නිරාගමිකයින් නැණවතුන් වන්නෝය
කිරුළපන ධම්මවිජය හිමි විසින් පවත්වන ලද දේශනයක් ඇසුරින් සකස් වූ “කාලාම සූත්‍රය සමූහ දූෂණයට ලක් කරන්න එපා” යන හිසින් යුතු ලිපියක් 2022 ජනවාරි 30 වන දා ඉරිදා අරුණ පුවත්පතේ අරණ සංග්‍රහයෙන් කියවන්නට ලැබුණාට පසු ඒ පිළිබඳ මාගේ අදහස් ලියා එවමි.
අද වන විට ලොව පුරා සිටින බෞද්ධාගමිකයින් කියාගන්නා ජනතාවට වඩා නිරාගමික ජනතා ප්‍රතිශතයක් සිටින්නේ ඔවුන් මෝඩයන් නිසා නොව, විද්‍යා ලෝකයේ නව සොයාගැනීම් සහ ස්වභාව ධර්මය පිළිබඳව මනා දැනුමක් මෙන්ම විවිධ ආගම් මගින් ප්‍රචාරය කරනු ලබන මිථ්‍යා මත සහ සංකල්ප පිළිබඳ මනා අවබෝධයක් නිරාගමිකයන් සතු නිසාය. පුනරුත්පත්තිය, රහත් බලෙන් අහසින් ගමන් කිරීම, පව්කළ අයට හිමිවන අපාදුක, පිංකළ අයට හිමිවන දිව්‍ය ලෝක සැප, උපන් මොහොතේ බිමට බැස ඇවිදීම, භූතයින්, ප්‍රේතයින් තැන තැන පෙනී සිටීම යනාදිය පිළිබඳ නිරාගමිකයින් විචාරය කරන්නේ පුහු මානය හෝ පුහු මෝඩකම නිසා නොව, අධ්‍යාපනය තුළින් ලබාගත් අවබෝධය පදනම් කොට කරුණු විග්‍රහ කිරීමෙන් පසුවයි.
ශ්‍රී ලංකාව මෙන්ම සෙසු රටවල් වලද ආගමික කණ්ඩායම් වල සාමාජිකයින් බොහෝ විට පරිහරණය කරන්නේ තම ආගමට අදාළ වූ පොත, පත, ලිපි ලේඛන පමණි. උදාහරණ ලෙස බෞද්ධාගමික චීවරධාරීහූ පිරිත්පොත, තුන්සූත්‍රය, පන්සිය පනස් ජාතක පොත, ත්‍රිපිටකය වැනි ග්‍රන්ථ දහ පහළොස් වතාවක් කියවා කටපාඩම් කර දහම් දෙසුම් වල දී ඒවාම වමාරනවා හැරෙන්නට බුද්ධිය මෙහෙයවා යථාර්ථවාදී මගට ජනතාව යොමු කරන අදහස් සමාජගත කරන්නේ නැත. ඊට අමතරව විද්‍යාවේ සහ තාක්ෂණයේ දියුණුව හරහා නිගමනය කොට ඇති සාධක ඇතුළත් විශ්වය, පරිසරය, ජීව පරිණාමය, වායු සහ ශබ්ද දූෂණය ආදී තේමා හා සම්බන්ධ ලියැවුණු යථා කරුණු අඩංගු ලිපි ලේඛන සහ ග්‍රන්ථ පරිහරණයෙන් ඈත්වීම නිසාම ආගම් වල අඩංගු මිත්‍යාවන් පෙන්වා දෙන අය මෝඩයින් ලෙසට නම් කරද්දි යථාර්ථය නොවැටහෙන තමාම මෝඩයෙක් බව ධම්මවිජය හිමි ඇතුළු චීවරධාරීන් රැසක් අවබෝධ කරගත යුතුව ඇත.
අද රාජ්‍යයන් බොහොමයක ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයින් සහ දාර්ශණිකයින් බොහෝ දෙනෙක් නිරාගමිකයින් බව නොරහසකි. දියුණු වන රටක් වන ශ්‍රී ලංකාව මෙන් නොව සෑම අතින්ම බොහෝ දියුණු ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජපානය වැනි රටවල විද්‍යාඥයින් සහ දාර්ශණිකයින් රැසක් නිරාගමිකයින් වන්නෝය. ආගම් බොහෝමයක් මිනිස් හිස් ගෙඩි තුළට රිංගවීමට විවිධ සංකල්ප යොදා ගැනීම සාමාන්ය දෙයකි. විශ්වයේ ආරම්භය, ස්වභාව ධර්මයේ ලක්ෂණ, සත්ව පරිණාමය ආදිය සම්බන්ධව පරීක්ෂණ, නිරීක්ෂණ සහ විශ්ලේෂණ හරහා ළඟාවී ඇති නිගමන වලට ලොවම එකඟ වෙද්දි මිථ්‍යා සංකල්පවලම එල්ලීගෙන සිටින අය දෙවියන්, භූතයින්, යක්ෂයින්, ප්‍රේතයින්, පිටසක්වල ජීවීන්, පුනරුප්පත්තිය, කුම්භාණ්ඩයින්, මහා බ්‍රහ්මයන්, විෂ්ණු ආදී එකී නොකී නාම මාත්‍ර කෙරේ ප්‍රශ්නයෙන් තොරව විශ්වාස තැබීම මෝඩකමක් බව කිරුළපන ධම්මවිජය හිමියන්ට නොවැටහීමට තරම් උන්වහන්සේ මෝඩ වී ඇති සේය.
මීට වසර බිලියන 14 කට පමණ පෙර සිදුවූ මහා පිපුරුම (BIG BANG) විශ්වයේ ආරම්භය බවට මෙන්ම වානරයාගෙන් ආරම්භ වී අද සිටින මිනිසා (Homosapiens) දක්වා සිදුවූ පරිණාමය (EVOLUTION) පුහු තර්ක නොව, සියයට සියයක් සාධක සහිතව ඔප්පු වී ඇති බව ධම්මවිජය හිමියන් නොදන්නවාද? පන්සිය පනස් ජාතක කතා ග්‍රීක (Greek) ජාතිකයින්ගේ විවිධ කතාන්දර රැසක පරිවර්තන බවට පෙන්වා දී ඇති විශ්ව විද්‍යාල ඇඳුරන් සමහර පශ්චාත් උපාධි පර්යේෂණ පත්‍රිකා වලින් පවා ඒවා ප්‍රසිද්ධියට පත් කොට ඇති බවට ධම්ම විජය හිමියන් දැනුවත් බවක් නොපෙනේ.
ගෞතම බුදුන් වහන්සේ ලොවට දෙසූ දර්ශනය අර්ථවත්ය. එය ලොව සෑම ජනයාටම සාධාරණ අරුතක් ලබා දෙන දර්ශනයකි. එහෙත් එම දහම ආගමක් ලෙසට ලේඛන ගත කොට ඇත්තේ බුදුරජුන් හෝ ආනන්ද හිමියන් විසින් නොව, වසර ගණනාවක් වාචිකව (AURAL) කටින් - කනට පැතිරී ගොස් බුද්ධ පරිනිර්වාණයට ශතවර්ෂ ගණනාවකට පසු ලිඛිත භාෂාවලට එකතුවී බව යථාර්ථයයි. එම නිසා අද අපි බෞද්ධ පොත් පත් තුළින් කියවන්නේ විටින් විට එකතු වූ සංකල්ප සමඟ මිශ්‍ර වූ, විකෘති අදහස් සමූහයකි. මෙනිසා බුදුදහම ලෙස අප කියවන, අසන දේශනවල නියම අරුත වටහා ගැනීමට කාලාම සූත්‍රයෙන් මිනිසුන් යොමු කර තිබෙන ලෙසම විමසා බලා සාධාරණය හෙවත් යථාර්ථය අපි විසින් වටහා ගත යුතුය. කියවන අසන බුදු දහමේ මිථ්‍යා කොටස් හෙවත් මිථ්‍යා සංකල්ප බැහැර කළ යුතුමය. එසේ සිදුකිරීම කාලාම සූත්‍රය සමූහ දූෂණයට ලක් කිරීම ලෙස පැවසීමට තරම් කිරුළපන ධම්මවිජය හිමියන් මන්ද බුද්ධික වී ඇති බව පෙනේ.
පොතපතින් කියවන හෝ දේශන තුළින් අසන කරුණු කාරණා විමසීමෙන් තොරව පිළිගැනීම මෝඩකම මිස යමක් විමසා බලා සත්‍ය යැයි පෙනෙන යථාර්ථය පිළිගැනීම නැනවත්කම වන්නේය.
කේ.ආර්. අභයසිංහ,
බාහිර කථිකාචාර්ය, විද්‍යා පශ්චාත් උපාධි ආයතනය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය
විශ්‍රාමික කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ
2022 පෙබරවාරි මස 15 දින ඉරුදින අරුණ පුවත් පතට යැවූ ලිපියෙන් උපුටාගැනුමකි.





إرسال تعليق