ජනවාරි 9 මරණ දඬුවම් විරෝධි දිනය ලෙස නම් කරමු

 ජනවාරි 9 මරණ දඬුවම් විරෝධි දිනය ලෙස නම් කරමු.





කාලයක් තිස්සේ අපි එකිනෙකා මරා ගනීමින්, ආගමික, දේශපාලනික හා “සදාචාර” කරුණු මත ඒවා සාධාරණීකරණය කරමින් සිටියෙමු. දැන් රජයත් ඒ කාරිය භාර ගෙන ඇති නිසා එය “නිත්‍යානුකුල සහ යුක්ති සහගත” වී ඇත.

නුතන රාජ්‍යයන් නෛතික බසකින් සන්නද්ධවී තමන්ගේ උසාවි, නිතිඥයින් සහ විකටයින් ලෙස හැඳගත් විනිසුරුවන්ද යොදාගෙන, සමහරවිට ආගමික නායකයින්ගේ උදවු උපකාරද ඇතිව, තමන්ගේ පුරවැසියන් මෙන්ම බාහිර අයද නිත්‍යානුකුල ලෙස මරණයේ ගල් රෝලට යට කරති. “කොමියුනිස්ට්” යැයි කියා ගන්නා චීනයේ මෙන්ම ආගම් ලැදි යැයි කියන ඇමරිකාවේද මෙය මෙසේමය.

මේ තරුණියගේ මරණය ෆිල්ම් ගත කර ඇති බව වාර්තා වේ. ඇයව දණගස්වා, ඇගේ දිගු කොණ්ඩය හිස උඩට කැරලි දෙකකට බැද, කුරාණය අතටදී වැනි විස්තර එහි අඩංගුලු. මෙය, වැඩේ තිතට කෙරුවායැයි උන්ගේ මිලේච්ඡ හාම්පුතුන්ට ඒත්තු ගැන්වීමට විය හැක. නොදකින් මෙවැනි “සංස්කෘති”, නොදකින් මෙවැනි රටවල්!

ස්වභාවික යුක්තියවත් ලබා නොදෙමින් රිසානාගේ ගෙල සිඳ දැමීම, මරණිය දණ්ඩනයට විරුද්ධ වන්නන්ගේ ජාත්‍යන්තර පිළිගත් මතය තහවුරු කර සිටි. තවත් ලෙසකින් කිවහොත් මරණිය දණ්ඩනය පිළිබද වාද විවාද දැන් යල් පැන ගොස් ඇත. එය තව දුරටත් බුද්ධිමත් කතා බහකට ඇතුලත් නැත. ආදී කාලයේ තිබු පොළව වටකුරුද පැතලිද යන විවාදයේ මට්ටමට එය පත්ව ඇත. “මරණ දඬුවම” යනු සිය බලය හා වරප්‍රසාද වලින් හිස් උදුම්මවා ගත් සුළුතරයක් සියලු දේ අහිමි කරන ලද, සුරා කෑමට ලක් කෙරුණු, දැනුම් තේරුම් නැති බහුතරය කෙරේ දක්වන ක්‍රෝධයේ ප්‍රකාශනයක් බව ජනයාට ඒත්තු ගැන්වී ඇත.

දිගු කලකට පෙර බ්‍රිතාන්‍යයේ මරණ දණ්ඩනය පිළිබඳ සංවාදයකදී, “පළිගැනීමට අයිති මටය, අගවිනිසුරු සාමිවරයාට නොවේ” යැයි දෙවියන් කියූ බව සදහන් කලේ බර්නාඩ් ෂෝ නොවේද? මරණ දණ්ඩනයට සහයෝගය දක්වන ආගම් ලබ්ධින්ගේ තර්කය රැදී ඇත්තේ “මිනි නොමරව” යන දේව පනතටත් “පාණාති පාතා” යන බුදු වදනටත් එරෙහි වීමෙනි. ඒ ඉගැන්වීම් අනුව නම් කිව යුත්තේ “මිනිසුන් නොව මරණ දඬුවම එල්ලා මරන්න” කියයි!

දුෂිත පාලක පෙළන්තියේ බොරු බේගල් සංඛ්‍යා ලේඛන ගිල ගන්නන්ට මිස, මරණ දඬුවම හේතුවෙන් කිසිම තැනක අපරාධ අනුපාත පහත වැටුනේ නැත. මරා දැමිය යුත්තේ නියම වැරදී කරුවාද නැද්ද යන්නත් වගත් නොවේ. එබදු රෝගී පුද්ගලයින්ට අවශ්‍ය වන්නේ සංකේතයක් පමණි - “අන්න අර අපරාධය සදහා මෙන්න මේ පුද්ගලයා මරා දමා ඇත. දැන් මට සැනසිල්ලේ සිටිය හැකිය” යන්නය.

අවසාන විග්‍රහයේදී, මරණිය දණ්ඩනය යුක්ති සහගත කරන්නන්ගේ මනෝභාවය රැඳී ඇත්තේ සාධාරණ සහ අනුකම්පාවෙන් තොරවුවන්ගේ චේතනා මතය. ඔවුන් පළිගැනීමට සැරසි සිටින්නේ කාගෙන්ද? ඔවුන් ආදරය කරන්නන්ගෙන් නම් නොවේ! වියරු මානසික රුඳුරු ලේ පිපාසයෙන් ඔවුන් මුදවා ගත නොහැක.

රී ලංකාවේ මුස්ලිම් ජනතාවගෙන් යහපත් ප්‍රවනතාවයක් මතුවී ඇත. ඔවුන් විරෝධතා සංවිධානය කරමින් ස්ත්‍රීන් සවුදි අරාබියට යැවීම නවත්වන ලෙස ඉල්ලා ජනාධිපතිට පෙත්සම් අත්සන් කිරීම වැනි ක්‍රියාදාමයන්හි දී සිටි.

එහෙත්, රජය විසින් 70 දශකයේ සිට විරාමයක් දී ඇති එල්ලුම් ගහ නැවත පණගන්වා ගැනීමට දරණ වෑයම වැරදී පැත්තකට නැඹුරු වීමකි - ප්‍රතිගාමී ක්‍රියාවකි. පොරකය, කඹය, අලුගෝසුවා, සියල්ල සුදානම් යැයි කියවේ. රටපුරා රජය පවත්වන ප්‍රදර්ශන වලදී එල්ලුම් ගහෙ ආකෘති ආඩම්බරයෙන් පෙන්වනු ලැබේ!

කුමන හේතුවක් නිසා හෝ අද දිනයේ මරණ දඬුවමට සහයෝගය දක්වන්නේකු නිදහස් චින්තකයෙක්, මානව වාදියෙක්, හේතු වාදියෙක් තියා සිහි බුද්ධියෙන් යුතු මිනිසෙකු කියා හෝ සැලකිය නොහැක.

රිසානා සහ අනෙකුත් ගැනිය නොහැකි තරම් මරණ නොසලකා නොසිටිමු. එමනිසා, රිසානාගේ හිස කඳන් වෙන්කළ ජනවාරි 9 දිනමරණ දඬුවම් විරෝධී දිනය ලෙස නම් කරමු.






 

ආර්. ප්‍රනාන්දු

Post a Comment

أحدث أقدم