හේතුවාදය යනු කීම?

 හේතුවාදය යනු කීම?




හේතුවාදය හා හේතුවාදියා යන පදවලින් අපේ රටේ විවිධ අය විවිධ දේ අදහස් කරති. කොවුර්ගේ හිතවතුන් පවා හේතුවාදීන් හැටියට සමහරු හඳුන්වති. කොවුර්ගේ මතිමතාන්තර හා අදහස් පිළිගන්නා අය හේතුවාදීන් යයි තවත් සමහරු අදහස් කරති. ආගම් විවේචනය කරන උදවිය හේතුවාදීන් යැයි මේ අතර තවත් සමහරුන්ගේ විශ්වාසයයි. සමාජ සම්මත දේට විරුද්ධවීම නැතහොත් ඒවා විවේචනය කිරීම හේතුවාදය ලෙස සලකන අයද සිටිති. කොමියුනිස්ට්වාදය හේතුවාදය සලකන්නන්ද නැත්තේ නොවේ.

කොවුර්ගේ සභාපතිත්වයෙන් යුතු සංගමය ඉංග‍්‍රිසියෙන් Ceylon Rationalist Association නමින් හැඳින්වුණු අතර පුවත්පත් හා එහි සාමාජිකයන් විසින්ද මුල් කාලයේදී එය හඳුන්වන ලද්දේ ’ලංකා යථාර්වාදී සංගමය' ලෙසිනි. මේ අනුව එකල භාවිත වුණූ වචනය හේතුවාදය නොව යථාර්ථවාදයයි. 'හේතුවාදී සංදේශය' මුලින් නම් කරන්නට අදහස් කලේද 'යථාර්ථවාදී සඟරාව' යනුවෙනි. මේ වචනය එතරම් ගැලපෙන්නේ නැති බව අපි කොවුර්ට කීවෙමු. කොවුර්ට හොඳින් සිංහල බැරි වුවද 'යථාර්ථවාදය' සංස්කෘත වචනයක් බැවින් එය ඔහුට වටහා ගත හැකි විය. එබැවින් ඔහුද අපේ අදහස අනුමත කළේය. 'හේතුවාදී සංදේශය' යන අලූත් නමක් මෙම පොත සඳහා යොදා ගන්නා ලද අතර හේතුවාදය යන අලූත් වචනය බිහි වුයේ මේ අනුවයි.

'
හේතුවාදී සංදේශයට' ලියු පෙරවදනේදී මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා එය හඳුන්වන්නේ මෙසේයඃ-

හේතුවාදය යනු කුමක්ද? විශ්වාසය හා එහි අඩංගු සියළු දේ ගැන ඇති සැටිය, නියත ස්වභාවය, සත්‍ය අවබෝධ කර ගැනීමයි, හේතුවාදියාගේ අරමුණ. සෑම චින්තකයකුගේම සෑම දාර්ශනිකයකුගේම අරමුණත් ලෝ තතු ගැන සත්‍යය අවබෝධ කර ගැනීමයි. එසේ නම් හේතුවාදියා සෙසු චින්තකයින්ගෙන් හා දාර්ශනිකයින්ගෙන් වෙනස් වන්නේ මොන ආකාරයෙන්දඕනෑම දෙයක් පිළිබඳව නියම ස්වභාවය හෙවත් යථාර්ථය දැන ගැනීමට මිනිසා සතු විශ්වාස කටයුතුම ක‍්‍රමය විද්‍යාත්මක ක‍්‍රමය යැයි කියා තරයේ පිළිගැනීමයි හේතුවාදියාගේ විශිෂ්ඨ ලක්‍ෂණය. විද්‍යාත්මක ආකල්පයකින් යුතුව ලොව දෙස බැලීමයි හේතුවාදීයගේ අභිප‍්‍රාය. වෙන වචන වලින් කියතොත් හේතුවාදී ආකල්පය විද්‍යාත්මක ආකල්පයයි.

කෙතරම් විද්‍යාත්මක ප‍්‍රත්‍යක්ෂයන් කටපාඩම් කර ගත්තත්, යම් ප‍්‍රශ්නයක් විසඳීමට විද්‍යාත්මක ආකල්පය නොතිබිය හැකියි. විද්‍යාත්මක ආකල්පයේ විශිෂ්ට ලක්‍ෂණය වන්නේ ලෝකයේ යම්කිසි දෙයක ඇති සැටිය තේරුම් ගැනීමේදි අපගේ පුද්ගලික සිතුම් පැතුම්, අදහස් උදහස් හා ඕනෑ එපාකම් ආදිය කිසිසේත් ආදාළ නොවන බව එකහෙළා පිළිගැනීමයි. යම්කිසි දෙයක් පිළිබඳව සත්‍යය දැනගැනීම පිණිස අන් සියලූ දේ යටපත් කිරීමට සුදානම් වීමයි සෑබැ හේතුවාදීයාගේ පරම ලක්‍ෂණය. යම්කිසි දෙයක් පිළිබඳව ඇති සැටිය වටහා ගත් විට එය ඒ ආකාරයටම ප‍්‍රකාශ කිරීමයි, හේතුවාදියාගේ යුතුකම.”

හේතුවාදය යනු පුනරුත්පත්තිය, කර්මය ආදී දේ නැතැයි කීම හෝ මන්ත‍්‍රකරුවන් කට්ටඞීන් ආදීන්ට පහර ගැසීම නොව ඊට වඩා අර්ථවත් වු දෙයක් බව ඒ අනුව පැහැදිලි විය යුතුය. එය සෑම දෙයක්ම නැතැයි කියන නත්‍යර්ථවාදයක් හෝ ශුන්‍යවාදයක් නොවේ. එසේ වුවද එය ආගමක්සේ එල්ලී සිටිය හැකි දෘෂ්ටියක්ද නොවේ. ආගම්වලට මෙන් ජනතාව අතර පැතිරවීම සඳහා විශේෂ මතයක් හෝ අදහසක් හේතුවාදය සතුව නැත.

"
ආගම් මෙන් තම සාමාජිකයින්ගේ සිතීමේ නිදහස මොට කරන දහමක් හෝ මතවාදයක් හේතුවාදයෙන් ඉදිරිපත් නොකෙරේ" යැයි කොවුර්ද 1969 වසරේ හේතුවාදී සඟරාවට ලියමින් ප‍්‍රකාශ කළේය.

හේතුවාදී චින්තන ක‍්‍රමයක් බුදුන්ගේ දහමෙහි පැහැදිලි ලෙසම දක්නට ලැබේ. එබැවින් හේතුවාදය ලක් වැසියන්ට මෙන්ම පෙරදිග රටවලටද අලූත් දෙයක් නොවේ. බුදුන්ගේ දහම ගැන කරුණු හැදෑරු අපරදිග විද්වතුන් අතරටද මේ චින්තන ක‍්‍රමය පැතිරී තිබුණි. කෙසේ වුවද දැනට අප හේතුවාදය යන වචනය භාවිතා කරන්නේ Rationalism යන ඉංග‍්‍රිසි පදය වෙනුවටයි. එබැවින් ඒ පදය යෙදෙන්නේ කුමන අර්ථයෙන්දැයි මඳක් සොයා බැලීම වටී. (මේ වචනයේ භාවිතයද මේ වන විට වෙනස් වෙමින් පවති. යුරෝපයේ දැන් එයට Humanism - මානව වාදය කියාත් ආසියා අප‍්‍රිකානු රටවල Free Thinker නිවහල් චින්තකයා කියාත් භාවිත වේ.)


හේතුවාදයේ ඉතිහාසය

පුළුල් අර්ථයෙන් සැලකු කල හේතුවාදය ක‍්‍රි. පු. 6 වැනි සියවසේදී පමණ ග‍්‍රීසියේ බිහිවියැයි තම 'The Thinker's Handbbok' නම් ග‍්‍රන්ථයෙහි හෙක්ටර් හෝට්න් ප‍්‍රකාශ කරයි. ඒ අනුව හේතුවාදය ප‍්‍රථමවරට බිහිවුයේ එකල බුද්ධිමතුන් විශ්වය ගුප්ත දෙයක්ය යන මතය බැහැර කරමින් එහි යථා ස්වභාවය සෙවීමට ගත් උත්සහයෙනි. මේ ගවේෂණයේදී සමහර බුද්ධිමතුන් තම තර්කණය භාවිතා කිරීමට පටන් ගත් බව පෙනේ. ඔවුන්ගේ සමහර අදහස්වල කිසිම අර්ථයක් නැති වුවද වෙනත් ඒවා පුදුම සිතෙන තරම් නිවැරදිය. ඔවුන්ගේ පරමාණුක න්‍යාය ඉන් එකකි. පෘථිවිය සුර්රයා වටා ගමන් ගනිතැයි ඇරිස්ථාකුස් ප‍්‍රකාශ කළේ කුමන පදනමක් මතදැයි අද අපි නොදනිමු. මෙවැනි අදහසක් ගැන කිසිවකුත් සිහිනෙන්වත් නොසිතු කාලයයි මේ. ඉරටොස්තීනස් ඉතාමත් විද්‍යානුකුල ක‍්‍රමයක් මගින් පෘථිවියේ පරිධිය බොහෝ දුරට නිවැරදි ලෙස ගණනය කළේය. මේවා කළ හැකි වුයේ තර්කණය නම්වු මෙම නව උපකරණය නිසාය. අපරදිග රටවල හේතුවාදයේ ආරම්භය මෙයයි.

ක‍්‍රිස්තියානි ආගමේ පැතිරීමත් සමගම මේ බුද්ධිමය ප‍්‍රබෝධයට මරු පහරක් වැදුණේය. සැබැවින්ම විද්‍යාවේ ප‍්‍රගතිය මේ මගින් වසර දහසක් ආපස්සට ගියේ යැයි හෙක්ටර් හෝට්න් ප‍්‍රකාශ කරයි. උදාහරණ සහිතව දීර්ඝ ලෙස විස්තර කළයුතු මේ කාරණය සවිස්තරව දැක්වීමට මෙහිදී අවස්ථාව නැත. බයිබලයේ දැක්වෙන කරුණුවලට වෙනස් වු අදහස් පළ කිරීම ගැන ගැලීලියෝ බන්ධනාගාරගත කරන ලද බව කවුරුත් දනිති. කෙසේ වුවද 16වැනි සියවසේදී පමණ බුද්ධිවාදයේ නව ප‍්‍රබෝධයක් උතුරු යුරෝපයේ පැන නැංගේය.

19
වැනි සියවසේ මැද භාගයේ ‘The Origin of Species’(ජිවින්ගේ සම්භවය) සහ 'The Descent of Man' (මිනිසාගේ පරිණාමය) යන පොත් දෙක චාල්ස් ඩාවින් විසින් ප‍්‍රකාශයට පත් කරන ලද විට ඒ පිළිබඳව මහත් කලබැගෑනියක් ඇතිවිය. මිනිසා වානරයාගෙන් පැවත එන බැව් ඩාවින් කියා සිටියේය. මේ වනවිට ආගම්වාදීන්ගේ දැඩි විශ්වාසය වුයේ බයිබලයේ දැක්වෙන පරිදි ක‍්‍රි. පු. 4004දී දෙවියන් වහන්සේ විශ්වය නිර්මාණය කළ බවත් මිනිසාගේ සියළු දුකට මුල ආදම් සහ ඒව විසින් කරන ලද පාපකර්මය බවත්ය. ඩාවින්ගේ අදහස් මේ විශ්වාසවලට දැඩි පහරක් විය.

අවුරුදු 150කට පමණ පෙරදී කි‍්‍රස්තියානි ආගමේ මුලික ඉගැන්විම් ගැන නව ක‍්‍රමයකට සැක පළ කිරීමට විද්වත්හු බොහෝ දෙනෙක් ඉදිරිපත් වුහ. ඔවුන්ගේ අදහස් එකිනෙකට සමාන නොවුනද ඔවුන් විසින් නව සංකල්පයක් සමාජය වෙත ඉදිරිපත් කරන ලදී. විද්‍යාත්මක චින්තන ක‍්‍රමයක් සඳහා එම සංකල්පය සුදුසු තෝතැන්නක් විය.

ආගමික මත හා ශුද්ධවු ලේඛනවල ඉගැන්වීම් බැහැර කළ මොවුහු හේතුවාදියෝ වුහ. බුද්ධියට හා තර්කණයට මුල් තැන දුන් ඔවුහු බයිබලයේ විශේෂ පුජනීයත්වයක් නැතැයි සැලකුහ. ඔවුන් විසින් ගරු කරන ලද්දේ සත්‍යයට හා යථාර්ථයටයි. ආගමික මත කෙරෙහි ඇති භක්තිය තෝමස් හෙන්රි හක්ස්ලි හැඳින්වුයේ ‘අශිෂ්ට’ (the lowest depth of immorality) එකක් ලෙසයි. විද්‍යානුකුලව සාක්‍ෂි නොමැතිව සත්‍යයක් වුවද පිළිගැනීම පාප කර්මයකැයි ඩබ්ලිව්. කේ. ක්ලිපර්ඞ් ප‍්‍රකාශ කළේය.

මේ බුද්ධිමත් පිරිස සංඛ්‍යාවෙන් සුළුවු බව ඇත්තකි. එහෙත් යුරෝපයේ චින්තන ක‍්‍රමය නව මගකට යොමු කිරිමට ඔවුන්ගෙන් ඉටුවු මෙහෙය අති විශාලය. සැබැවින්ම ක‍්‍රි. පු. 6 වැනි සියවස කාලයේ සිට වර්තමාන කාලය දක්වා යුරෝපයේ හේතුවාදයට මුහුණ දීමට සිදුවු ප‍්‍රධානම අභියෝගය ක‍්‍රිස්තියානියයි. මේ ගැටීමේදී වරින් වර හේතුවාදය ලැබු දැඩි පහරවල් හා පරාජයන්ද බොහෝය.

The Ethical Movement
සහ National Secular Society මෙන්ම Rationalist Press Association වැනි සංවිධාන පසුගිය සියවසේදී එංගලන්තයේ බිහි වුයේ හේතුවාදයේ ප‍්‍රබෝධය නිසයි. ඒ දක්වා හේතුවාදයේ නැගිම් හා බැසිම් පිළිබඳ ඉතිහාසය දිග කතන්දරයකි. එය සවිස්තරව දැක්විමට වෙනම පොතක් ලිවිය යුතුය.

අඥෙයවාදය (Agnosticism) යන නව ව්‍යාපාරයක්ද මේ කාලයේදී එංගලන්තයේ බිහිවිය. එයද හේතුවාදයට සමානකම් ඇති එකකි. 1884දී නිකුත් කරන ලද ‘Agonostic Annual’ නම් සඟරාවේ එය හඳුන්වන්නේ මෙසේය.

පුරාණ වුවද නුතන වුවද විද්‍යාවේ සාරය අඥෙයවාදයයි. එයින් අදහස් වන්නේ දැනගැනීම හෝ විශ්වාස කිරීම සඳහා විද්‍යාත්මක සාක්‍ෂි නොමැති කිසිවක් තමා දන්නා හෝ විශ්වාස කරන බව කිසිවකු විසින් කියා සිටිය යුතු නැති බවයි.’’

අඥෙයවාදය යන පදය මුලින්ම හක්ස්ලි විසින් පාවිච්චි කරන ලද්දේ 1869 තරම් ඈතදීය. දෙවියන් නොසිටිතැයි හො සිටිතැයි අඥෙයවාදියා නොකියයි. හර්බට් ස්පෙන්සර් දැක්වු පරිදි අප විශ්වාස කරනදේත් විද්‍යාව නොදන්නාදේත් ආගමට අයත් වේ.

තමා විසින් තනා ගන්නාලද අඥෙයවාදය යන පදය ගැන ‘Science and Christian Tradition’ නම් පොතේ හක්ස්ලි මෙසේ දක්වයි.

"
මගේ බුද්ධිය මෝරා ගිය කල්හි මා දේවවාදියකුද, අදේවවාදියකුද, බහුදේවවාදියකුද නැතහොත් ද්‍රව්‍යවාදියකුද එසේත් නැත්නම් ක‍්‍රිස්තියානුකාරයෙකුද, නිදහස්ව සිතන්නෙකුද යන ප‍්‍රශ්නය මගෙන්ම ඇසුවෙමි. කරුණු හදාරත්ම, කල්පනාව මෙහෙයවත්ම මට පෙනී ගියේ මේ ප‍්‍රශ්නයට පිළිතුරු සොයා ගැනීම අපහසු බවයි. අන්තිමේදී අවසානයට සඳහන් කරන ලද දෙය ගැන මිස අන් කිසිම වාදයක් ගැන මට දැනීමක් හෝ මගේ සම්බන්ධයක් හෝ නොමැති බව පෙනී ගියේය. බොහෝ දෙනා එකඟ වන කරුණු ගැන මට එකඟ විය හැකි නොවීය. මිනිසාගේ පැවැත්ම ගැන තමාට අවබෝධයක් ඇතැයි ඔවුන් සිතු අතර මට එවැනි අවබෝධයක් නොමැති බව පැහැදිලිවිය. අඥෙවාදය යන පදය මා භාවිතා කළේ මේ තේරුමෙනි."

"අඥෙවාදය කිසියම් දහමක් හෝ න්‍යායයක් නොව යම් විධි ක‍්‍රමයකි. එහි මුලික හරය නම් එක්තරා විධි ක‍්‍රමයක් දැඩිසේ අනුගමනය කිරීමයි. එනම් බුද්ධිමය කරුණු සම්බන්ධයෙන් අන් සියලූ දේ නොතකා, හැකිතාක් දුරට තර්කණය භාවිතා කළ යුතු බවයි. අනෙක් අතට නිරූපනය කොට පෙන්නුම් කළ නොහැකි දේ ගැන ස්ථිර නිගමනයක් නොගත යුතු බවයි."

තවත් තැනතදි හක්ස්ලි මෙසේ ප‍්‍රකාශ කළේය. "සැක කිරීම අපේ ලොකුම යුතුකමයි. අන්ධ භක්තිය සමාව දිය නොහැකි පාප කර්මයකි. Ethics Of Belief නම් පොතේ ක්ලිපර්ඞ්ද මීට සමාන අදහසක් පළ කරයි.

සෑහෙන තරම් සාක්‍ෂි නොමැතිව යමක් විශ්වාස කිරීම කවුරුන් කළත් සෑම විටදීම, සෑම තැනදීම වරදක් වේ.” එංගලන්තයේ මෙකලදී ඇති වුණු බුද්ධි ප‍්‍රබෝධය හා එහි තේමාව කුමක්දැයි සාමාන්‍ය අවබෝධයක් පෘඨකයාට මේ අනුව ලබා ගත හැකිවේයැයි සිතමි. ඒ ගැන හැඳින්විමක් පටන් ගත් විට එය දිගින් දිගට විස්තර කිරීමේ ආශාව මා මැඬ ගන්නේ වල් අලියකු මෙල්ල කරන්නා සේ දැඩි ආයාසයකිනි. පාඨකයා වුවද මේ ගැන පුළුල් ලෙස කරුණූ හැදෑරීමට ආශාවක් දක්වන බවට සැකයක් නැත. එබැවින් ඒ සඳහා මෙහිදී අවස්ථාවක් නැතිවීම ගැන සැබවින්ම කණගාටුවෙමි.

එංගලන්තයේ විසු මේ බුද්ධිවාදිහු පිරිස අද අප දන්නා හේතුවාදයේ ආදි කර්තෘවරු වෙති. ලෙකී විසින් ලියන ලද ‘History of the Rise and Influence of Spirit of Rationalism in Europe’ යන ග‍්‍රන්ථයේ මේ වචනය භාවිතා කර ඇත්තේ මේ තේරුමෙනි.


 

ලංකාවේ හේතුවාදය ප‍්‍රථම වරට ආරම්භ කරන ලද්දේ එක්දහස් නවසිය හැට ගණන්වලදී කොවුර් විසිනි. යුරෝපයේදී ආගමට අභියෝගයක් වු ඒ රටවල හේතුවාදී සංවිධාන මෙන් ලංකා හේතුවාදී සංගමයේ ප‍්‍රධාන ප‍්‍රහාරක ඉලක්කය වුයේ ආගම නොවේ. මෙයට හේතු නැත්තේ නොවේ.

යුරෝපා රටවල ආගම, විශේෂයෙන් කතෝලික ආගම ඉතා දැඩි ලෙස කේන්ද්‍රව සංවිධානයවි තිබුණි. එම ආගමේ භක්තියට හා විශ්වාසට ලැබුණේ මුල් තැනකි. ශුද්ධවු බයිබලය දේව වාක්‍යයක් සේ සලකනු ලැබු අතර බයිබලයේ සඳහන් කවර දෙයකට වුවද වෙනස් වු ප‍්‍රකාශයක් කිරීම දෙවියන් වහන්සේට විරුද්ධ වීමක් ලෙස සලකන ලදී.

මේ හේතු නිසාම පෘථිවිය ගෝලාකාර බව සොයා ගැනීම, මෝහන විද්‍යාව, ශල්‍ය කර්ම විධි, නිර්වින්ධන ඖෂධ, පවුල් සංවිධාන, දික්කසාද, ගබ්සාවන්, කෘතිම සිංචනය, නළ දරුවන්, හදවත් බද්ධය, කොටින්ම විද්‍යාව තැබු සෑම ඉදිරි පියවරක්ම දෙවියන් වහන්සේට විරුද්ධ විමක් ලෙස සැලකිණි. මන්දයත් මෙබඳු දේ බයිබලයේ දැක්වෙන අදහස් හා ගැටෙන නිසාය. මෙවැනි තත්වයක් යටතේ යුරෝපයේ හේතුවාදයේ ප‍්‍රධන හතුරා ආගම වීම පුදුමයක් නොවේ.

ලංකවේ තත්වය මීට වඩා වෙනස්ය. මෙහි ප‍්‍රධාන ආගම වන බුදු දහම, ක‍්‍රිස්තියානි මෙන් දැඩි ලෙස කේන්ද්‍රගතව සංවිධානයදවී නැත. එසේම භක්තිය හා විශ්වාසය බුදු දහමේදී ප‍්‍රකාශීත ලෙසම බැහැර කොට තිබේ. භාවිතයේදී කෙසේ වෙතත් දර්ශන පක්‍ෂයේදී එමගින් බුද්ධියට හා නිදහස් චින්තනයට මුල් තැනක් ලැබේ. තමා ලංකාවට ප‍්‍රිය කළේ මේ නිසායැයි කොවුර් නැවත නැවතත් ප‍්‍රකාශ කළේය.

සැබැවින්ම ලංකා හේතුවාදී සංගමය විසින් වාර්ෂිිකව ප‍්‍රකාශයට පත් කරන ලදිඍ්එසදබ්කසිඑ ්පඉ්ිි්ාදර’ සඟරාවේ සෑම කලාපයකම කාලාම සුත‍්‍රයේ ඡේදයක් මාතෘකා පෘඨයක් ලෙස මුලින් යොදා තිබේ. ත‍්‍රිපිටකය ගැන පුළුල් දැනීමක් තිබු කොවුර්ට බුදු දහමේ තිබු මේ හේතුවාදී දර්ශනය හොඳ හැටි දැක ගත හැකි විය. සඟරාවේ සෑම කලාපයකම දක්වා ඇති මාතෘකා පාඨය මෙසේය.

හේතුවාදී වන්න...

කාලාමයිනි! නිශ්චයකට නොඑළඹ සැක කිරිම ඔබට වටනේමය. අවිනිශ්චිතබව ඔබ තුළ ඇතිවන්නේ සැකසහිත දේ ගැනයි. කවුරුත් කී දේ ඒ ලෙසින්ම පිළිනොගන්න. පරම්පරාවෙන් පැවත ආ පමණින් පිළිනොගන්න. ආරංචි වු පමණින් පිළි නොගන්න.”
(
කාළාම සුත‍්‍රයේ හරය)

මේ තත්වය යටතේ ආගමේ නමින් පවතින කූට සංස්ථාවල ව්‍යාජ හා වංචනික ස්වභාවය පෙන්වාදීම හැර දර්ශනය පක්‍ෂයෙන් හේතුවාදය සහ බුදු දහම අතර ගැටුමක් තිබිය නොහැක. ඇත්ත වශයෙන් බුදු දහම හේතුවාදී දහමකි.
(මේ පිළිබඳ මගේ අදහස ලිපියේ අග අමුණා ඇත.)

එසේ වුවද බටහිර රටවල ආගම විසින් කරන ලද හානිකර බලපෑම්ද ලංකාවේ සමාජය පුරා පැතිරි තිබුණු අවිද්‍යාත්මක මිථ්‍යා විශ්වාසද මේ රටේ සමාජයට විශාල තර්ජනයක් වුයේය. ලංකාවේදී හේතුවාදයේ ප‍්‍රහාරක ඉලක්කය බවට ආගමට වඩා එකී විශ්වාස පත් වුයේ ඇයිදැයි මේ අනුව පැහැදිලි වනවා ඇත. ඒ මිස යන්ත‍්‍ර මන්ත‍්‍රකරුවන්, කට්ටඞීන්, සෙත් කවී, වස් කවී කාරයන්, ජ්‍යොතිෂකාරයින් වැනි උදවිය සමඟ කොවුර් තුළවු පෞද්ගලික අමනාපයක් නිසා ඇති වුණු තත්වයක් නොවේ මෙය. ඒ වනාහි දේශිය අවශ්‍යතාවලට අනුව හේතුවාදය භාවිතා කිරීමක් පමණකි.

ව්‍යවස්ථාවේ දැක්වෙන පරිදි ලංකා හේතුවාදී සංගමයේ අරමුණු මේවාය.


1.               තර්කයට හා ගවේෂණයට ලක් කළ හැකි සෑම දෙයක් පිළිබඳවම සත්‍යය අසත්‍යයෙන් වෙන් කොට ගැනීම.

2.               මතවාදය හා දෘෂ්ටි වලින් නිදහස් වු බුද්ධිමත් චින්තන ක‍්‍රමයක් ගැන රටේ උනන්දුවක් ඇති කිරීම.

3.               සාකච්ඡුා සභා, ප‍්‍රසිද්ධ දේශන, සම්මන්ත‍්‍රණ ආදිය පැවැත්විමෙන්ද පොත් හා සඟරා පළ කිරිමෙන්ද චින්තනයේ නිදහස ප‍්‍රබෝධ කිරීම.

4.               ජාතිය, ආගම්, කුලය, ජනඅදහස් අනුව ඇති කොට ඇති සමාජයීය, දේශපාලන හා ආර්ථික බාධාවලට විරුද්ධ වීම.

5.               මනා සාමාජික හා පෞර්ශික ජිවිතයක් සඳහා අවශ්‍ය බුද්ධිමත් හා සදාචාරාත්මක ලක්‍ෂණවලින් යුත් පුරවැසියන් ඇති කිරීම පිණිස ආගමෙන් ඈත් වුත්, සදාචාරවාදි වුත් අධ්‍යාපන ක‍්‍රමයක් දිරිමත් කිරීම.

හේතුවාදයට එරෙහි ‘තර්ක’

හේතුවාදී චින්තන ක‍්‍රමයකට හැඩ ගැසී නැති එහෙත් සමහර අහේතුවාදීන් මෙන් දැඩි අන්ධ භක්තියෙන් යම් යම් විශ්වාස කෙරෙහි එල්ලීද නැති ‘මැද පිළවෙතක්’ අනුගමනය කරතැයි කිව හැකි විශාල පිරිසක් සිටින බව පෙනීයයි. සමාජ සම්මත මිථ්‍යා විශ්වාස පිළිබඳව ඔවුන් නිතර නඟන තර්කයන් නම් එය ඇතැයි ඔප්පුකර නැතිවාක් මෙන්ම නැතැයිද ඔප්පුකර නැති බවයි. මෙවැනි තර්කයක් අපට නිතර නිතරම හමු වී තිබේ.

එමසේ වුවද මෙය එතරම් තර්කානුකුල තර්කයක් නොවේ. උදාහරණයක් හැටියට පරචිත්ත විජානන ඥාණය සළකමු. එවැන්නක් සැබැවින්ම තිබේ නම් ඒ බව ඔප්පු කිරීමේ වගකීම පැවරෙන්නේ එසේ ඇතැයි කියන පක්‍ෂයටයි. එසේ ඔප්පු කර නැත්නම් එවැන්නක් නැතැයි යන පදනමෙහි පිහිටා කටයුතු කිරීම හැම අතින්ම සාධාරණය.

හේතුවාදීන් ප‍්‍රකාශ කරන්නේ එවැන්නක් නැති බවයි. එවිට ඒ පක්‍ෂයට එවැන්නක් නැති බව ඔප්පු කිරීමේ වගකීම පැවරෙන්නේ නැත. ඇතැයි කියා සිටින පක්‍ෂය ඒ බව ඔප්පු කර නැත්නම් එයින් ඔප්පු වන්නේ නැති බවයි. අස්ථියාර්ථය මිස නත්‍යර්ධයක් ඔප්පු කළ නොහැකි බව තර්ක විද්‍යාවේ මුලික සිද්ධාන්තයයි.

අනෙක් අතට ඇතැයි කියා සිටින පක්‍ෂය තම ප‍්‍රකාශය සනාථ කිරීම සඳහා ඉදිරිපත් කරන සාදක බිඳ හෙළීමෙන් නැතැයි කියා සිටින පක්‍ෂයට තම ප‍්‍රකාශය තහවුරු කළ හැකිය. හේතුවාදීන්ගේ උත්සාහය මේ ගණයට වැටෙන එකකි. ඒ අනුව නැතැයි ඔප්පු කිරීමේ වගකීමක් හේතුවාදීන් මත පැවරෙන්නේ නැත. තර්ක විද්‍යාව ගැන අවබෝධයක් ඇති උදවියට මේ කාරණය තේරුම් ගැනීමට අපහසු නැත.

එසේම නිතිය හැදෑරු අයටද මෙය පහසුවෙන් වටහා ගත හැකි කාරණයකි. උසාවියක් හමුවට ඉදිරිපත් වන කොයියම් නඩු කටයුත්තක වුවද යම් කාරණයක් ඔප්පු කිරිමේ වගතීම පැවරෙන්නේ එම කාරණය එසේයැයි කියා සිටින පක්‍ෂයට වීම උසාවි කාර්ය පටිපාටියේදි මුලික සිද්ධාන්තයකි.

යම් නඩු කටයුත්තකට පාර්ශව දෙකක් ඇත. අපරාධ නඩුවක් සැලකුවහොත් එහි පැමිණිලිකාර සහ විත්තිකාර පක්‍ෂය යනුවෙනි. විත්තිකාර පක්‍ෂය මුළුමනින්ම නිහඬව සිටියත් එම පක්‍ෂය යම් වරදක් කර ඇති බවට පැමිණිල පක්‍ෂයෙන් ඔප්පු නොකළහොත් සැලකෙන්නේ විත්ති පක්‍ෂය එම වරද කර නැති බවයි.

අනෙක් අතට විත්ති පක්‍ෂය වරදක් කර ඇති බවට පැමිණිලි පක්‍ෂයෙන් ඉදිරිපත් කෙරෙන සාක්‍ෂි බිඳ හෙළිමෙන්ද තමා චෝදිත වරද කර නැති බවට විත්ති පක්‍ෂයට ඔප්පු කළ හැකිය. මෙහිදීද පිළිගනු ලබන සිද්ධාන්තය නම් අස්ථියාර්ථය :ඡුදිසඑසඩැ ක්‍ක්සප* මිස නත්‍යර්ථය :භැට්එසඩැ ක්‍ක්සප* කෙළින්ම ඔප්පු කළ නොහැකි බවයි. මේ කාරණය මෙහිදී සවිස්තරව දක්වන ලද්දේ තර්කයට රැවටී සමහර ‘මධ්‍යස්ථ’ කණ්ඩායම් හේතුවාදී අදහස්වලට එකඟ නොවන නිසා ඔවුන්ගේ තර්කය පදනමක් නැති එකක් බව පෙන්වා දීම සඳහාය. වෙනත් විධියකින් කිවහොත් පරචිත්ත විජානන හෝ වෙනත් ඕනෑම එවැනි දෙයක් නැතැයි කෙළින්ම ඔප්පු කිරීමේ වගකීමක් හේතුවාදීන් වෙත පැවරෙන්නේ නැත.

(
මෙය ධර්මපාල සේනාරත්න මහතාගේ ‘‘හේතුවාදය සහ කොවුර්ගේ දර්ශනය’’ නම් ග‍්‍රන්ථයෙන් ආර්. ප‍්‍රනාන්දු විසින් සංස්කරණය කරන ලදී. නිතිඥ ධර්මපාල සේනාරත්න මහතා 2011 දෙසැම්බර් මස මියයන තුරු ශ‍්‍රී ලංකා හේතුවාදී සංගමයේ සභාපති විය.*




******************





*"
බුදු දහම හේතුවාදී දහමකි" - මා හිතන ආකාරයට මේ යෙදුමේ අඩුපාඩුවක් ඇත. හේතුවාදය දහමක් නොවන අතර දහමක් හේතුවාදී විය නොහැක. වඩාත් නිර්වද්‍යව කිව හැක්කේ බුදු දහමේ දේව ආගම් වල නැති හේතු වාදින්ට පිළිගත හැකි අදහස් සමුහයක් ඇති බවය. එයින් සමහරක් මෙසේ සම්පින්ඩනය කළ හැක.


1.               ලෝකයේ ආරම්භයට මැවුම්කාර දෙවියෙක් නැහැ. පඨවි, ආපො, තේජො, වායෝ වැනි ඉන්ද්‍රියන්ට ගෝචරය වන ද්‍රව්‍ය සහ බලය අනුවයි සියල්ල ඇති නැති වෙන්නේ.

2.               බුදුන්ගේ විධි ක‍්‍රමය හේතු ඵලවාදීයි. දැනුම ලැබෙන්නේ දෙවියෝ, බ‍්‍රහ්මයා (ඔක්කොම පිරිමි!) හෝ ‘ඔහුගේ’ ඒජන්තයින්ගෙන්වත් ‘සුද්ධ වූ’ පොත පතින්වත් නොව, මහන්සිවී හේතු සාධක, පර්යේෂණ අනුව සත්‍ය ප‍්‍රත්‍යක්‍ෂ කර ගැනීමෙනි.

3.               බුදුන්ගේ දර්ශණයේ කේන්ද්‍රය මනුෂ්‍යයා මිස දෙවියන් නොවේ ‘‘ බඹයක් පමන වූ මේ ශරීරය සහ මනස තුල ආරම්භයත්, පැවැත්මත්, අවසානයත් විස්තර කරමි.(සංයුක්ත නිකාය)

4.               ප‍්‍රශ්න කිරීමට, උගන්වන දේ සැක කොට, විභාග කොට, පිළි/නොපිළි ගැනීමේ අයිතිය ( කාලාම සූත‍්‍රය)*

5.               අදහස් උදහස් වාරණයෙන් තොරව ප‍්‍රකාශ කිරීමේ නිදහස සහ අයිතිය. යම් ‘බලධාරියෙකුගේ ’ අවසරයක් අනවශ්‍යයයි.

6.               විද්‍යාඥයින්ගේ අදහස් සහ පර්යේෂණවලට ‘පූජක උසාවි’ මගින් වද හිංසා හෝ මරණ දණ්ඩනය නොපැමිණ වීම.

7.               අනාත්මවාදය - සත්වයාට ඇත්තේ කය සහ මනස පමණි යන ඉගැන්වීම.

8.               අනිත්‍යය - සියළු දේ වෙනස්වෙමින් පවතින බවත්, සදාකලික කියා කිසි ‘කෙනෙක්’ හෝ ‘දෙයක්’ නැති බව.

9.               ජාතිය කුලය වැදගත් නැති බව.

10.        මැරීමට, යුද්ධයට සහ යුධ භාණ්ඩ පරිහරණයට ඇති විරෝධය.

බෞද්ධ ජනයා අතර හේතුවාදය ප‍්‍රචලීත කිරීමට මේ කරුණූ පිටුවහලක් වනු ඇත.

නමුත් ප‍්‍රායෝගිකව ගත්කල වත්මන් ශ‍්‍රි ලාංකීය සමාජයේ ‘බුද්ධාගම’ මේ අදහස් වලින් සැහෙන ප‍්‍රමාණයකට ඇත්වි ඇත. මෙය විස්තර කිරිමට ජ්‍යෙෂ්ඨ ලේඛිකාවක් වන තිසරණී ගුණසේකර මහත්මිය මෑතකදී රාවයේ පළකල ලිපිය මඳක් සංස්කරණය කර මෙහි අමුණා ඇත.



ආර්. ප්‍රනාන්දු

කොයි බුදුන්ද? කාගේ බුද්ධාගමද?’



තිසරණී ගුණසේකර
(2014
අගෝස්තු 2)


දුටුගැමුණු රජතුමා සිය මුල්ම යුද්ධය කළේ පවුල තුළය. මහාවංශයට අනුව තම බාල සොහොයුරු තිස්සට එරෙහිව යුද්ධ කළේය. ඔහු විසින් සුළු රජවරුන්ට එරෙහිවත් අන්තිමට එළාර රජුට එරෙහිවත් යුද්ධ ගෙන ගියේ එසේ තම ඔටුන්න සුරක්ෂිත කර ගැනීමෙන් පසුවය. මහාවංශයට අනුව මේ සිවිල් ගැටුම්වලදීද දහස් ගණනක් ජීවිත නැතිවී තිබේ. මෙහිදී මියගිය අය සිංහල බෞද්ධයන්යැයි සිතීම සාධාරණය. එහෙත් තම සහෝදර ආගමිකයන් මෙසේ කෲර ලෙස ඝාතනය කිරීම ගැන මහාවංශය කිසිම වචනයක් පවසන්නේ නැත. මහාවංශය පවසන ලෙසට ඔහුගේ සිත කම්පනයට පත්වන්නේ එළාරට එරෙහිව කරන ලද යුද්ධයේදී සිදුවූ මරණ ගැනය. මෙහිදී භික්ෂූන් පසුතැවිලිවීමට හෝ බියවීමට කිසිදු හේතුවක් නැතැයි දුටුගැමුණු රජු අස්වසා ඇත. ‘මේ කි‍්‍රයාවන්ගෙන් ඔබතුමා දෙව්ලොව යන ගමනට බාධා සිදුවන්නේ නැත. ඔබ විසින් මරා ඇත්තේ මිනිසුන් එකහමාරක් පමණි. එක් කෙනෙකු තෙරුවන් සරණ ගිය තැනැත්තෙකු වන අතර අනෙකා පන්සිල් පමණක් ගත්තෙකි. සෙස්සන් ආගම නොඅදහන මිථ්‍යා දෘෂ්ටිකයන් වන අතර ඔවුන් ගැනෙන්නේ තිරිසනුන් ගණයටය. ඔහු බලයට පත්වීමට කරන ලද මනුෂ්‍ය ඝාතන ඇතුළත් කළහොත් මේ සහතිකය හරියන්නේ නැත. මහාවංශය එක යුද්ධයකදී ඇති වූ සිත් කම්පාව ගැන පමණක් සලකන්නේ මිථ්‍යා දෘෂ්ටිකයන් තිරිසනුන්ටත් අන්තය. ඔවුන් මැරීමෙන් කිසිදු පවක් සිදු නොවේ. ආගම වෙනුවෙන් යුද වැදීම කෙළින්ම දෙව්ලොව යෑමට හේතුවන්නකි’ යන අලූත් මිථ්‍යාව ගොඩනැංවීමටය.

මේ මතයට බලගතුකමක් හා නීත්‍යනුකූලකමක් ලබාදීමට මහානාම භික්ෂුව මෙය රහතුන්ගේ මුවට නංවාලයි. එසේ කරන්නේ බුදුන් මේ සම්බන්ධව දක්වන අදහස ඉතා පැහැදිලි බැවිනි. පර පණක් නැසීම මනුෂ්‍යයෙක් වේවා සත්වයෙක් වේවා පාපයකි. ඉන් කිසිම ගැලවීමක් නැත.

සංයුක්ත නිකායේ ගාමිණී සංයුක්තයේ එන යෝධජීව සූත‍්‍රයේදී ගම් ප‍්‍රධානියෙකු වූ යෝධජීව බුදුන්ගෙන් විමසන්නේ යුද්ධයේදී සටන් වැද මියයන්නන් දෙව්ලොව යන්නේද යන්නය. බුදුන් තෙවරක්ම පිළිතුරු දීම ම`ගහරින අතර නැවත බලකිරීමේදී පිළිතුරු දෙන්නේ මෙසේය. ‘සටනකදී පහර දීමට වෙහෙසන විට සටන්කාමියකුට සිතෙන්නේ මොවුන් මරාදැමිය යුතුය, කපාදැමිය යුතුය, විනාශ කළ යුතුය යන අයුරිනි. ඒ අවස්ථාවේදී ඔහුට පහර දී ඔහු මරා දැමුවහොත් ඔහු නැවත උපදින්නේ නිරයේය.’ සටනේදී මිය යන්නන්ට සිදුවන්නේ මෙසේය. මෙහි කිසිදු වෙනස්වීමක්, විශේෂතාවක් නොමැත. බුද්ධාගම ආරක්ෂා කර ගැනීමට මිය යන්නන් දෙව්ලොව යන බවක් බුදුන් පවසා නොමැත.

මේ වෙනස් කළ නොහැකි නියාමය මහානාම භික්ෂුවට හෝ එකල පැවති ධාතුසේනගේ රාජ්‍ය තන්ත‍්‍රයට ගැළපෙන්නේ නැත. ධාතුසේන මහානාම හිමිගේ අනුග‍්‍රාහකයා වන අතර බෑණාද වේ. මාමා බෑණාද ඉදිරියට ගත්තේ රටට අවාසිදායක කාලයකය. ලංකාව අවුරුදු 30ක් තිස්සේ පාණ්ඩ්‍ය පාලනයට යටත්ව තිබුණේය. ධාතුසේන බලයට පැමිණියේ අවසන් පාණ්ඩ්‍ය රජු එළවා දැමීමෙනි. යුද්ධයේදී ඝාතන සිදුවේ. සමහරවිට ධාතුසේන අතින් මුල් සිල්පදය විශාල ලෙස බිඳෙන්නට ඇත. ඔහුගේ යුද්ධ භටයන් මරණින් මතු ජීවිතය ගැන සිතුවා විය හැක. මේ අවස්ථාවේදී මහානාම හිමි ඉදිරියට පැමිණ පව් නැති යුද්ධය’ යන මිථ්‍යාව නිර්මාණය කර රජු සහ භටයන් ධෛර්යමත් කරන්නට ඇතැයි සිතීම සාධාරණය. ඒ ඔවුන් සැනසීමටය.

මේ මතවාද ප‍්‍රචාරය කිරීමේදි මහානාම හිමි අතිශයින් සාර්ථක වී තිබේ. ඔහු බුදුන්ගේ ඉගැන්වීම කනපිට හරවා සම්පූර්ණයෙන් වෙනස් බුද්ධාගමක් නිර්මාණය කළ අතර එය ශතවර්ෂ 15ක් තිස්සේ ලංකා දේශපාලනය සකස් කිරීමට හේතුකාරක වි තිබේ.

සැබවින්ම බුදුන් මරා දැමුණේ 6වන සියවසේදීය. මහානාම හිමි බුද්ධාගම නැවත ලිව්වා පමණක් නොව ඒ යුදවාදී බුද්ධාගමට ගැළපෙන අලූත් යුදවාදී බුදුකෙනෙක්ද බිහි කළේය. මහාවංශයේ බුදුන් සිද්ධාර්ථ ගෞතම බුුදුන්ට ඉඳුරාම වෙනස්ය.

ති‍්‍රපිටකයේ හමුවන බුදුන් මෙන් නොව මහාවංශයේ බුදුන් කපටිකමින් සහ අධිමානුෂික බලය තුළින් සතුරන් මෙල්ල කරන්නෙකි. ඔහු බුදුන් කළ ලෙසට සියලූ සතුන්ට සම කරුණා දක්වන්නේ නැත. මහාවංශ බුදුන්ට බැඳීම් තිබේ. ඔහුට අවශ්‍ය අනාගතයේ සිය ධර්මය ආරක්ෂා වන ලංකාව රැුක ගැනීමය. මේ දේශපාලන ව්‍යාපෘතියේදී දෙවිවරු ඔහුගේ මිත‍්‍රයෝය. අපරාධකාරී විජය ඔහු විසින් යොදා ගැනෙන්නෙකි. ලංකාවේ මුල්වාසී රාක්ෂයෝ ඔහුගේ සතුරෝය. මහාවංශයේ බුදුන්, සැබෑ බුදුන් කිසිවිට නොකරන දේ කරයි. ලංකාවට පැමිණ යක්ෂයන්ට බණ දෙසනු වෙනුවට ඔවුන් එළවා දමයි. ති‍්‍රපිටකය තුළ නම් බුදුන් යක්ෂයන්ට සතුරන් ලෙසින් සලකා නැත. යක්ෂ සංයුක්තයේදී බුදුන් ආලවක යකා දමනය කරන්නේ ඉවසීම, සාධාරණය සහ ප‍්‍රඥාව තුළිනි. තවත් යක්ෂයෙකු වන සීවක අනාථපිණ්ඩික සිටුවරයා ඉදිරියට ගොස් බුදුන් හමුවන ලෙස තෙවරක් උනන්දු කර ඇත. එහෙත් මහාවංශයට අනුව පසුව දමිළයන් පත් වූ ලෙසට යක්ෂයන්ද උපතින්ම නරක එවුන්ය. මහාවංශ බුදුන් වර්ෂාව, කුණාටු සහ අන්ධකාරය මවා ඔවුන් භීතියට පත්කර ඇත. එසේකොට ඔවුන් ශුද්ධ භූමියෙන් එළවා දමා ඇත.

නූතන ලංකාව තුළ සිවිල් සාමයක් පවත්වා ගත නොහැක්කේ හිමිකරුවන්- පිටස්තරයන් යන සංකල්පය නිසාය. බෞද්ධයෝ තමන් මේ දිවයිනේ තනි අයිතිකරුවන් ලෙසටත් අන්‍යයන් පිටින් පැමිණි ආගන්තුකයන් ලෙසටත් සිතති. ඔවුන්ට රට තුළ කිසිම හිමිකමක් නැත. මේ අදහස වෙනත් මහාවංශ මිථ්‍යාවක් විසින් ඇතිකර තිබේ. මහාවංශයට අනුව බුදුන් සිය මරණ මංචකයේදී මගේ ධර්මය නොනැසී පවතින්නේ ලංකාවේ බැවින් එය ප‍්‍රවේශමින් සුරකින ලෙස දෙවියන්ගෙන් ඉල්ලා තිබේ. බුදුන්ගේ අවසාන දින කීපය මහාපරිනිබ්බාණ සූත‍්‍රයේ පැහැදිලිව දක්වා තිබේ. එහෙත් ඒ තුළ බුදුන් කළ මෙබඳු ඉල්ලීමක් ගැන කිසිම සඳහනක් නැත.

සිය ධර්මය පිරිසිදුව ආරක්ෂා වන්නේ මේ කුඩා දුපත තුළ යයි බුදුන් කිසිවිටක පවසා නැත. එය ආරක්ෂා කරන ලෙස කිසිවිටක දෙවියන්ගෙන් ඉල්ලා නැත. පවරාදීමේ කතාවද මහානාම ගොඩනැගූ තවත් මිථ්‍යාවක් වේ.

යෝධජීව සූත‍්‍රයේදී බුදුන්ගේ පිළිතුර ඇසූ යෝධජීව හ`ඩන්නට විය. ඔහු හ`ඩන්නේ බොරු ගුරුවරුන් විසින් දිගුකලක් තිස්සේ සටනේදී මියගිය අය සුරපුර යන බවට ඔහු රැුවටූ නිසා බව බුදුන් පෙන්වා දුන්නේය.

මහානාම නම් දේශපාලන භික්ෂුව මහාවංශය ලියා ශතවර්ෂ 15ක් ගතවූ පසුවද ඔහුගේ ගිහි සහ පැවිදි අනුප‍්‍රාප්තිකයන් විසින් අප රවටනු වංචාකරනු මුළා කරනු ලැබ ඇත.

මහාවංශ බුද්ධාගම ප‍්‍රකාශ කරන්නේ ලංකාව බෞද්ධයන්ගේ ශුද්ධ දේශය බව හා බෞද්ධයන්ට අබෞද්ධයන් සමග මෙහි වාසය නොකළ හැකි බැවින් යුද්ධ කර ඔවුන් එළවා දැමීම පාපයක් නොවන බවය. මේ මිථ්‍යාව විසින් මෙහි බහුතර සුළුතර සබඳතා අවුල්කර හිංසාකාරී නොඉවසීමක් ඇතිකර තිබේ. අපගේ ඉතිහාසය දේශපාලනය සහ බුද්ධාගම මහානාම හිමියන් හා ඔහුගේ ගෝලයන් ගෙතූ මෙම මිථ්‍යාවන්ගෙන් නිදහස් කර ගන්නා තුරු ලංකාවට සාමයක් උදාකළ නොහැකි වනු ඇත.

(
බෞද්ධ දර්ශණය ලෝකයේ සියළු දියුණු රටවල ව්‍යාප්තවී ඇත. ලංකාවේ භාවිතයෙදී මෙසේ විකෘති වුවද දේව ආගම් වල නැති එහෙත් බුදු දහම සහ හේතුවාදයේ අතර ඇති සීමිත සමබිම ආරක්‍ෂා කිරීම අපගේ යුතුකමක් බව මගේ වැටහීමයි. වැඩි විස්තර සඳහා මා ලියු ‘‘ඔබ බෞද්ධයෙක්ද?’’ ලිපිය කියවන්න.)


Post a Comment

أحدث أقدم