගුරුත්වය' දැනෙන්නෙ නිව්ටන්ගෙ බාසාවෙන් කිව්වොත් ගුරුත්වකෙෂත්‍රය තුල 'නිසලව' ඉන්න උත්සාහ කරනකොට හෝ අයින්ස්ටයින්ගෙ බාසාවෙන් කිව්වොත් අවකාශකාල වක්‍රයේ ජියෝඩෙසික් (geodesic) එකක් ඔස්සේ නිදහසෙ වැටෙන්නෙ නැතිව 'එකතැන' ඉන්න උත්සාහ කලොත් විතරයි කියන එක. නිසල අවස්ථාවෙ අපිට 'බරක්' දැනුනට. නිදහසෙ චලනය වෙනවා නම් නිබර තත්වයක් තියෙන්නෙ.

පෘථිවිය වටා කක්ෂගත වෙලා තියෙන යානාවක හෝ පෘථිවිය කරා 'වැටෙමින්' තියෙන යානාවක හෝ ඉන්න ගගන ගාමින් දෙගොල්ලන්ටම බරක් දැන්නෙනෙ නෑ. නිව්ටන්ගෙ බාසාවෙන් කිව්වොත් මේ දෙකටම හේතුව මේ දෙගොල්ලොම ඉන්නෙ අනවරත වැටීමක නිසා. අයින්ස්ටයින්ගෙ බාසාවෙන් කීවොත් මේකට හේතුව මේ දෙගොල්ලොම ඉන්නෙ ජියෝඩෙසික් (geodesic) එකක නිදහසේ චලනය වෙමින් නිසා.

අපේ චලිතය නිදහස් නම්. අපි ඉන්නෙ ෆ්ලැට් ස්පේස්-ටයිම් එකකද නැත්නම් කර්ව්ඩ් එකකද කියන අපිට දැන ගන්න කිසිම විදිහක් නෑ. ඇස් බැඳල කරකවල අභ්‍යාකාශයේ ඇතෑරියොත් අපි ඉන්නෙ කිසිම ස්කන්ධයක් අහලකවත් නැති ෆ්ලැට් ස්පේස් එකකද. නැත්නම් තඩි ග්‍රහලෝකයක් පැත්තට "වැටෙන්මින්ද්" කියල අපිට කියන්න බෑ. ග්‍රහලෝකෙ හැප්පිලා කුඩු සංසාර වෙනකන් අපි ඉන්නෙ කිසි බරක් නොදැනෙන 'පාවීමක'. ඔය අර්ථයෙන් මට කියන්න පුලුවන් මිනිස් සිරුරට 'ගුරුත්වය' නොදැනේ කියල.

ඉතින් අර කලින් කිව්ව වාක්‍යය 'වැරදිය' 'නිවැරදිය' කියන දෙපැත්තටම තර්ක කරන්න පුලුවන්. අපි මේ තර්ක කරන්නෙ විද්‍යාව ගැන නෙමෙයි ස්වාභාවික බාසාවක වාක්‍ය වලින් එන විවිධ තේරුම් ගැන.

මේ ගැන පෝස්ටුවක් දැමීමට හේතුවූ යසස් පොන්වීරගෙ ප්‍රශ්න කිරීම් හා සංවාදයට විශේෂ ස්තූතිය.

රිටිගල ජයසේන
ෆේස්බුක් සටහනක උපුටාගැනීමක්



Post a Comment

أحدث أقدم