“දිවයින’ පුවත්පත් කාර්යාලයේ සිසේරියන් සැත්කම් 7000 ක් !

 

දිවයින’ පුවත්පත් කාර්යාලයේ සිසේරියන් සැත්කම් 7000 ක් !





පසුගිය බ්‍රහස්පතින්දා “දිවයින” පුවත්පතේ ප්‍රමුඛ මුල් පුවත වුයේ තව්හිඩ් ජමාත් දොස්තර සිංහල බෞද්ධ කාන්තාවන් 4000 ක් (ඔවුන්ගේ දරු උපත් අවසානයේ) වඳ භාවයට පත්කොට ඇති බවයි.

මේ පිළිබඳව සියලු තොරතුරු අනාවරණය වී ඇති අතර පුළුල් පොලිස් පරීක්ෂණ ඇරඹි ඇති බවද එහි පලකොට තිබුණි. (මින් මහත් වේදනාවට පත්වූ සුවිශේෂම කණ්ඩායම් වුයේ වැන්දබු කාන්තාවන්, අවිවාහක කාන්තාවන් හා ජාතියේ මුරදේවතාවුන්ය.)

මේ පුවත පාර්ලිමේන්තුවේ දී මෙන්ම රට තුලද මහත් ආන්දෝලනයට තුඩුදුන් අතර ඒ සම්බන්ධව පොලිසියෙන් හා රහස් පොලිසියෙන් ඉහල බලධාරීන්ද වහා විමසන ලදුව එවන් පුළුල් පරීක්ෂණයක් තබා එවැනි පැමිණිල්ලක් පවා ලැබී නොමැති බව මේ වනවිට හෙළිදරව් වී ඇත. හේමන්ත රන්දුනු නම් ව්‍යාජ පුවත් මවන්නා යනු තමන්ගේ මෙවන් ප්‍රබන්ධ වල ප්‍රතිවිපාක පිළිබඳව මන්ද බුද්ධික අනවබෝධයෙන් හා වගකීමකින් තොරව රට ගිනි තැබීම පිලිබඳ ‘කීර්තිමත් ඉතිහාසයක්’ ඇති අයෙකි. ‘දිවයින යනු එවැනි හිස්ටෙරික ලියන්නන්ට තෝතැන්නකි.

වෛද්‍යවරයෙකුට මෙවැනි සිසේරියන් සැත්කමකදී, අන් අයට නොපෙනෙන ලෙස වඳ සැත්කම් 4000 ක් සිදුකල හැකියැයි ප්‍රබන්ධ කිරීම විසින්, මේ පුවත මුද්‍රණයෙන් පිටවීමට ප්‍රථම එයට අනුමැතිය දුන් ප්‍රධාන කර්තෘ ඇතුළු සංස්කාර මණ්ඩලයේ විචාර බුද්ධියේ තරම මොනවට ප්‍රදර්ශනය කල තවත් අවස්ථාවක් වන බව නොකිවමනාය. මක්නිසාද සිසේරියන් සැත්කමක, තවත් වෛද්‍ය සහායක කණ්ඩායමක් සමග එකතුව කරනු ලබන්නකි.; එසේ නොමැතිව තනිව හොරරහසේ කළහැකි යමක් නොවේ.

මීටත් වඩා උත්ප්‍රාසය දනවන කාරණය වන්නේ මේ “දොස්තර” ගේ මේ දුර්දාන්ත කටයුත්ත හෙළි කිරීමට 3999 වන වඳ සැත්කමද අවසන් කරන තෙක් රහසේ නිරීක්ෂණය කිරීමට හේමන්ත රන්දුනු දැක්වූ තීක්ෂණ භාවයයි; ඔහුගේ ඉවසීමයි. වඩාත් මහජන ආකර්ෂණය දිනාගත හැක්කේ 4000 වැනි විශාල රවුම් ඉලක්කමකින් බවට ඔහුගේ අත්දැකීම් පරිචය විසින් අපට අවධාරණය කරයි. එසේ නොමැතිව ඔහු 84,000 ක් වනතෙක් මෙය හෙළි නොකලානම් අපි ඔහුට සමාව නොදෙමු.

කෙසේමුත් අපේ සිංහල බෞද්ධ උපාසිකාවන් මෙන්ම මේ පිළිබඳව නිරන්තර අවදානයෙන් සිටින ජාතියේ මුරදේවතාවුන් වෙත පහන් සංවේගය පිණිස දැනුම් දියයුතු සතුටු දායක පුවතක් මේවන විට ලැබෙමින් පවතී. එනම් එසේ පැලෝපීය නාල ගැටගසා වඳ භාවයට පත්කරන ලද එම බෞද්ධ කාන්තාවන්ගේ එම පැලෝපීය නාල වල ගැට හේමන්ත රන්දුනු ඇතුළු කණ්ඩායමක් විසින් යලි ලිහා දමමින් සිටින අතර එසේ යථා තත්ත්වයට පත්වූ බොහෝ කාන්තාවන් මේවනවිට මීළඟ දරු ප්‍රසුතියටද සුදානමින් සිටින් බවයි.

සිංහල ජාතිය එසේ වඳ කිරීමට ඉඩ නොදෙන වග මෙවරත් රටට සනාත කිරීම හා මේ යුග මෙහෙවර වෙනුවෙන් “දිවයිනට” ජාතියේ උත්තමාචාරය හිමිවිය යුතුය.

තාරක වරාපිටිය

Post a Comment

أحدث أقدم