අධ්‍යාපන වදය සහ නවක වදය
2015 පෙබරවාරියෙදී දිවිනසාගත් සබරගමු විශ්ව විද්‍යාලයේ සිසුවිය පිළිබඳ නැවතත් ජනමාධ්‍යය තුල කතාබහක් ඇති වෙමින් තිබේ. ඒ කල් පසුවී හෝ ඇගේ මරණයට සාධාරණයක් ඉටු කිරීමට උසස් අධ්‍යාපන ඇමතිතුමා නීතිමය පියවර ගැනීමට කටයුතු යෙදීමත් සමගය.
විවිධ පාර්ශව විවිධ අදහස් ඉදිරිපත් කරන තත්වයක් තුල, ඇත්තටම සිදුවූදේ එම අධිකරණ ක්‍රියාමාර්ගයේදී අනාවරණය වනු ඇත.කෙසේවෙතත් මරණයට පෙර ලියා තැබූ ඇගේ අවසන් ලිපිය පමණක් සලකා බැලුවත් එය පැති කිහිපයකින්ම ජනතාවගේ ඇස් ඇරවන්නකි.
'2007 මගේ ජීවිතය අවලස්සන වුනේ මගේ ආදරණිය අම්මා මට Science කරන්න බල කරපු නිසයි. ඒ 2007 O/L විභාහගයෙන් මම විශිෂ්ඨ ලෙස සමත් වුණ නිසා මට ආදරේ බව දන්නවා අම්මේ. ඒත් Science වල තර්කානුකුල බව මගේ මොලයට වදයක්.'
එය අපේ රටේ මුළු සමාජයටම එල්ල කරන ලද චෝදනාවක්සේ සැලකීම සුදුසුය. දරුවාට තමාගේ ගමන්මග නිදහසේ තෝරාගැනීමට ඉඩ තිබිය යුතුය. දෙමව්පියන් ඊට අනවශ්‍ය මැදිහත්වීම් කිරීම සුදුසු නැත. අධ්‍යාපනය වදයක් වීමට ඉඩ නොතැබිය යුතුය.
මිනිසා සමාජමය සත්වයෙකි. ඔහුට ඔහු අයත් සංස්කෘතිය තුල සාර්ථකව ජීවත් වීම සඳහා විශාල දැනුමක් සහ පුහුණුවක් අවශ්‍ය වේ. එහෙයින් අනෙකුත් සතුන්ට මෙන් නොව ඉතාමත් දීර්ඝ ළමා වියක් මිනිසාට ලැබී තිබේ. ළමා වියේ පියවරෙන් පියවරට එක් එක් සංවර්ධනයන් සිදුවේ. එම පියවරයන් නොලැබීම හෝ අහිමිවීම කෙනෙකුගේ පෞර්ෂත්වයට සහ මානසික සංවර්ධනයට බාධා ඇති කරයි. දරුවන්ගේ සෙල්ලම් ළමා කාලය අධ්‍යාපනය වෙනුවෙන් අහිමි කිරීම නිසා ඔවුන්ගේ මානසික වර්ධනයේ බරපතල විකෘති තත්වයන් හට ගනී.නවක වදය ගැන ඇගේ අවසන් ලිපියේ මෙසේ සඳහන්ව තිබේ. 'කැම්පස් සේරගෙන්ම නවක වදය අයින් කරන්න ඕනේ. ඒක ළමයින්ට මානසික වදයක්. මම දැන් ලෙඩ වෙලා තියෙන්නෙත් නවක වදය නිසාමයි!'
නවක වදය ඇගේ මරණයට කොයි තරම් දුරට බලපා ඇත්ද යන්න තහවුරු වන්නේ අධිකරණ ක්‍රියාමාර්ගයේදීය. එහෙත් නවක වාදය අල්ප මාත්‍රයකින් හෝ ඇගේ මරණයට වගකිව යුතුනම් එය ඉතා බපතල ලෙස සැලකිය යුතුය. මන්ද එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් වන හෙයිනි.
සමහර අධ්‍යාපන ආයතන තුල පරිපාලනයද නවක වදයට රුකුලක් දෙයි. ඔවුහු 'බැච්' අතර වෛරය අවුලවමින් සිසුන් පාලනය කිරීම පහසු කරගනී. නවක වදය මුලිනුපුටා දැමීමට වරින්වර අධ්‍යාපන ඇමතිවරුන් නොයෙක් ආකාරයේ උත්සාහයන් ගෙන තිබේ. ඒ සඳහා අණපනත්ද පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන තිබේ. එහෙත් මේ පිළිකුල් සහගත නවක වදය නවත්වන්නට නොහැකි වුයේ ඇයි?
පාලකයන් ඒ සඳහා උත්සාහ කලේ එක ගලකින් කුරුල්ලන් දෙදෙනෙකු දඩයම් කිරීමටය. නවක වදය සමගම ශිෂ්‍ය සංගම්ද මර්ධනය කිරිමට පාලකයන්ට අවශ්‍ය විය.
නවක වදය සාර්ථක ලෙස නවතා දැමීමට නම් පළමු කොටම සිසුන්ගේ සහයෝගය ඊට ලබා ගත යුතුය. ශිෂ්‍ය සංගම් වල සහයෝගය මෙහිදී ඉතා වැදගත්ය. එසේ නොවුවහොත් ප්‍රසිද්ධියේ කෙරෙන නවක වදයකදී පවා දඩුවම් දීම දුෂ්කර වනු ඇත. සාක්ෂි ලබා දීමට කිසිවෙකු ඉදිරිපත් නොවනවා පමණක් නොව පන්ති තහනම වැනි දඩුවමකදී පවා ඊට එරෙහිව සියලුම සිසුන් උද්ගෝෂණ පත්වන තත්වයන් ඇති වේ.
සිසුන්ගේ සහයෝගය ලබා නොගන්නා තාක්කල් නවක වදය දිගටම වෙනු ඇත.
සැම්සන් ගුණතිලක
(03. 10. 2018 දින 'රැස' පුවත්පතෙහි පළවූ ලිපිය)




إرسال تعليق