මම අතාරින්නෙ නැහැ!
දරුවනේ, ඔයාල හොඳින් ඉන්නව නේද? හා... හොඳයි.
ඔයාලා අහලා තියෙනවද ‘තණ්හාව’ කියන වචනේ? මම ඒක කියලා දෙන්නම්කෝ. අපට ඕන දේවල් තියෙනවා නේද? කෑම බීම, ඇඳුම්, සපත්තු, පොත් , සෙල්ලම්බඩු, වගේ දේවල්. ඔයාලා අහලා තියෙනවද, සමහර ළමයින්ට ඕනැකරන හැමදේම ලැබෙන්නේ නැහැ කියලා. අනේ දුක හිතෙනවා නේද? අනෙක් අතට සමහරු අපෙන් වැඩි වැඩියෙන් ඉල්ලනවා. කෙළවරක් නැහැ. තවත් වෙලාවකට අපිට
අමතක වෙනව අපේම හොඳට සමහර දේවල් අතහරින්න. ඒකෙ තේරුම තමා අපි තණ්හාව කියන නරක පුරුද්ද ඇති කරගෙන තියෙනවා කියන එක.
දැන් ඔයාලා ආසා ඇති ‘තණ්හාව’ නිසා කරදරේ වැටුණු වඳුරෙකු ගැන කතාවක් අහන්න.? හොඳයි, එහෙනම් අහගෙන ඉන්න.
කතන්දරේ පටන්ගන්න කලින් ඉන්දියාව තියෙන්නේ කොහේද කියල අපි බලමු. මම හිතන්නේ අපි හැමෝම බිත්තියෙ අලවගන්න ඕනෑ ලෝක සිතියමයි, ලංකා සිතියමයි සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහ ලෝක සිතියමයි. එතකොට තමයි අපි දන්නේ අපි ඉන්නේ කොහේද කියල. ඉතින් ලෝක සිතියම බලන කොට තේරෙනවානේ අපි ඉන්නේ ඉන්දියාව කියන විශාල රටට පහළින් තියෙන පුංචි දූපතක කියලා. අපේ රට ඉන්දියාවට දකුණින් පිහිටලා තියෙනවා කියලා කියන්නත් පුළුවන්.
මම අහල තියෙනවා ඉන්දියාවේ සමහර දඩයක්කාරයෝ වඳුරන් අල්ලන්න අමුතු උගුලක් පාවිච්චි කරනවා කියලා. ඔයාලා දන්නවානේද උගුලක් කියන්නේ මොකක්ද කියලා. නියම උගුලක් නම් ඒකට සතෙකු අහුවුණාම ඌට බේරිලා යන්න බැහැනේ. එතකොට මේක උගුලකුත් නෙමෙයි.
එහෙනම් ඒක මොකක්ද? මම ඒක කියලා දෙන්නම්කෝ. හොඳයි. දඩයක්කාරයා ලොකු පොල් ගෙඩියක් ගන්නවා. ඊට පස්සේ එයා ඒක මුදුනේ හිලක් හදනවා. ඒ හිල හදන්නේ වඳුරෙකුට උගේ අත යන්තමින් ඒකට රිංගවන්න පුළුවන් වෙන විදියටයි. ඊට පස්සේ දඩයක්කාරයා කඩල ටිකක් හරි හාල් ටිකක් හරි පොල් ගෙඩිය ඇතුළට දානවා. ඊට පස්සේ එයා පොල් ගෙඩිය වඳුරන් එකතු වෙන ගහක් ළඟින් තියලා ඈතට වෙලා බලාගෙන ඉන්නවා.
දැන් එයා දකිනවා වඳුරෙක් ගහ දිගේ පහළට බැහැලා පොල් ගෙඩිය දැකලා ඒක ඇතුළේ තියෙන ඇට ජාති ටික බලන හැටි. ඔන්න ඌ හෙමීට පොල්ගෙඩියේ හිළෙන් ඇතුළට අත දාලා ධාන්‍ය අහුරක් ඩැහැ ගන්නවා.
කරුණාකරලා දැන් ඔයාලගේ අත්වල ඇඟිලි දිග අරින්න. දැන් මිටිකර ගන්න. ආයේ සැරයක් ඇඟිලි දිග අරින්න. මිටිකර ගන්න. එතකොට මොකද වෙන්නේ? ඇඟිලි මිටිකරගන්නකොට මිට ලොකු වෙනවා නේද?
හොඳයි, අපි කතන්දරේට ආයේ යමුකෝ. ධාන්‍ය අහුරක් අතේ මිටිකරගත් අපේ වඳුරා දැන් උගේ අත පොල් ගෙඩියෙන් එළියට ගන්න දඟලනවා. ඌට ඒක කරන්න පු`ඵවන්ද? බැහැ. ඌට අත එළියට ගන්න බැහැ. ඒ මොකද මේ දඩයක්කාරයා දක්ෂ ලෙස පොල් ගෙඩියේ හිල හදලා තියෙන නිසා, වඳුරෙකුට උගේ පුංචි අත යන්තමින් ඇතුළට දාගන්න පු`ඵවන් වෙන විදියට. ඒ වගේම ධාන්‍ය අහුරක් මිටට ගත්තම අත එළියට ගන්න බැරිවෙන විදිහටයි .සිදුර වඩා විශාල කරන්නේ නැතුවයි.
වඳුරා පොල්ගෙඩියෙන් අත් මිට එළියට ගන්න දඟලද්දි දඩයක්කාරයා එයා සැඟවී සිටි තැනින් එළියට ඇවිත් වඳුරා අල්ල ගන්න උත්සාහ කරනවා. මේ වෙලාවේදී මොකක්ද වඳුරට කරන්න පු`ඵවන්? වඳුරා අතේ ඇඟිලි දිග ඇරලා, ධාන්‍ය ඉවතට දාලා පොල්ගෙඩියෙ සිදුරෙන් අත නිදහස් කරගෙන ආපහු ගහට නගින්න ඌට ලෙහෙසියෙන්ම පු`ඵවන්. එහෙම නේද මගේ ආදර ළමයිනේ? ඔව්, ඇත්තටම ඌට ඒක කරන්න පු`ඵවන්. අන්න ඒක නිසා තමයි මම ඒක උගුලක් නෙවෙයි කියලා කිවුවේ. ඒකට ‘කපටි උගුලක්’ කියලත් කියන්න පුළුවන්. ඒත් වඳුරා ඒ විදියට ඒක කරගෙන නිදහස් වේවිද? අපො නැහැ. දැන් අපි හැමොම හයියෙන් කියමු. “අපොයි, ඌට ඒක කරගන්න බෑ!”
හොඳයි ඊට පස්සේ ඌ මොකක් කරයිද? වඳුරා ඌට අවශ්‍ය ප්‍රමාණයට වඩා ගැනීමේ පුරුද්ද ඇතිකරගෙන තියෙනවා. වඳුරා තණ්හාව දියුණු කරගෙන තියෙනවා. ඒ නිසා ඌ ධාන්‍ය ටික අතහැරලා නිදහස් වෙන්න බලන්නේ නැහැ. ඒ වෙනුවට ඌ කරන්නේ ලොකු පොල් ගෙඩියත් ඇදගෙනම දුවන්න හදන එක! දඩයක්කාරයාට ඌව ඉක්මනින් අල්ලගන්න පුළුවන් වෙන එක පුදුමයක්ද?
හොඳයි මගේ දරුවනේ, අපි පොඩ්ඩක් හිතමු. කවුද වඳුරව අල්ලගත්තේ? පොල්ගෙඩියද ඌව අල්ලගත්තේ? නෑ. එහෙනම් ඒක ඇතුළේ තිබුණු ධාන්‍යද ඌව අල්ල ගත්තේ? එත් නෑ. එහෙනම් කවුද? උගේම තණ්හාවයි. එහෙම නේද?
ඉතින් අපේ අසරණ වඳුරා දඩයක්කාරයාගේ හිරකාරයෙක් වුණා. එයා වඳුරව හීලෑ කරාවි. ඌට විහි`ඵ ටිකක් උගන්නාවි. ඊට පස්සේ ඒවා යොදාගෙන එයා සල්ලි ටිකක් හම්බකරාවි.
දැන් ඔයාලා හිතන්න එපා තණ්හාව තියෙන්නේ වඳුරන්ටයි ළමයින්ටයි විතරයි කියලා. තව ටිකක් ලොකු උනාම ඔයගොල්ලන්ටත් දැනගන්න ලැබේවි ලොකු මිනිස්සුන්ටත් ගොඩාක් ලොකු තණ්හා තියෙනවා කියලා. සල්ලිවලට, ලොකු ගෙවල්වලට, ලොකු කාර්වලට විතරක් නෙවෙයි අනිත් අයට අයිති රටක කොටසකට පවා වඩා ලොකු තණ්හා ඇතිවෙන්න පුළුවන්.
ඒ නිසා අපි සියලු දෙනාම තේරුම් ගන්න ඕනේ තණ්හාව අපට ගෙන එන්නේ ප්‍රීතිය, සතුට නෙවෙයි දුක පමණයි කියලා.





إرسال تعليق