මරණ දඬුවම - 2
අපරාධ වලට
දඬුවම් විඳිමින් සිරගතව සිටිමින් පවා මහා පරිමානව මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන
ජාවාරම් කරුවන්ට මරණ දඬුවම ලබා දීමට තීරණය කොට ඇති බැවින් එහි පළමු පියවරක් ලෙස
(අධිකරණයෙන් මරණ දඬුවම නියමවූ) සිවු දෙනෙකු එල්ලා මැරීම සඳහා අනුමැතිය ලබාදීම
අරබයා සමාජය තුල මහත් සංවාදයක් ගොඩනැගී ඇත. මේ අරබයා වන කථිකාවේ පෙනෙන්නට ඇති
කාරණය නම්, මරණ
දඬුවමට එරෙහි රාජ්‍ය තාන්ත්‍රික හා විදග්ධ කථිකාව එක් තලයක සීමිත ස්තරයක් අතර
සිදුවීමත්, පොදු මහජන
මතය හෙවත් ඊට පක්ෂ අදහස තවත් තලයක සිදුවීමත්ය. මේ පරතරය පියවමින් තොරව සිදුකෙරෙන
සංවාදය තුලින් සමාජය අලුත් දැනුමක් උපයාගන්නේ නැත. මරණ දඬුවමට පක්ෂ අය කල්පනා
කරන්නේ මේ පාදඩ නොමිනිස් ජාවාරම් කරුවන්ට අනුකම්පාවක් හෝ මේ සමාජයට තවදුරටත් වින
කිරීමට ඉඩක් හෝ නොතබා ‘ඉවත් කිරීම’ අප්‍රමාදව ඉටුකළ යුතු කටයුත්තක් බවයි. සමාජයට
පිලලයක්වූ පාතාලය හා අපරාධ වලට මූලික හේතුව මේ මත්ද්‍රව්‍ය ජාවාරම හා මත්ද්‍රව්‍ය
භාවිතය බව පැහැදිලිවීම මේ බරපතල තීන්දුවට හේතුව බැව් පැවසේ.
හුදෙක් මේ නරුම අපරාධකරුවන් සමාජයෙන් ‘ඉවත් කිරීම’, සෙසු එවැනි අයට
පාඩමක් ඉගැන්වීමක් හා අනතුරු ඇඟවීමක් වන්නේ නම් ඇත්තෙන්ම විය යුත්තේ මේ පාතාලයට හා
ජාවාරමට මෙසේ පවතින්නට ඉඩ හැරීමයි. මක්නිසාද මෙලෙස අප මහත් උද්‍යෝගයෙන් හා
සංදර්ශනාත්මක ලෙස සිවු දෙනෙකුට මරණය උදා කරනවාට වඩා වැඩි ප්‍රමාණයකට/වැඩි ජාවාරම්
කාර අපරාධකරුවන් සංඛ්‍යාවකට ඒ ඉරණම අත්කොට දෙන්නේ පාතාලය විසින්ම වන බැවිනි; වාර්ෂිකව
ඔවුනොවුන් විසින්ම කුලල්කාගෙන බොහෝදෙනා මරණයට පත්වන බැවිනි. වැඩි සංඛ්‍යාවක් මරණය
පත්කළ හැක්කේ රජයට (එල්ලුම්ගසට) වඩා පාතාලයට බැවින්, දීර්ඝ අධිකරණ ක්‍රියාවලියක් අවසානයේ බොහෝ
කල්ගතවී මේ දේ ක්‍රියාත්මක කිරීමට වඩා ‘කාර්යක්ෂම’ ආකාරයෙන් පාතාලයම එය ඉටුකර දීමට
ඉඩහල හැකිය. ඇත්තෙන්ම කුලී මිනීමරුවන්ද, පාතාලයින්ද, කුඩු ජාවාරම්
කරුවන්ද වැඩි ප්‍රමාණයක් ‘ඉවත් කර’ ඇත්තේ පාතාලයි.
කෙසේමුත් මෙතෙක් කිසිදා සිදු නොවූ පරිදි රටේ දේශපාලන
අවකාශය තුලින් මීට විරෝධය ප්‍රකාශවී ඇත. ප්‍රතිපත්තිමය වශයෙන් ඊට එකඟ නොවන දේශපාලන
දේශපාලන කණ්ඩායම් මේ කාරණය (තම ප්‍රතිපත්තිමය ආස්ථානය) ජනතාවට ප්‍රමාණවත් පරිදි
තෙරුම්කොට දියයුතුය. ජ.වි.පෙ. වැනි කණ්ඩායම් වලට ඒ සඳහා මැදිහත්විය හැකිය. එමෙන්ම
මීට පෙර නොවූ පරිදි ජාතික හෙළ උරුමය පවා මෙහිදී සෘජු ස්ථාවරයක් ප්‍රකාශකර තිබීම
සුසමාදර්ශී වෙනසකි. කෙසේමුත් ප්‍රධාන දේශපාලන කඳවුරු මේ විරෝධය සඳහා වෙනත් දේශපාලන
ගණන් බැලීමක් සිදුකලා විය හැකිය. ඊට හේතුව වන්නේ ඉදිරියේ එළඹීමට නියමිත මැතිවරණ
සමය තුල, මේ ජනප්‍රිය
තීන්දුව නිසා යම් දේශපාලන ජනප්‍රියත්වයක් අත්කර ගැනීම පිළිබඳව තක්සේරු කිරීම
වියහැකිය. කෙසේමුත් අනපේක්ෂිත විරෝධයක් දේශපාලන අවකාශය තුල නිර්මාණය වී ඇත. එහෙත්
බහුතරයක් ජනතාව බලාපොරොත්තු වන්නේ මේ ආකාරයෙන් මත්ද්‍රව්‍ය අපරාධකරුවන් සමාජයෙන්
‘තුරන් කිරීම’ ප්‍රතිපලදායක ප්‍රතිකර්මයක් වනු ඇති බවයි.
ඇත්තෙන්ම විය යුත්තේ හා දීර්ඝ කාලීන විසඳුම වන්නේ, සමාජයේ ලුම්පන්
සමාජ තීරු මෙවන් අපරාධ වලට හා ජාවාරම් වලට යොමුවීමේ විභවය හකුලා දැමීමයි. දෙවනුව
නීතිය හමුවේ ඔවුන්ට දඬුවම් කිරීම වඩා කාර්යක්ෂම කිරීමයි. සිරගෙවල් තුල සිට මෙවැනි
ජාවාරම් මෙහෙයවීම මුළුමනින්ම පාලනය කිරීම යනු සහමුලින්ම සාක්ෂාත් කළහැකි පිළියමකි.
ඒසඳහා, දැඩි විනයගත හා
වෙන්වූ බන්ධනාගාර ස්ථාපිත කිරීම සිදුකල හැකිය; ඒවා උපරිම ලෙස අවේක්ෂණය කළහැකි උපක්‍රම
ස්ථාපිත කිරීම මේ තාක්ෂණික දියුණුව විසින් අපට උවමනාවටත් වඩා ලබාදී ඇත.
කෙසේමුත් මේ ජාවාරම් මැඩපැවැත්වීමට වෙනදා නොවූ
අවදානයක් යොමුවීම අගය කල යුතුය. ඒ අරබයා නිර්ලෝභීව ප්‍රණාමය හිමිවිය යුතුය. අපේ
සම්ප්‍රදායික ලිබරල්වාදීන් වනාහි ප්‍රශ්නය තමන්ගේ දෙපතුල පාමුල ඇද වැටෙන තෙක්
නිරපේක්ෂ ලෙස හා එක්තරා දුරකට වගකීම් විරහිත ආකාරයෙන් සමාජ කාරණා වලට මැදිහත්වන
හුදු උපදේශක කොට්ඨාශයකි. ඔවුන් බොහෝදුරට තම ස්ථාවරය සමාජයට පැහැදිලි කරදීමට පවා
අසමත්ය. මෙවන් පාදඩ හා පුනරුත්තාපනය කල නොහැකි වර්ගයේ විනාශකාරීන් අරබයා ලිහිල් ප්‍රතිපදාවක්
අනුගමනය කල නොහැක. එනිසා කලයුත්තේ ඔවුන් දිවි ඇතිතෙක් සමාජයෙන් වෙනකොට තැබීමේ නව
උපක්‍රම නිර්මාණය කිරීමයි.
මරණ දඬුවම කෙරෙහි අපි අනුකූලතාවය නොදක්වන්නේ, මේ නරුමයින්
කෙරෙහි ඇති අල්පමාත්‍ර අනුකම්පාවක් නිසා හෝ ඔවුන්ගේ ‘මානව හිමිකම්’ වෙනුවෙන් හෝ
නොව, ලෝක පරිමානව මානව
ශිෂ්ඨාචාරය විසින් (ඉතිහාසය තුල වන්දිගෙවා) ගොඩනගා ගෙන ඇති මනුෂ්‍යත්වයේ ප්‍රමිතිය
නිසාම පමණි. එහිදී අපට ආපසස්සට යා නොහැකිය. එක් අතකින් අපරාධ කරුවන් යනු මානසික
විපරිත භාවයකට, ඇබ්බැහියකට
ලක්වූ රෝගීන් පිරිසකි. එවන් රෝගීන් බිහිවීමට අදාළ සමාජ කාරණා මෙන්ම සමහර විටෙක
ජානමය හේතුන්ද ඇත. ඒවාට පිළියම් යෙදීමටද අවශ්‍ය අවධානය යොමුවිය යුතුය. ඊට අවශ්‍ය
දැනුම හා විද්‍යාව අද අප සතුව ඇත.
තාරක
වරාපිටිය

إرسال تعليق